2017.05.27 බදාදා
හැත්තෑව දසකයට පෙර බංග්ලාදේශයේ ළදරු මරණ බොහෝ විය. මේ සදහා හේතු වන්නේ දූෂිත ජලය බව තේරුම්ගත් යුනිසෙෆ් සංවිධානය සහ ලෝක බැංකුව මේ ජනතාවට භූ ගත ජලය ලබා දීමේ වැඩපිළිවෙළක් දියත් කළේ ය. එනිසා එරට පුරා මිලියන අටක් පමණ නළ ළිං ස්‌ථාපනය කළ අතර සියයට පනහකින් පමණ ළදරු මරණ ප්‍රමාණය අඩු කරගත හැකි විය. එහෙත් මේ ස්‌ථාපිත සැම නළ ළිං පහකින් එකක ම ආසනික් නම් වූ ඉතා විෂ බැර ලෝහය අඩංගු බව දැනගත්තේ බොහොමයක් දෙනා දරුණු ලෙස වකුගඩු රෝගයට ගොදුරු වීමෙන් අනතුරු ව ය. බංග්ලාදේශයේ ගම් නව සියයක පමණ ජනතාව මේ හේතුවෙන් පීඩාවට පත් විය.
ජෛව ගෝලය කෙරෙහි භූගෝලයේ බලපෑම පෙන්නුම් කරනට මේ සිදුවීම කදිම නිදසුනකි. මෙපමණක් නො ව, ජලයේ පවතින "ෆ්ලෝරයිඩ්" හේතුවෙන් දත් අවපැහැ වීම ද, බෙල්ලෙහි වායු ගෙඩි ඇති වීම ද, අස්‌ථි දරුණු ලෙස විකෘත වීම ද සිදු වන බව මේ වන විටත් සොයාගෙන ඇත. රෝම ශිෂ්ටාචාරය බිඳ වැටීම සම්බන්ධයෙන් කියෑවෙන්නේ ද භූ සම්පත් පරිහරණයේ අනිටු ප්‍රතිඵලයක් ලෙසිනි. කෙසේ වෙතත් පසුගිය දශක කිහිපය තිස්‌සේ මේ සම්බන්ධව කරන ලද පර්යේෂණ හේතුවෙන් මෙමගින් ඇති වන සෞඛ්‍යමය ගැටලු පිළිබඳව ලෝ වැසියන් ගේ අවධානය වැඩි වෙමින් පවතින බව පෙනී යයි.
ඛනිජ යනු රසායනික සංයෝග වේ. පාෂාණ යනු ඛනිජ සමූහයක එකතුවකි. එක් ඛනිජයකින් පමණක් සෑදෙන පාෂාණ ද නැතුවා නො වේ. ලොව පවතින බොහොමයක් පාෂාණ සමන්විත වන්නේ සිලිකාමය ඛනිජවලිනි. විපරීත පාෂාණවලින් ගහන වූ ශ්‍රී ලාංකේය භූ ස්‌කන්ධය ද මෙසේ ම ය. කාලාන්තරයක් තිස්‌සේ ජලයටත් වායුගෝලයටත් නිරාවරණය වන පාෂාණ, ලොව පවතින කිසිවකුට වත් ගැලවිය නොහැකි ජීර්ණ ක්‍රියාවලියට ක්‍රමයෙන් භාජන වේ. එනිසා පාෂාණයේ වූ විවිධ ඛනිජ ද්විතීයික ඛනිජ බවට පත් වේ. පස නිර්මාණය වන්නේ මෙලෙස ය. ජීර්ණයෙන් පසට නිකුත් වන ද්විතීයික ඛනිජ ද ජලයේ ද්‍රdවණය වන අයන ද වර්ෂාපතනය හේතුවෙන් ජල ගෝලයට මිශ්‍ර වන අතර, මේ හේතුවෙන් පවතින ස්‌ථානයෙන් බොහෝ දුරකට ගමන් කළ හැකි ය. මේ නිසා මතුපිට ජලය ද ඛනිජ ලවණවලින් අනූන ය. අපට අවශ්‍ය සමහර ඛනිජ ලවණ ලබා දෙන්නේ මේ ජලයයි.
පාෂාණ බොහෝ විට කුස්‌තුර සහ දැදුරුවලින් යුක්‌ත වේ. මේ කුස්‌තුර සහ දැදුරු පාෂාණ තුළ ජලය රඳවා තබන අතර භූගත ජලාශ නිර්මාණය කරයි. කාලාන්තරයක් තිස්‌සේ පාෂාණය හා ගැටෙන මේ භූගත ජලය ක්‍රමයෙන් පාෂාණයේ ජීර්ණිත කොටස්‌වලින් සමහර ද්‍රව්‍ය ඛනිජ ලවණ එක්‌කාසු කරගනී. මේවා සාන්ද්‍රගත වීම ජලයේ ආම්ලිකතාව සහ උණුසුම මත රඳා පවතී. භූ අභ්‍යන්තරයේ ගමන් කරන මේ ජලය මෙලෙස ඛනිජ ලවණ එකතු කරගන්නා සේ ම ආම්ලිකතාවේත් උණුසුමේත් වෙනස් වීම් හේතුවෙන් එක් එක් තැන්වල දී තැන්පත් කිරීම ද සිදු කරයි.
