Saturday 18 March 2017

විදු පත් ඉරුව
2015  ජුනි 03 බදාදා

මෙවර ගිම්හානය ඉන්දියාවට එතරම් හොඳ තත්ත්වයක්‌ ගෙන නො එන බවයි පෙනී යන්නේ. අසාමාන්‍ය ලෙස ඉහළ නැග ඇති උෂ්ණත්වය හේතුවෙන් දැනටමත් 2000ක්‌ පමණ වූ මිනිස්‌ ජීවිත ප්‍රමාණයක්‌ අහිමි වී ඇති අතර 1995ට පසු සටහන් වන ඉහළ ම උෂ්ණත්ව වැඩි වීම මේ වසරේ දී වාර්තා වී ඇත. සෙල්සියස්‌ අංශක 45 ද පසු කළ දිනයන් බහුල වූ පසුගිය මාසයේ මැයි 24 වැනි දා වැඩි ම උෂ්ණත්වය වන සෙල්සියස්‌ අංශක 48ක්‌ "කම්මාම්"වලින් වාර්තා විය. මේ තාප තරංග ඉන්දියාව හරහා ගමන් කරද්දී වැඩි ම හානියක්‌ සිදු කර ඇත්තේ ආන්ද්‍ර ප්‍රදේශයට ය. මෙලෙස මිය ගිය බොහෝ දෙනකු මිය ගොස්‌ ඇත්තේ විජලනයට ලක්‌ වීමෙන් සහ තාප ආඝාතය හේතුවෙනි.

මේ අකරතැබ්බයෙන් බේරෙන්නට දහවල් කාලයේ එළිමහනේ සහ ඇඟ වෙහෙස වී සිදු කරන ක්‍රියාවන්වලින් වැළකී ගෙවල් තුළට වී කාලය ගත කරන ලෙස ඉන්දියානු වැසියන්ට උපදෙස්‌ දී ඇතත් දෛනික වේතනයන් ලබා ගන්නා පුද්ගලයන්ට දිගින් දිගට ම එලෙස ගත කිරීම අපහසු වේ. කෙසේ වෙතත් මේ අසාමාන්‍ය තත්ත්වය ඇති වන්නේ සාමාන්‍ය ග්‍රීෂ්ම කාලය "එල්-නිනෝ" කාලගුණික තත්ත්වයත් සමග සමපාත වීමෙනි. එවිට සාමාන්‍ය ග්‍රීෂ්ම තත්ත්වය තවදුරටත් වර්ධනය වන අතර පසුව අසාමාන්‍ය තත්ත්වයක්‌ දක්‌වා ගෙන යයි. එල්-නිනෝ ඇති වන වසරවල, විශේෂයෙන් ම ආසියානු කලාපයට, ඉතා දරුණු ලෙස ග්‍රීෂ්මය ගෙන එන අතර පේරු සහ ඉක්‌වදෝරය ඇතුළු දකුණු ඇමෙරිකානු රටවලට අධික වැසි ඇති කරයි.

මේ ග්‍රීෂ්ම තත්ත්වය ලංකාවට ද තරමක්‌ ප්‍රබලව බලපාන බව පෙනේ. එල්-නිනෝ තත්ත්වයක්‌ ඇති වන්නේ සාමාන්‍යයෙන් වසර හතරකට වරකි. වසර 2010 දී ද මෙවැනි උණුසුමක්‌ අත්විඳි බව ඔබට මතක ඇති. එල්-නිනෝව අප ගේ වගාවන්ට දරුණු ලෙස බලපායි. නියඟය ඇති වී වගාවන් පාළු වන අතර එය Rජු ව ම ආහාර නිෂ්පාදනයට බලපායි. උෂ්ණත්වය අංශක කිහිපයකින් වැඩි වීම ප්‍රභාසංශ්ලේෂණ ක්‍රියාව වැඩි කරන අතර එම නිසා වැඩි අස්‌වැන්නක්‌ අපේක්‌ෂා කළ ද නියගය ඇති වී ජල සැපයුම නතර වීම වගාවන් විනාශ වීමට හේතු වේ. වියළි කාලගුණික තත්ත්වවලට ඔරොත්තු දෙන බවබෝග වගා කිරීමෙන් මේ තත්ත්වය තරමක්‌ දුරට මගහරවා ගත හැකි වුවත් නිසි උපාය මාර්ග සහිත වූ වැඩපිළිවෙළක්‌ නොමැති වුව හොත් රටෙහි ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය බිඳ වැටී ආර්ථිකය දුර්වල වේ. එනිසා මෙවැනි කාලගුණික තත්ත්ව පුරෝකථනය කිරීමේ අවශ්‍යතාව ඔබට හොඳින් වැටහෙනවා ඇත.

ඔබ හොඳින් දන්නා කර්තකොලම්බන් අඹ වැවෙන්නේ වියළි දේශගුණයක්‌ ඇති අනුරාධපුරය, යාපනය වැනි ප්‍රදේශවල ය. ඉතා හොඳින් අස්‌වැන්න ලබා දෙන මේ ශාකය තෙත් කලාපයේ වැඩුණත් සරුවට අස්‌වැන්න ලබා දෙන්නේ නැත. මේ සම්බන්ධව මා ලද ඉතා කදිම අත්දැකීමක්‌ මෙහි ලා සදහන් කිරීම වටියි. තෙත් කලාපයේ පිහිටි මගේ ගමෙහි මා කුඩා කාලයේ පියාණන් විසින් ඉහත සදහන් කළ අඹ වර්ගයේ පැළ දෙකක්‌ ගෙනැවිත් වත්තේ ඉන්දවන ලදි. පසුව හොඳින් වැඩි සෑහෙන කාලයක්‌ ගත වුවත් හොඳ අස්‌වැන්නක්‌ නො ලැබුණු අතර එක වසරක දී ඉතා කදිමට මල් පිපී ගස අඹවලින් පිරිණි. ඉන්පසු වසරවල දී අතළොස්‌සක්‌ පමණ ගෙඩි හටගත් අතර නැවතත් මා හට මතක ඇති පරිදි වසර තුනකට හෝ හතරකට පසු ඉතා හොඳින් පලදාව ඇති විය. මේ තත්ත්වය තේරුම්ගැනීමට මුල දී මා හට නොහැකි වුවත් පසුව මේ ඉතා හොඳ පලදාව හටගන්නේ එල්නිනෝ ඇති වන වර්ෂවල දී බව මා හට අවබෝධ විය. වියළි දේශගුණික ප්‍රදේශවල දී හොඳින් අස්‌වැන්න ලබා දෙන මේ අඹ වර්ගය තෙත් කලාපයේ දී ගෙඩි හටගැනීම සදහා සුදුසු අදාළ තත්ත්වය ලබාගන්නේ එල්-නිනෝ කාලවල දී පමණක්‌ බවයි මෙයින් පැහැදිලි වන්නේ. එපමණක්‌ නො ව අප අවට පවත්නා ශාකවලට ඉදිරියේ ඇති වන්නා වූ කාලගුණික විපර්යාසයන් ග්‍රහණය කරගැනීමේ හැකියාව ඇති බව මෙයින් මනාව පැහැදිලි වේ. ඒ සදහා ඔවුන් දක්‌වන ප්‍රතිචාර කිසියම් හෝ ලෙස තේරුම්ගත හැකි නම් කාලගුණික පුරෝකථනයන් එතරම් අපහසු දෙයක්‌ නො වනු ඇති බවයි මගේ හැඟීම.

මෙවැනි ග්‍රීෂ්ම කාලවල දී අප අවට පරිසරයේ උෂ්ණත්වය වැඩි කරන්නට තව බොහෝ දේ බලපායි. විශේෂයෙන් ම කාර්මිකකරණය හේතුවෙන් අප වායුගෝලයට නිදහස්‌ කරන දුහුවිලි ඇතුළු අනෙකුත් බොහොමයක්‌ අංශුන්වලට තාප ශක්‌තිය උරාගෙන රඳවා තබාගත හැකි ය. එනිසා වායුගෝලයේ මේ අංශු වැඩි වන විට අවට පරිසරයේ උෂ්ණත්වය ඉහළ යා හැකි ය. එමෙන් ම නාගරිකකරණය හේතුවෙන් වනවැස්‌ම ඉවත් වී ඒ වෙනුවට ගොඩනැගිලි ඉදි වීම ද අවට පරිසරයේ උණුසුම ඉහළ නැංවීමට හේතු වේ. ගොඩනැගිලි ඉදි කර ඇති කොන්ක්‍රීට්‌ දහවල දී තාප කිරණ උරාගන්නා අතර නිදහස්‌ කරන්නේ සෙමිනි. එහෙත් රාත්‍රියට පරිසරය ඉක්‌මනින් සිසිල් වන අතර ගොඩනැගිලි උරාගත් තාපය හේතුවෙන් අවට පරිසරය නැවත උණුසුම් කරයි. එම නිසා නාගරික රාත්‍රිය බොහෝ දහදිය දමන තත්ත්වයක්‌ ඇති කරයි. ගොඩනැගිලිවල ආලේපිත වර්ණ සහ වීදුරු වැනි දෑ නිසාත් නාගරික දහවල ද අධික උණුසුම් වේ. මේ තත්ත්වය "නාගරික තාප දිවයින" (Urban Heat Island) ලෙස හදුන්වන අතර නගර අලංකරණයේ දී ඉතා සූක්‌ෂම විය යුත්තේ මේ හේතුවෙනි. නාගරිකව ඇති වන මේ අධික තාපය උරාගත හැකි ශාක වර්ග වගා කිරීම මගින් කිසියම් ප්‍රමාණයකට මේ තත්ත්වය සමනය කරගත හැකි වන අතර ආලෝකය පර්වර්තනය නො කරන්නා වූ මතුපිටවල් සහිත ගොඩනැගිලි ඉදි කිරීම ද ප්‍රතිපලදායක ය. එමෙන් ම නගරය තුළ දුහුවිලි වැනි අංශුන් වායුගෝලයට නිදහස්‌ වීම වැළැක්‌වීමට කටයුතු කළ යුතු අතර මංමාවත් සහ ඇළ මාර්ග ඉතා පිරිසිදුව සහ ක්‍රමවත්ව පවත්වාගැනීම මගින් මේ තත්ත්වය මගහරවාගත හැකි ය. එනිසා නගර අලංකරණය යනු හුදු අලංකරණයක්‌ නො ව ඉතා සුපරීක්‌ෂාකාරීව සිතා බලා දිගුකාලීන සැලැස්‌මක්‌ ඇති ව සිදු කළ යුත්තකි. වසර කිහිපයකට පෙර කොළඹ නගරය බොහෝ අපිරිසිදු ස්‌ථානයක්‌ වූ බව ඔබට අමතක නො වනු ඇත. එහෙත් පසු ගිය වසර කිහිපයේ දී කිසියම් ප්‍රමාණයකට වර්ධනය වෙමින් තිබූ නගරාලංකරණ ව්‍යාපෘති අගය කළ යුත්තකි.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Friday 17 March 2017


ළිං හිඳෙන්නේ නලලිං නිසාද.???



විදුපත් ඉරුව

2017 මාර්තු 15 බදාදා

මතුපිට ජලය හිඳී යද්දී මෙන්ම කාර්මිකකරණයෙන් මෙන්ම ජනාවාසකරණයෙන් ද නිපැදවෙන අපද්‍රව්‍ය නිසා භාවිතයට ගත හැකි මතුපිට ජල මුලාශ්‍ර අහිමි වෙමිනුයි යන්නේ. ලංකාවේ බොහොමයක් ප්‍රදේශවල මේ වනවිට ජල අවශ්‍යතාවය සපුරා ගන්නේ භූ අභ්‍යන්තරයේ රැඳුන ජලයෙන්. මෙම භූගත ජලය ලබා ගැනීම සඳහා ඉවක් බවක් නොමැතිව නල ලිං ඉදිකිරිම සිදු වෙයි. කළමනාකරණයකින් තොරව නල ලිං ඉදිකිරිම ශ්‍රී ලංකික ජල සම්පතෙහි අනාගතය තව තවත් අඳුරු කරන්නට හේතුවන බව අප සිහි තබා ගත යුතුය.    

භූගත ජලය පවතින්නේ භූගත ජල නිධි වල වන අතර එලෙස පවතින ආකාර දෙකකි. ඒවා අනවහිරත ජල නිධි (unconfined aquifer) සහ අවහිරත ජල නිධි (confined aquifer) වේ.  මින් පළමු වැන්න බොහෝ විට පවතින්නේ නොගැඹුරු භූ අභ්‍යන්තරයේ වන අතර ජලය පවතින්නේ පාංශු ස්තර සහ ඒ හා ආසන්නයේ පවතින පාෂාණ කලාප අතරයි. මේ නිසා මෙම ජල නිධි වල ජල මට්ටම කාලගුණයට අනුරූපියව උච්චාවචනය වේ. වර්ෂා කාලයේදී වැඩිවන ජල මට්ටම ඉඩෝර කාලවලදී පහල බසී. ශ්‍රී ලංකාවේ බොහෝමයක් සාමාන්‍ය ළිං නිර්මාණය කර ඇත්තේ මෙම ජල නිධි ඇසුරු කරගෙනය.

දෙවැන්න වන අවහිරත ජල නිධි පිහිටන්නේ භූ අභ්‍යන්තරයේ පාෂාණ තට්ටු අතර වේ. මෙම ජල නිධි නිර්මාණයේදී ජලය එක් රැස් වීම සඳහා පාෂාණ වල දුර්වල කලාප බෙහෙවින් වැදගත් වෙයි. පාෂාණ තුල පිහිටන පැලුම්, කුස්තුර පමණක් නොව විවරයන් සහ බිලයන් ද  අතිශය මේ සඳහා සහයෝගීමත් වේ. ඉහළින් සහ පහළින් අපාරගම්‍ය පාෂාණ තට්ටු හෝ මැටි වැනි ද්‍රවයන්ගෙන් අවහිර වී පවතින මෙම නිධිවල ජලය පීඩනයක් යට‍තේ පැවතීම සුවිශේෂී වේ.

අනවහිරත ජල නිධි පෝෂණය වන්නේ එම ස්ථානයට හෝ ඒ හා ළඟ ස්ථානවලට වසිනා වැසි ජලය නොගැඹුරු පස සහ පාෂාණය තුලට කිඳා බැසීමෙනි. නමුත් අවහිරත ජල නිධි පෝෂණය කරනා ජල මුලාශ්‍ර පවතින්නේ ජල නිධියට බොහෝ ඈතින් විය හැක. උදාහරණයක් ලෙස කඳුකර ප්‍රදේශවල නිම්න වල පවතින අවහිරත ජල නිධි පෝෂණය වන්නේ කඳුකරයේ ශිකර ප්‍රදේශවලට ලැබෙන ජලය මගිනි.