කාලාන්තරයක් තිස්‌සේ එක ප්‍රදේශයක වාසය කරන ජනතාව එම ප්‍රදේශයේ භූ පරිසරයට හුරු වී ඇත. එය පරම්පරා ගණනාවක් තිස්‌සේ සිදු වූවකි. එම නිසා ආහාරවලට ද ජලයට ද මිශ්‍ර වීමෙන් භූ පරිසරයෙන් ලබාගන්නා හිතකර දෑ සඳහා යහපත් ප්‍රතිචාර දක්‌වමින් ද අයහපත් දෑ සඳහා තම දේහ ශක්‌තිය වර්ධනය කරගනිමින් ද ඒවා ජාන තුළට ඇතුළත් කරගනිමින් ද ඒ ඒ ප්‍රදේශවල ජනතාව පරිණාමය වෙමින් පවතී. මේ සඳහා කාලාන්තරයක් ගත වන අතර, ශ්‍රී ලංකාවේ නම් පැරැණි ජන සමාජය මේ සදහා මනාව හැඩගැසී සිටි බව නොරහසකි. අංශුමාත්‍ර ප්‍රමාණවලින් ලබා ගන්නා භූ රසායන සඳහා එය සත්‍ය වුවත් අධිමාත්‍රාවලින් දේහගත වන ද්‍රව්‍ය නිසා බොහෝ විට මිනිසුන් රෝගී වේ.
කෙසේ වෙතත් පසුගිය දශක පහක හයක කාලයේ අප රට එක්‌තරා සංක්‍රාන්ති සමයකට ඇතුළත් ව සිටින බව අප කවුරුත් තේරුම්ගත යුතු දෙයකි. කාර්මිකකරණය ද විවෘත ආර්ථිකය ද හේතුවෙන් ශ්‍රී ලාංකික ජන සමාජය බෙහෙවින් වෙනස් වෙමින් ඇත. භූ පරිසරයත් සමග සිදු වන ක්‍රියාකාරකම් ද එනිසා ම එයට සිදු වන බලපෑම ද වැඩි වී ඇත. එපමණක් නො ව කාලාන්තරයක් තිස්‌සේ එක ම ප්‍රදේශයක වාසය කිරීමට පුරුදු වී සිටි අප ජනතාව දැන් දැන් විවිධ හේතුන් නිසා වෙනස් වෙනස් පරිසර පද්ධතිවලට සංක්‍රමණය වී ඇත.
පසුගිය කාල වකවානුවේ සිදු කළ මහවැලි ව්‍යාපෘතිය නිසා බොහොමයක් පිරිස් රජරටට සංක්‍රමණය විය. කලක් ගත වීමෙන් පසු ඉතා දරුණු ලෙස තවමත් නො දන්නා හේතුවක් නිසා ඔවුන් වකුගඩු ආශ්‍රිත රෝගයකට ගොදුරු වෙමින් ඇත. අද වන විට එය ජාතික ව්‍යසනයක් බවට පත් ව ඇත. මහවැලි ව්‍යාපාරය හේතුවෙන් කඳුකරයෙන් එක් රැස් කරගත් ඛනිජ ලවණ ද ඇතුළු බොහොමයක් කෘත්‍රිම දෑ රජරටට ගෙන එන බව පැහැදිලි ය. එමෙන් ම කෘෂිකාර්මික රසායනයන් ද විශාල වශයෙන් ප්‍රදේශයේ ජනතාව විසින් භාවිත කරනු ලැබෙයි. වියළි කාලගුණය හේතුවෙන් මෙවැනි බොහොමයක් රසායන සාන්ද්‍රගත වේ. මේවා භූගත ජලය ද පස ද සමග මිශ්‍ර වන අතර එම නිසා භූ පරිසරයේ සිදු වන රසායනික ක්‍රියාකාරකම් පිළිබඳව නිසි වැටහීමක් තවමත් අප තුළ නොමැත. විශේෂයෙන් ම කෘත්‍රිම රසායනික සංයෝග භූ පරිසරයට එකතු වීමෙන් ද ඒවායේ වියෝජනයෙන් ද ඇති වන ද්විතීයික රසායනයන්හි හැසිරීම ද පිළිබඳව මනා අවබෝධයක් ලබාගැනීම අත්‍යවශ්‍ය ම වේ. එනිසා භූ විද්‍යාඥයන් ගේ ද භූ ජල විද්‍යාඥයන් ගේ ද සහාය මේ වකුගඩු රෝගයට හේතු වන්නේ කවර කාරණයක් ද යන්න සෙවීමෙහි ලා අතිශය වැදගත් වේ.
ආචාර්ය පත්මකුමාර ජයසිංහ