න්‍යායාත්මකව ගත් කල මෙම ජල නිධි වලින් කිසියම්ම හෝ ක්‍රමවේදයකට ජලය ගන්නා වේගය එම ජල නිධි පෝෂණය වන්නා වූ වේගයට වඩා වැඩි නම් ජල නිධි හිස් වන්නට පටන් ගනී. එනම් නල ලිං භාවිතයේදී ද ඉතා පැහැදිළිව මෙය සත්‍යක් වන අතර සලකන එක්තරා ප්‍රදේශයක් තුල සවිකල හැකි නල ලිං සංඛ්‍යාව සීමිත වනු ඇත. මෙම ජල නිධි පෝෂණය වන සිඝ්‍රතාවය විද්‍යාත්මකව නිශ්චය කර සවිකළ හැකි නල ලිං ප්‍රමාණය ගණනය කල යුතුය. මේ සදහා භූ ජල විද්‍යාත්මක ක්‍රම වේදයන් ස්ථාපනය වී ඇත.

අසීමාන්තික නල ලිං ස්ථාපනය ගැටළු රාශියක් ඇති කරයි. මෙහි ප්‍රමුඛ බලපෑම ඇතිවන්නේ අනවහිරත ජල නිධි වල ස්ථාපනය කර ඇති සාමාන්‍ය ළිං වලටයි. එනිසා ජල මට්ටම අඩුවිය හැකි අතර ඉඩෝර කාලයකදී තත්වය උග්‍ර වෙයි. මේ නිසා භූ ගත ජල මට්ටම පහත බසින අතර එය ඍජුවම වන වැස්මට ද වගාවන් වලට ද හානි පමුණුවයි.

සාගරය ආසන්නයේ පිහිටි අනවහිරත ජල නිධි වල ජල මට්ටම මේ හේතුවෙන් අඩුවීම නිසා මුහුදු ජලය මුසු වීමේ ප්‍රවණතාවක් ගොඩනැගෙනු ඇත. එය ජල දුෂණයකට හේතු විය හැකි අතර දිගුකාලීනව ගත් කල යථාතත්වයට පත් කිරීමට අපහසු තත්වයක් ඇති විය හැක.

අවහිරත ජල නිධි සදහා ද මෙය සත්‍යක් වන අතර භූ අභ්‍යන්තරික පැලුම් රටා නිසා ඉතා පහසුවෙන් මුහුදු ජලය මුසු වීමේ හැකියාව ඇත. බොහොමයක් අවහිරත ජල නිධි කෙලවර වන්නේ නොඑසේනම් පොළොව මතුපිටට සම්බන්ධ වන්නේ අනවහිරත ජල නිධි ලෙසයි. එනිසා අවහිරත ජල නිධි වල ස්ථාපනය කරනා නල ලිං ප්‍රමාණය වැඩි වීමද ලබා ගන්නා ජල ප්‍රමාණය වැඩි වීමද හේතුවෙන් අනවහිරත කලාපයේ ජල මට්ටම අඩුකරන්නට හේතුවිය හැක.  

අනවහිරත හෝ අවහිරත ජල නිධි වල නල ලිං ස්ථාපනය කර දිගින් දිගටම නොනවත්වා ජලය ලබා ගැනීම සහ විශාල ප්‍රමාණයක් නල ලිං ස්ථාපනය කිරීමෙන් විශාල ජල ප්‍රමාණයක් එකවර ලබා ගැනීම සදාකාලිකවම මෙම ජල නිධි අභාවයට යවන්නට හේතු විය හැක.

භූගත ජලය ඇතිපදම ලබා ගන්නට හැකි වුවද එහි ගුණාත්මක භාවය පිලිබඳ අධ්‍යනයන් සිදුකල යුතුය. භූ අභ්‍යන්තරයේ පිහිටි විවධ පාෂාණ නිසා එමගින් දියවන රසායනයන් නිසා ජලයේ ගුණාත්මක භාවයට හානිවීමේ හැකියාවක් ඇත.    

මෙම තත්වය වලකා ගැනීම සදහා විධිමත් ක්‍රම වේද මගින් විද්‍යාත්මක අධ්‍යනයන් සිදු කර හානියකින් තොරව එනම් තිරසාර ක්‍රමවේදයකට නල ලිං ස්ථාපනය සිදුකල යුතු වේ. ශ්‍රී ලංකාවේ භූ විද්‍යාත්මක පසුබිම අතිශය සංකීරණ වේ. මේ නිසා සමහර විට සිදුකරන නිගමන සාවද්‍ය වීමේ හැකියාවද පවතී. එනිසා ඉතා විස්තරාත්මක, කෙටිකාලින පමණක් නොව දිගු කාලිනද විද්‍යාත්මක අධ්‍යනයන් සිදුකර නිගමනයන් වලට එළඹීම නුවණැති කාරණයක් වෙයි.

 ආචාර්ය පත්මකුමාර ජයසිංහ




Saturday 11 March 2017

විදු පත් ඉරුව
2015  ජුනි 10 බදාදා

පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ ගවේෂණ සංගමය මා හට බොහෝ අපූරු සහ අනර්ඝ අත්දැකීම් ගෙන දුන් තැනකි. "ඇවිද්ද පය දහස්‌ වටී" යන කියමනට සැබෑ අරුතක්‌ එක්‌ කරන මේ ගවේෂණ සංගමය ගවේෂණයට ලැදියවුනට මහාර්ඝ සම්පතකි. දශක හතරකට (1971) පමණ පෙර ස්‌වාභාවික විද්‍යාවන් හැදෑරූ සිසුන් කිහිප දෙනකු විසින් ඉතා සුළුවෙන් ආරම්භ කරන ලද මේ සංගමය මා ඉගෙන ගන්නා කාලය වන විට විශාල පිරිසක්‌ සමග බොහෝ සක්‍රිය ව ක්‍රියාත්මක විය. දැනට පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ භූ විද්‍යා දෙපාර්තුමේන්තුවේ සේවය කරන මහාචාර්ය නවරත්න ඇදුරුතුමා ද මෙහි එක්‌ ආරම්භක සාමාජිකයෙකි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට ඉන්නා ගවේෂණශීලී සිසු දරුවනට තම අත්දැකීම් වැඩි දියුණු කරගැනීමටත් තම විෂය ක්‌ෂේත්‍රයට අදාළ දැනුම දියුණු කරගැනීමටත් මේ සංගමය කදිම තෝතැන්නකි.

මේ ගවේෂණ සංගමයේ එකල ප්‍රධාන ක්‍රියාකාරකම වූයේ කඳු ඇසුරු කරගත් ගවේෂණයි. හන්තාන, ලුල්කඳුර, මොණරකන්ද, දොළොස්‌බාගේ, හුන්නස්‌ගිරිය, අලගල්ල, පිදුරුතලාගල යනාදී මහනුවර වටා වූ කඳු ශිඛරයන් හා ඒ ආශ්‍රිත පරිසර පද්ධතීන් පිළිබඳව කරුණු රැස්‌ කරගැනීමට ඒ හේතුවෙන් අපට හැකි විය. සමහර විටෙක ප්‍රමාණය සියය ද ඉක්‌මවූ අවස්‌ථා විය. බොහොමයක්‌ දෙනා විශ්ව විද්‍යාලයයේ නේවාසික ව විසූ හෙයින් දහවල ආහාරය සදහා රැගෙන ගියේ එහි ආපන ශාලාවලින් මිල දී ගත් යමකි. ගමනේ දී ඒ දේවල් බෙදා හදාගත් බැවින් අඩුපාඩුවක්‌ නො වී ය. හැරත් ගවේෂණය ම මූලික වූ හෙයින් ආහාරය එතරම් වැදගත් වූයේ ද නැත. ගවේෂණ කණ්‌ඩායම මුළු විශ්ව විද්‍යාලයය ම නියෝජනය කළ හෙයින්, ඒ ඒ ක්‌ෂේත්‍ර පිළිබඳ දන්නා ඒ ඒ පුද්ගලයන් විසින් අදාළ කරුණු සදහා අදාළ ස්‌ථානවල දී කණ්‌ඩායමේ සියල්ලන් ම දැනුවත් කරන ලදි. එනිසා ම මේ ගවේෂණ චාරිකාවන් අවසන දැනුම් සම්භාරයක්‌ එක්‌ කරන්නට සමත් විය. මා ගේ භූ විද්‍යා දැනුම ද වර්ධනය කරගන්නට එය මනා පිටිවහලක්‌ විය.

මේ ගවේෂණවල දී අප භාවිත කළ මාර්ග බොහෝ පිරිස්‌ ගමන් ගත් ඒවා විය. එනිසා ම බොහෝ අපද්‍රව්‍ය රැඳී තිබිණි. විශේෂයෙන් ම පොලිතින් වැනි කෘත්‍රිම දෑ බොහෝ විය. එක්‌ ගවේෂණයක දී මේ පිළිබඳ අවධානය යොමු කළ අප අතර සිටි සාමාජිකාවක කළ යෝජනාවකින් අප යන මාර්ගයේ වූ නො දිරන දෑ එකතු කරන්නට කිහිප දෙනකු තීරණය කළ අතර ක්‌ෂණයකින් එය ක්‍රියාත්මක විය. හන්තාන සංරක්‌ෂණ සංගමයේ සාමාජිකයන් ද ඒ අතර සිටි බැවින් එය පහසු විය. එදා පටන්ගත් එම යහ කටයුත්ත අප විශ්ව විද්‍යාලයයෙන් අයින් වන තුරු ම ක්‍රියාත්මක විය. අපි රැගෙන ගිය සියලු ම දෑ ද නැවත රැගෙන ඒමට වගා බලාගත්තෙමු. එදින ගත් ඒ අපූරු තීරණය එකල ගවේෂණ සංගමයේ නීතියක්‌ බවට පත් විය. අපට සොඳුරු අත්දැකීම් සහ දැනුම ලබා දුන් පරිසරයට කෘතුගුණ සැලකීමට ඒ අයුරින් හෝ හැකි වීම සතුටට කරුණක්‌ විය. පරිසරයට ලැදි මෙවැනි කණ්‌ඩායම් අතර පරිසර හිතකාමී කටයුතු ක්‍රියාත්මක කිරීම ඉතා පහසු වුවත් අනෙකුත් පිරිස්‌ අතර දී නම් එය මහත් අභියෝගයකි.

හන්තාන සංරක්‌ෂණ සංගමය මූලිකව විශ්වවිද්‍යාලය තුළ ද මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට හැකි විය. පාලක මණ්‌ඩලයේ ද ආශිර්වාදය මැද දැනුවත් කිරීම් ද සිදු කළ අතර පසුව විශ්වවිද්‍යාලයෙන් බැහැරට ද ක්‍රියාත්මක කිරීමට හැකි විය. එහි දී එකල විශ්වවිද්‍යාලයයේ අධ්‍යාපනය හැදෑරූ මා මිතුරු පශු වෛද්‍ය දීපානි ජයන්තා මහත්මිය ගේ මැදිහත් වීමෙන් තරුණ සත්ත්වවේදීන් ගේ සංගමය හා එක්‌ ව ශ්‍රී පාදස්‌ථානයේ කසළ එකතු කිරීමේ වැඩසටහනක්‌, 2000 වසරේ දී ක්‍රියාත්මක කිරීමට හැකි විය. මැයි මස පොහොය දිනයේ දී ශ්‍රී පාද වන්දනාව අවසන් වන හෙයින් එදින මේ ව්‍යාපෘතිය සඳහා තෝරාගත් අතර නල්ලතන්නියේ දී කණ්‌ඩායම් දෙක එක්‌ වී ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවී ය. නඩය ඉහළට කරුණා කරන අතර, මාර්ගය දෙපස වූ නො දිරන ද්‍රව්‍ය එකතු කරමින් මලුවලට පුරවා ඒ ඒ තැන්වල තැබුවෙමු. හවස්‌ වන විට ක්‍රමයෙන් ශ්‍රී පාදයට ළං වූ අතර රාත්‍රිය එහි ම ගත කර පසු දින පහළට බසින විට තැන් තැන්වල තැබූ කසළ පිරි මලු පහළට

රැගෙනැවිත් එක්‌ තැනක ගොඩ ගැසූ අතර මේ කසළ රැගෙන යැමට ඒ ප්‍රදේශයේ ප්‍රාදේශීය සභාව එක්‌ ව වැඩපිළිවෙළක්‌ යොදා තිබිණි. පසුව කළ විමසීමක දී මෙලෙස එකතු කළ නො දිරන අපද්‍රව්‍ය ප්‍රමාණය ටොන් එකක්‌ පමණ විය. මා ගේ මතකය නිවැරැදි නම් මේ සත්ක්‍රියාව දිගට ම සිදු වූ බවයි සඳහන් වන්නේ. පසුකාලීනව පොලිතින් වැනි ද්‍රව්‍ය පූජා භූමියට ගෙන යැම ද තහනම් කිරීමට මේ ක්‍රියාව හේතු වන්නට ඇත. එය හොඳ තීරණයක්‌ වුවත් නීතිවලින් වළක්‌වාලීමට වඩා ජනතාව මෙහි අහිතකර බව තේරුම්ගෙන අපද්‍රව්‍ය නිසි පරිදි බැහැර කිරීම ය වැදගත් වන්නේ.

මේ ආකාරයට ම ඒ කාලයේ ම අනුරාධපුර පූජා භුමියේ ද පොසොන් උත්සවය වෙනුවෙන් කසළ කළමනාකරණ ව්‍යාපෘතියක්‌ හන්තාන සංරක්‌ෂණ සංගමය විසින් ක්‍රියාත්මක කරන ලද අතර ඒ සදහා ඒ අවට ප්‍රධාන පාසල්වල දරුවන් ද සහභාගී කරවාගැනීමට හැකි විය. එය ඉතා ම හොඳ අවස්‌ථාවක්‌ වූයේ කසළ කළමනාකරණය පිළිබඳව එම පාසල් දරුවන් දැනුවත් කිරීමට හැකි වීමත් ඒ සම්බන්ධව අත්දැකීම් ලබා දීමට හැකි වීමත් නිසා ය. මෙවැනි කර්තව්‍යයන්වල දී පාසල් දරුවන් ගේ සහභාගීත්වය ඉතා වැදගත් වන්නේ රට කරවන අනාගතය ඔවුන් වන නිසාවෙනි.

මෙවැනි යහ ක්‍රියාවල යෙදීම එතරම් පහසු කටයුත්තක්‌ නො වේ. එය විටෙක උඩුගං බලා යැමෙකි. මන්ද යත් මෙවැනි දේ පහදා දීමේ දී ද, ක්‍රියාත්මක කිරීමේ දී ද විවිධ බාධක එල්ල වන බැවිනි. එහෙත් අන් මත ඉවසීමෙන් ද, හොඳින් ඇහුම්කන් දීමෙන් ද, ස්‌ථානෝචිතව ක්‍රියාත්මක වීමෙන් ද, කලබල නො වීමෙන් ද, කල්යල් බලා වැඩ කිරීමන් ද, ප්‍රායෝගිකව උදාහරණ දෙමින් ද, ගුණගරුක වීමෙන් ද මෙවැනි සත්ක්‍රියා සාර්ථක කරගැනීම අපහසු නො වන බව ය මා ගේ අත්දැකීම වන්නේ. කෙසේ වෙතත්, පරිසර ආරක්‌ෂණය උදෙසා කටයුතු කිරීම අප සියල්ලන් ගේ ම අනාගත සුබසාධනය සදහා හේතු වන බව නම් නොඅනුමාන ය.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Wednesday 8 March 2017


විදුපත් ඉරුව
08.03.2017

පසුගිය ඉරිදා එක්තරා රූපවාහිනි නාලිකාවක විකාශනය වූ ප්‍රවෘති අතර වැදගත් ප්‍රවෘතියක් විය. කලාතුරකින් හෝ එවැනි ප්‍රවෘති විකාශනය වීම සතුටට පත් විය යුතු අතර එමගින් කියවූයේ රජයේ පරිපාලන ආයතන දෙකක අතර ගැටලුවකි. එහි මූලික කරුණු වී තිබුනේ අලින්ගේ “කුණු” කෑමයි. පහසුවටත් ලේසියටත් ආහාර සොයාගැනීමේ මගක් කරගත් මේ “ගොන් අලි”ද ඔවුන්ගේ වපසරිය ආසන්නයට ගෙනත් දමන මානව කුණු කසල අවුස්සමින් “මිනිස් ඉඳුල්” ගිල දමන්නට පුරුදු වීම උන්ගේම අවාසනාවක් වී දැයි සිතේ.

තම පරිපාලන ව්‍යුහය තුල ගොඩ ගැහෙන කුණු වලට කරගන්නට දෙයක් නොමැති කල කොහේ හෝ ගොස් අත් හරින්නට තැත් කරන මෙවන් කලෙක මේ කුණු ගොඩ නිසා අලින්ට සිදුවන්නට යන විපත්තිය අදාළ වග කිවයුත්තන්ට සුළුවෙන් හෝ මතක් වීම කටින් බතල කොළ සිටුවන මැති ඇමතිවරු සිටිනා මෙවන් කලෙක එක්තරා පුදුමයට කරුණකි. කෙසේ වූවත් මේ ගැටලුව විසඳෙන්නට තවත් බොහෝ කලක් ගත වෙන බව නම් පවතින වර්තමාන පරිපාලන ක්‍රමය තුල පුදුමයක් නොවේ. එනිසා කුණු බුදින්නට පුරුදු වූ අලින් රැක ගැනීම සිහිනයක් විය හැකි අතර දිගින් දිගටම පොලිතින් වැනි අපද්‍රව්‍ය ඉඳුල් සමග ගිල දැමීමෙන් වැඩි කලක් යන්නට මත්තෙන් ආහාර මාර්ගය සිරවී ඉතා කටුක දුකක් විඳ තම ජීවිතෙන් සමුගන්නට මේ “ ගොන් අලින්” ට සිදුවනු ඇත. ඔවුනට ඒ තත්වය අත්කර දෙන්නට ඉතා වෙහෙස මහන්සි වී කටයුතු කරන, උත්සව දිනයට පමණක් ගහක් සිටුවා ජෛව විවිධත්වය රැකගැනීමේ උදාර මෙහෙයක දී සිටින ශ්‍රී ලංකාවේ කකුල් දෙකේ “ගොන් අලින්ට” තිරිසන් අලි මිය ගිය පසු,මෙතුවක් කල් තමන් සිදු කල ක්‍රියා දාමයේ ප්‍රථිපල දැකගත හැකි වනු ඇත.  

මෙගා කතා කියන උදවියගේ දාහක් පොරොන්දු කුණු වී යන්නේ කුණු ප්‍රශ්නයට විසඳුමක් සොයා ගත නොහැකි වී ඇති විටය. පොළොව ඇදවීම නිසා නටන්නට නොහැකි බව දැන් දැන් ඔවුන් පවසන බව පෙනී යයි. මේ සදහා බොහෝ විසඳුම් පොතෙන් ගෙන හැර පානා මුත් ප්‍රයෝගික භාවිතය ගැන කිසිඳු අත්දැකීමක් නොමැති වීම නිසා බොහෝ ව්‍යාපෘති සාර්ථක කර ගැනීමට නොහැකිව අත්හැර දැමී ඇත. මේ තත්වය එලෙසම පවතුන හොත් ඉදිරියේදිද සාර්ථක නොවනු ඇත. දිනෙන් දින වර්ධනය වන පොලිතින් භාවිතය නිසා නොදිරන අපද්‍රව්‍ය තට්ටුව ඝනකම් වන්නටත් එමගින් ලෝකයේ මතුපිට වැසි යන්නටත් සාගර පිරි යන්නටත් වැඩි කලක් ගත නොවනු ඇත.

මෙවැනි තත්ත්ව ඇතිවන්නට බොහෝ විට හේතුවන්නේ ආත්මාර්ථකාමීකමම බව අමුතුවෙන් සදහන් කරන්නට අවශ්‍ය වන්නේ නැත. එක් එක් පුද්ගලයන් තමන්ගේ වපසරිය තුල සිදුකල යුතු කාර්යභාරය මැනවින් හඳුනා නොගැනීම ද මෙවැනි විකෘතීන් සදහා හේතු වන බව අප මතක තබා ගත යුතුය. අප සතු වගකීම් මොනවාදැයි යන්න පමණක් නොව අනාගතයේ බිහිවන දරුවන්ගේ සුරක්ෂිතභාවය කුමක්දැයි එය කෙලෙස අරක්ෂා කල යුතුදැයි යන්න පවා ඉතා ගැඹුරෙන් සිහි තබා කටයුතු කල යුතුය.   තම විෂය ක්ෂේත්‍රය තුල තමා සතු වගකීම පැහැර හරිනා, අනුන්ගේ කස්තිරමේ ගුණ දොස් විවේචනය කරනා බොහොමයක් දෙනා මේ සමාජයේ මං මුලාවුවන් වෙයි. වර්තමානයේ ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ අතිශය පුද්ගලික සිදුවීම් පවා විවේචනය කරමින් “බුකියේ” පෙළහර පානා පඬියන්ගේ ක්‍රියාකලාපය අතිශය හාස්‍ය ජනක වෙයි. යමෙකුගේ පෞද්ගලිකත්වය කුමක්දැයි පවා තේරුම් ගැනීමට නොහැකි මෙවැන්නෝ කුණු බුදිනා “ගොන් අලි” නොවන්නේද ?

කුණු ගොඩගැහෙන ගහකොළ හිඟ වන සමයක කෙසේනම් නිසිකල වැසි බලාපොරොත්තු විය හැකිද. එනිසාම කඩිමුඩියේ තැනු ජලාශ හිඳී යන්නට පටන් ගෙන ඇත. සියයට 30 ක පමණ ධාරිතාවක් පමණක් ඇතිව හෝ මුළු රටටම විදුලිය දෙන්නට උත්සාහ කිරීම අගය කල යුතුය. අඩුව පුරවන්නට ඩිසල් බලාගාර වැඩි වැඩියෙන් ක්‍රියාත්මක කරවන්නට සිදුවේ. එවිට අමතර මුදලක් විදුලිය සදහා වැය වන බව සිහි තබා ගත යුතුය. ඒ වැය වීම රටේ ජනතාවට ආලෝකය ලබා දෙන්නට බවද අප හොඳින්ම සිහි තබා ගත යුතුය.

මෙවන් සමයක ජනතාවගේ වගකීම එම වැයවීම් අඩුකරලන්නට කටයුතු කිරීම නොවන්නේ ද . අනවශ්‍ය එකදු හෝ විදුලි පහනක්, විදුලි පංකාවක්, වායු සිසිලනයක් හෝ නිවා දමා අපට ද ඒ සදහා දායක විය හැක. එය අපගේ නිල වගකීමක් නොවූවද ඉතා අත්‍යවශ්‍ය කටයුත්තක් බව ද වටහා ගත යුතුය. අනවශ්‍ය විදුලි වැය වීම් වළකාලීම තවත් එක් දිනක් හෝ අඳුරේ සිටීමෙන් අපව වළකාලයි.  බොහෝ දෙනෙකු තේරුම් ගතයුතු දෙයක් වෙයි. ඒ මුදල් ගෙවා වැඩි වැඩියෙන් විදුලිය භාවිතා කරන්නට හැකි වූවද එය එහිදී වැයවන සම්පත් නැවත ලබා දීමට තරම් හේතු නොවන බවයි.

අපතේ යන කුණු භාවිතා කර ශක්තිය ජනනය කරන්නට හැකි බව ලොව බොහෝ රටවල මෙන්ම මෙරටද වරින් වර පෙන්වා දී තිබේ. ප්‍රත්‍යක්ෂ සත්‍ය තුල මෙය ප්‍රයෝගික බව පෙන්වා දී ඇත. එසේනම් අපගේ ප්‍රාදේශිය පරිපාලන ආයතන මේ සදහා ක්‍රියාත්මක නොවන්නේ මන්දැයි ගැටලුවකි. විසඳුම පෙන්වා දී තිබියදීත් කුණු ප්‍රශ්ණය හිගන්නාගේ තුවාලය බවට පත් වී ඇත්දැයි අයෙකුට සිතන්නට හැකිය. මෙගා ව්‍යපෘති නොවුනාට කම් නැත. සුළුවෙන් හෝ පටන් ගෙන කුණු ප්‍රශ්ණයට පමණක් නොව මෙය බල ශක්ති ජනනයටද සහයක් වන්නට හැකි බව පෙන්වා දෙන්නට හැකි පරිපාලන ආයතන බිහි වේ නම් කොපමණ අගේද. ඒ සදහා අවැසි ඔළුගෙඩි සෙවීම් නම් ගැටළුවක් වනු නොඅනුමානයි.  

  

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Tuesday 7 March 2017

විදුපත් ඉරුව
2015  ජුනි 17 බදාදා

විද්‍යා සන්නිවේදනය වැදගත් වන්නේ විද්‍යාත්මක පර්යේෂණ, යෙදීම්, සොයාගැනීම් ආදිය මහජනතාවට පැහැදිලි කිරීම සඳහා ය. ඒ සඳහා සරල සුමට රිද්මයක්‌ අනුගමනය කළ යුතු අතර එහි දී යෙදෙන වචන පිළිබඳව බොහෝ සැලකිලිමත් විය යුතු වේ. බටහිර විද්‍යාව විද්‍යාත්මක රචනා සඳහා යොදාගන්නේ ඉංග්‍රීසි භාෂාවයි. බොහෝ විට කර්තෘ අඥාත ව යෙදෙන මේ රචනාවල දී එක්‌ එක්‌ විෂය ක්‌ෂේත්‍රය උදෙසා වූ සුවිශේෂී වචන මාලාවක්‌ යොදමින් තම කතාන්දරය (හෝ පර්යේෂණය) විග්‍රහ කෙරෙයි. මේ සුවිශේෂී වචන මාලාව සහිත ව බොහෝ විට ඉංග්‍රීසියෙන් ලියවුණු බටහිර විද්‍යාත්මක පර්යේෂණ ලිපි එනිසා ම සාමාන්‍ය ජනතාවට තේරුම්ගැනීම අසීරු වෙයි.

මෙවැනි විද්‍යාත්මක පර්යේෂණ පත්‍රිකා හෝ කල්පිත සාමාන්‍ය ජනතාවට තේරෙන ලෙස ඉදිරිපත් කිරීම විද්‍යා සන්නිවේදනයේ දී වැදගත් වෙයි. එය වඩාත් තීව්‍ර වන්නේ තවත් භාෂාවකට පරිවර්තනය වීමේ දී ය. ශ්‍රී ලාංකික අපට ද මේ ගැටලුවට මුහුණ දීමට සිදු වේ. ඒ තවමත් විද්‍යාවේ යෙදෙන තාක්‌ෂණික යෙදුම් නිසි පරිදි නොමැති වීමත් ඇත්තා වූ වචන සාමාන්‍ය ජනතාව අතර ප්‍රචලිත නො වීමත් නිසා ය. එනිසා සරල සුගම විද්‍යා/තාක්‌ෂණ වචන මාලාවක්‌ නිර්මාණය කිරීම කාලීන අවශ්‍යතාවක්‌ වේ.

මෙහි දී සඳහන් කළ යුතු තවත් කරුණක්‌ වෙයි. ඒ, බොහෝ විට විද්‍යාත්මක කරුණු මාධ්‍ය භාවිතයේ දී නිවැරැදිව නො යෙදීමයි. එයට හේතු වන්නේ බොහෝ විට විද්‍යාත්මක කරුණු පිළිබඳව නිසි අවබෝධයකින් තොර ව ඉදිරිපත් කිරීම ය. එනිසා එවැනි ලිපි හෝ පර්යේෂණ පත්‍රිකා සිංහලට පරිවර්තනය වීමේ දී මුල් කෘතියේ වූ අදහස විකෘති ව යෙදෙන අවස්‌ථා බොහෝ වෙයි. ඒ හේතුවෙන් විද්‍යාත්මක කරුණු කාරණා ඉදිරිපත් කිරීමේ දී ඒ සම්බන්ධ වැටහීමක්‌ තිබීම අත්‍යවශ්‍ය වේ. ඒ සඳහා අදාළ ලිපිය ඉදිරිපත් කරන තැනැත්තාට විද්‍යාත්මක පසුබිමක්‌ තිබීම පහසුවක්‌ වේ. එසේත් නොමැති නම් ඒ පිළිබඳව දන්නා යමකු ගෙන් උපදෙස්‌ ලබාගැනීම යුතු වේ. එවැනි අසම්පූර්ණ ලිපි පාඨකයා නොමග යවයි.

මෙවැනි විද්‍යාත්මක ලිපි ලිවීමේ දී අදාළ කරුණ සම්බන්ධ වටපිටාව සකස්‌ කරගැනීමට ඒ ආශ්‍රිත ග්‍රන්ථ, ලිපි, විරුද්ධ මතවාද කියවීම අත්‍යවශ්‍ය ය. එසේ නොමැති වුව හොත් ලිපිය පටු සීමාවකට කොටු වන අතර සාරගර්භ බව සහ තුලනාත්මක බව පවත්වාගැනීම අපහසු වෙයි. කෙසේ වෙතත් තම මතයක්‌ පමණක්‌ ඉදිරිපත් කරන්නේ නම් විරුද්ධ මතවාද පිළිsබඳ මනා අවබෝධයක්‌ තිබීම තමා ඉදිරිපත් කරන කරුණු නිසි පරිදි ගොනු කරගැනීමට මනා රුකුලක්‌ වෙයි.

විද්‍යා සන්නිවේදනයේ දී සඟරාවලට හිමි වන්නේ සුවිශේෂී තැනකි. බොහෝ විට දිනපතා සහ සති අන්ත පුවත්පත් විද්‍යා සන්නිවේදනයට ඉතා අඩු ප්‍රමුඛතාවක්‌ ලබා දීම කණගාටුවට කරුණකි. ශ්‍රී ලංකාවේ විද්‍යා සන්නිවේදනය මුඛ්‍ය පරමාර්ථය කරගත්තා වූ පුවත්පතක්‌ ඇත්නම් ඒ විදුසර පමණකි. තම 28 වැනි අවුරුද්ද ගත කරන විදුසර විද්‍යා සන්නිවේදනය සඳහා මේ දක්‌වා කර ඇති මෙහෙය අමිල ය. බොහෝ අඩුවෙන් වෙළෙඳ දැන්වීම් පළ කරමින් ද, ලාබය නො සලකමින් ද සිදු කරන්නා වූ මේ උදාරතර කර්තව්‍යය බෙහෙවින් අගය කළ යුතු ය. ආරම්භයේ සිට ම විදුසර පාඨකයකු වූ මා එතැන් පටන් ලබාගත් විද්‍යා දැනුම විස්‌තර කළ නොහැකි තරම් ය. මාගේ මතකයට නැෙගන්නේ පාසල් නිවාඩු කාලවල සමහර අවස්‌ථාවල දී සැතපුම් පහක්‌ පමණ දුර පයින් ම ගෙවා විදුසර මිල දී ගැනීමට මා නගරයට ආ සැටියි. ඒ එතරම් ම දැඩි ලෙස වූ මා ගේ විදුසරට තිබූ කැමැත්තයි.

විදුසර කාලීනව තවදුරටත් ප්‍රගමනය කළ යුතු බව මාගේ අදහසයි. මෙහි දී විද්‍යා ලෝකයට පා තබන කුඩා දරුවන් හට කියවන්නට ලිපි ඇත්තේ අඩුවෙනිs. එම නිසා කර්තෘ මණ්‌ඩලය ඒ පිළිබඳව සැලකිල්ලට ගන්නේ නම් ස්‌තුතිවන්ත වෙමි. උසස්‌පෙළ විභාගයට පෙනී සිටින දරුවන් ගේ පාඩම් මාලාව වෙන ම එකතු කරගත හැකි අතිරේකයක්‌ ලෙස ලබා දීමට කටයුතු කිරීම ද අනෙක්‌ විද්‍යා ලිපි අඛණ්‌ඩව කියවීමට පහසුවක්‌ වේ යෑයි සිතමි. එමෙන් ම ශ්‍රී ලංකික විද්වතුන් සිදු කරන්නා වූ පර්යේෂණ සඳහා වඩා හොඳ ප්‍රචාරක අවස්‌ථාවක්‌ ලබා දීමට කටයුතු කරන්නේ නේ නම් ශ්‍රී ලාංකික විද්‍යා ක්‌ෂේත්‍රය සාමාන්‍ය ජනයාට තව තවත් සමීප කරවීමට හේතු වනු ඇත.


ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Monday 6 March 2017


කුළුඳුල්  ඔක්සිජන්

පෘථිවි ආරම්භයේදී ප්‍රාථමික වායුගෝලයේ ඔක්සිජන් වායුව තිබුනේ නැත. මුල් වසර මිලියනය පුරාවටම මෙම තත්වය පැවතී අතර අදින් වසර මිලියන 3500 ක්‌ පමණ කාලයේ ඒ අසිරිමත් ක්‍රියාවලිය හටගනිමින් තිබුණි.

මුල්ම පෘථිවි ජිවීන් ඉතාම කුඩා ක්ෂුද්‍ර දේහධාරීන් විය. ඔවුන් තම ආහාර අවශ්‍යතාවය සපුරා ගත්තේ රසාසංශ්ලේෂණයනම් වූ ක්‍රියාවලියෙනි.  ජානමය විකෘතිතා හේතුවෙන් සමහර රසාසංශ්ලේෂ්කයන් ආලෝක ශක්තිය උපයෝගයෙන් වායුගෝලයේ වූ කාබොන්ඩයෝක්‌සයිඩ් නම් වූ වායුව උරාගෙන ඒවා සරල සිනි බවට පත්කරමින් ආහාර නිපදවීය. ජීවී විකශනයේ අතිශය වැදගත් මෙම ක්‍රියාවලිය ප්‍රභාසංස්ලේෂණය ලෙස හැදින්වෙන අතර මෙහි අතුරුඵලය වුයේ වායුගෝලයට අනුක ඔක්සිජන් එකතු වීමයි. නමුත් ඒවාට වායුගෝලයේ දිගුකල් රැඳීමට ඉඩ ලැබුනේ නැත.

සාගරවල සහ ගොඩබිම වූ යකඩ ඔක්සිජන් සමග ප්‍රතික්‍රියාකරමින් යකඩ මලඇතිකරවූ අතර බරින් වැඩි මෙම යකඩ මල සාගර පතුලේ ක්‍රමයෙන් තැන්පත් වෙමින් යකඩ බහුල අවසාදිත පාෂාණ බිහි විය. ප්‍රභාසංස්ලේශී ප්‍රාග් කාරියෝටාවන් මද බව නිසාත් එකතුවූ ඔක්සිජන් සියල්ල යකඩ සමග ප්‍රතික්‍රියා කිරීමත් හේතුවෙන් ඉන් පසුව ගතවූ වසර මිලියනය තුලද වායුගෝලයේ වුයේ ඉතා අඩු ඔක්සිජන් ප්‍රමාණයකි.

අදින් වසර මිලියන 2500 කට පමණ පෙර ඇතිවූ සයනෝ බැක්ටීරියාවන්ගේ ප්‍රභාසංස්ලේශී ක්‍රියාදාමය පෘතුවි වායු ගෝලය ඔක්සිජන් වලින් පුරවාලන්නට සමත් විය. මෙය පෘතුවි ජීවීන්ගේ නව ඇරැඹුමක අසිරිමත් කාලවකවානුව බවට පත්විය. එමෙන්ම ප්‍රථම පෘතුවිවාසීන් වූ රසාසංශ්ලේෂකයන් සම්පුර්ණයෙන්ම ඔවුන්ගේ ප්‍රධාන නිජබිම් වලින් අතුගා දමන්ට සමත්වූ අතර ඉතා සුළු ස්ථාන කිහිපයකට පමණක් සිමා කෙරුණි. වායු ගෝලයට එක් වූ  ඔක්සිජන් වලින් කොටසක්  පාරජම්බුල කිරණ වල ශක්තිය උරාගෙන පරමාණු බවට පත්වූ අතර එම පරමාණු අනුක ඔක්සිජන් සමග බන්ධනය වෙමින් ඕසෝන් නම් වූ වායුව නිපදවීමට සමත් විය.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ.
විදු පත් ඉරුව

2015  ජුනි 24 බදාදා

ග්‍රීෂ්මය නිමා කරමින් වැසි ඇදහැළෙන්නට පටන් ගත් නිසා පරිසරය සිසිල් වෙලා. ගහ කොළ අතපය දිගහැරලා ප්‍රාණවත් වෙමින් ඊළඟ වර්ධන සංග්‍රාමය පටන්ගන්න ලහි ලහියේ සුදානම් වෙමින් ඉන්නේ. වියළුණු පත්‍ර අතර සැඟවිලා තිබුණු බීජ ක්‍රමයෙන් ජලය උරාගෙන බීජාවරණ මොළොක්‌ කරන්නේ ඒ අතර සුරැකි අනාගත ජීවය මෙලොවට පහළ කරන්නටයි. වැඩි කාලයක්‌ යන්නට මත්තෙන් බීජාවරණ දෙපලු කරගෙන නැවුම් අංකුර මතු වන්නේ තාවකාලිකව පෝෂණය සපයන බීජ පත්‍රත් සමගයි. එළියට විහිදුණු අංකුර ක්‍රමයෙන් වර්ධනය වෙමින් කුඩා පත්‍ර බිහි කරන අතර හරිතප්‍රද නිපදවමින් ප්‍රභා ශක්‌තිය තිර කරන්නට පටන් ගන්නවා. ඒ තවත් ප්‍රභාසංශ්ලේෂී පරපුරක ඇරඹුමයි.

වත්මනෙහි ලොව දියුණු ම ශාක රාජධානිය වන සපුෂ්ප ද්විබීජපත්‍රී ශාක ඉතා සාර්ථකව ගොඩබිම ජය ගත් අයයි. මොවුන් තම "දරු පරම්පරාව" බිහි කිරීමේ දී නොදියුණු ශාකවලට ඇත්තා වූ ජල අවශ්‍යතාවෙන් සම්පූර්ණයෙන් ම මිදී තිබෙනවා. පරාගණය නම් වූ අපූරු ක්‍රියාදාමයක්‌ ඔස්‌සේ ජාන සම්මිශ්‍රණයට පෙලඹුණු මේ ශාක පරාග පතනය සඳහා කදිම වේදිකාවක්‌ කලංකය නිර්මාණයෙන් තනා තිබෙනවා. පතනය වූ පරාගයේ වර්ධනය වේදිකාව මතින් ම ඇරඹෙන අතර දිගු කීලය ඔස්‌සේ පරාගයේ වූ න්‍යෂ්ටිය

රැගෙන යන්නේ පරාගයෙන් නිර්මාණය කරන්නා වූ නාළය මගින්. ඩිම්බකෝෂ මස්‌තකයට සවි වූ කීලයේ පහළ කෙළවරින් විනිවිද යන එම නාළය ඩිම්බ හා සම්බන්ධ වෙමින් සංසේචන ක්‍රියාවලිය අවසන් කරනවා. සරල වූත් විස්‌මයජනක වූත් මේ ක්‍රියාවලිය හේතුවෙන් දියුණු සපුෂ්ප ශාක ලිංගික ප්‍රජනනයේ දී අවශ්‍ය වන ජලය සැපිරීම පරාග නළයට පමණක්‌ සීමා කිරීම ඔවුනට ගොඩබිම ජයගැනීමට හේතු වූ ප්‍රධාන ම සාධකයයි.

ලෝකයේ අස්‌සක්‌ මුල්ලක්‌ නෑර ව්‍යාප්ත වූ මේ ද්විබීජපත්‍රී ශාක අපට විවිධාකාරයෙන් උපකාරී වනවා.

ඉහත කී කරුණු කාරණාත් සමග මා ගේ මතකයට නැෙගන්නේ අප පාසලේ වූ දැවැන්ත සියඹලා ගසයි. උදයෙන් ම පාසලට යැමට පුරුදු වී සිටි මා යහළුවන් එන තුරු බොහෝ විට රැඳී සිටියේ මේ ගස මුලයි. එනිසා එහි දිනෙන් දින සිදු වන වෙනස්‌කම් නිරීක්‌ෂණයට කදිම අවස්‌ථාවක්‌ මා හට උදා වුණා. කුඩා නමුත් ළං වී සුපරීක්‌ෂාකාරීව බැලූ විට ඉතා අලංකාර පුෂ්පයක්‌ සියඹලා ශාකයට තිබෙන බව දකින්නට පිළිවන්. සැම අතු අගිස්‌සක ම මල් හටගන්නා අතර සම්පූර්ණ ගස ම මලින් වැසී ගිය පසු එය කදිම දසුනක්‌ මවනවා. ටික දිනකින් ගහ යට පර වූ මලින් වැසී යන අතර පරාගනයේ ප්‍රතිපලය ලෙස ඉතා කුඩා පල හට ගැනීම නිරීක්‌ෂණය කළ හැකි වනවා. කාලයත් සමග දිගට ඇදෙමින් විශාල වන පල, කරලක්‌ ලෙස අපට දිස්‌ වනවා. කරල් පැහෙනා කාලය වන විට නම් පහත අතු අතර කිසිදු කරලක්‌ සොයාගැනීමට හැකි වන්නේ නැහැ. ඒ සියලු අමු කරල් පාසලේ සිසුන් විසින් කා දමනු ලබන නිසා. කෙසේ වෙතත් අස්‌වැන්න අවසානයේ කුණු වූ කරල්වලිනුත්, බිමට වැටුණු කරල්වලිනුත් නිදහස්‌ වන බීජ ගස අවට ප්‍රදේශය පුරා විසිරී තිබෙනු දක්‌නට ලැබෙනවා. වර්ෂා කාලය එළඹෙත් ම සියඹලා බීජ පැළ වන්නට පටන් ගන්නවා. එහෙත් මා ගේ පාසල් කාලය තුළ නම් කිසිදු පැළයක්‌ ඒ විසල් සියඹලා ගස යට නම් වැඩෙනු දුටුවේ නැහැ.

සියඹලා ගස වැඩෙන්නේ බොහෝ විට වියළිs කලාපයේයි. එහෙත් මෙය තෙත් කලාපයේත් හොඳින් ම වැවෙන්නක්‌. අතුපතර විහිදා වැඩෙන නිසා මේ ශාකය සෙවණක්‌ ද සිසිලසක්‌ ද ගෙන දෙනවා. සියඹලා කරලෙන් ද ලැබෙන්නේ එවැනි ම වූ සිසිලසක්‌. හොඳින් වියළුණු කරලේ මදයෙන් අපූරු පානයක්‌ සකස්‌ කරගත හැකි අතර එය අප ගේ ගත සිත නිවා දමන්නට සමත්. ආමාශය ආශ්‍රිත රෝග නිවාරණයටත් අජීරණවල දීත් ආහාර රුචිය වැඩීමටත් මේ සුදුසු බව අත්දුටු දෙයක්‌. බොහෝ විට දෛනිකව ආහාර පිසීමේ දී අඩුම කුඩුම ලෙස අප සියඹලා යොදාගන්නේ එනිසා ද විය හැකියි. මේවා අතීතයේ සිට ම අක්‌ෂි රෝගවල දී ඇස්‌ සේදීම සඳහා යොදාගන්නා බව ද සඳහන් කළ යුතුයි.

මෙවැනි ම වූ බෙලි, දිවුල්, අනෝදා, ගොරකා වැනි බොහොමයක්‌ ශාකවල විවිධ ප්‍රයෝජන ගැන අප ගේ මුතුන් මිත්තන් මනාව දැන සිටි බව නොරහසක්‌. එපමණක්‌ නො ව පරිසරයේ වැඩෙන සැම පැළෑටියක ම, ශාකයක ම කුමන හෝ වැදගත්කමක්‌ පැවතුණා. එය ආහාරමය හෝ ඖෂධමය හෝ විය හැකියි. එනිසා ම ගෙවත්තක වූයේ වල්පැළ නො ව බෙහෙත් වර්ගයි. සම්මිශ්‍රණය හොඳින් ප්‍රගුණ කළ අප ගේ මුතුන් මිත්තන්ට මනා සෞඛ්‍යයක්‌ පවත්වාගැනීම අපහසු කාර්යයක්‌ වුණේ නැහැ.

මෙවැනි වූ දේශීය දැනුම ජනතාව අතර එලෙස පැතිර පැවතීම විටෙක පුදුමය දනවනසුලුයි. වසර සිය ගණනක්‌ හෝ දහස්‌ ගණනක්‌ තිස්‌සේ ප්‍රායෝගික පරීක්‌ෂණවලට ලක්‌ වී ප්‍රත්‍යක්‌ෂ වූ මේ ආකාරයේ දැනුම ඉතා වැදගත්. බොහෝ දෙනකු ගේ නිරීක්‌ෂණ සහ අත්දැකීම් මත ස්‌ථාපිත වූ මේ දැනුම විටෙක බටහිර විද්‍යාවටත් අභියෝගයක්‌. සත්‍ය ලෙස ම සලකා බැලුව හොත් බටහිර විද්‍යාවේ පරීක්‌ෂණ, නිරීක්‌ෂණ සහ නිගමන මතින් තහවුරු වන අකාරයට ම හෝ සමහර විටෙක ඉන් ඔබ්බට ද ගිය සුවිශේෂී ක්‍රමවේද ඔස්‌සේ සකස්‌ කරගත් මේ දැනුම අප සංස්‌කෘතියට ආවේනිකයි. ශ්‍රී ලාංකිකයන් ලෙස අප අමතක නො කළ යුත්තේත් එය මයි.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

  පත්මෙගේ භූ විද්‍යා අන්දර  04 2024 සැප්තැම්බර මස  18 දින විදුසර පුවත්පතේ පල වූ ලිපියකි.  ශ්‍රී ලංකාවේ අවධානය දේශගුණ විපර්යාස කෙරෙහි යොමුවීම...