Thursday 30 March 2017


විදුපත් ඉරුව

2017 මාර්තු 29 බදාදා

පෘථිවිය බිහිවූයේ මින් වසර බිලියන 4.6 කට පෙරය. මහා පිපිරුම නිසා විසිරුණු දුහුවිලි වලාවක් ක්‍රමයෙන් සංකෝචනය වීමෙන් පෘථිවිය සහිත මෙම සූර්යග්‍රහ මණ්ඩලය නිර්මාණය විය. එහි ජීවයේ නියමුවා වූයේ පෘථිවියයි. දසත පැතිර තිබු දුහුවිලි අධික තාපයක් සමග සංකෝචනය වූයේ ඝනැති පාෂාණ නිර්මාණය කරමිනි. ක්‍රමයෙන් සිසිලනයට ලක් වූ පාෂාණ තට්ටු වරෙක එක් වෙමින් ද නැවත වෙන්වෙමින් ද නොනවතින ගමනක් නිරත වෙමින් පවතී. මේ අතර ජීර්ණයට ලක්වූ මිහිපිට වූ පාෂාණ අවසාදිත නිර්මාණය කරමින් මුහුදු පත්ලේ තැන්පත් කරවුනි. තවත් වරෙක මිහිලිය ගිලගත් පාෂාණ තට්ටු දියකරමින් ලෝදිය නිපැදවිය.

එලෙස නිර්මාණය වූ පෘථිවි තල අතර වූ එක් අපූරු තලයකය අප රට ශ්‍රී ලංකාව පිහිටන්නේ.  ජුරාසික යුගයේ දී ම ඉන්දියානු තලයෙන් වෙන්ව තනිව ගමනක යෙදෙන ශ්‍රී ලාංකීය භූ තලය අද දවසේ ඔබ අපගේ නිවහන වන්නේය. දූපතක් ලෙස මෙදින එය දිස්වන්නට හේතු වූයේ එම වෙන් වීමයි. භූ විද්‍යාඥයින් පවසන අන්දමට වසරකට මිලිමීටර එකක පමණ වේගයකින් ඉන්දියාවෙන් වෙන්ව ඕස්ට්‍රේලියාව දෙසට පා වෙමින් පවතින ශ්‍රී ලාංකේය භුමි භාගය කාවරී ද්‍රෝණිය කෙමෙන් පුළුල් කරයි.

ශ්‍රී ලාංකීය භූ විද්‍යාත්මක පසුබිම ඔබ අප සියලු දෙනා දැන ගත යුතුව ඇත. ප්‍රෝටෙරෝසෝයික් යුගය ශ්‍රී ලාංකේය භුමි භාගය නිර්මාණය කරන්නට හේතුවූ කාලවකවානුවයි. ඒ වසර මිලියන 2000 ට පමණ පෙරය. ලොව බිහිවූ මුල්ම පාෂාණ ගිනිකඳු පිපිරීම් නිසා ද භූ තල ක්‍රියාකාරකම් නිසා ද නැවත නැවත චක්‍රීයකරණය වන්නට විය. මෙහිදී ජීර්ණය ද ප්‍රමුඛ කාර්ය භාරයක් ඉටු කළේය. එමගින් බිහිවූ අවසාදිත මුහුදු පත්ලේ තැන්පත් වූ අතර වරින් වර පොළෝ අභ්‍යන්තරයෙන් පිපිරී ඉහලට ආ ලෝදිය සමග මිශ්‍ර විය. ශ්‍රී ලාංකේය භුමි භාගයේ නිර්මාණය එසේ ඇරඹුන අතර එය එතරම්ම සරල සිදුවීමක් නොවන බවද අප සිහි තබා ගත යුතුය. දීර්ඝ කාලයක් තිස්සේ සිදුවන මෙවැනි පෘථිවි ක්‍රියාදාමයන් සැමවිටම සංකීර්ණ වෙයි.  

වසර මිලියන පන්සියයක් පමණ වූ කාලයේ සිදු වූ තවත් අපූරු ක්‍රියාවලියක් හේතුවෙන් ද්‍රෝණි ගත වූ ඉහත කී පූර්වජ අවසාදිත වල ද අවසාදිත පාෂාණ වල ද සිදු වූ විපරියාසය ශ්‍රී ලාංකේය භුමි භාගය නිර්මාණයට හේතු විය. එය විපරිතකරණය නම් වේ. පෘතුවිතල අතර වූ තෙරපීම මෙම විපරිතකරණය සිදුකරවීය. අවසාදිතකරණය හේතුවෙන් මුහුදු පත්ලේ නිර්මාණය වූ පූර්වජ අවසාදිත සහ අවසාදිත පාෂාණ මෙනිසා විපරිතකරණය විය. ඒ හා සමග වූ ලෝදියෙන් නිර්මාණය වූ පාෂාණ ද වීපරිතකරණයට ලක්විය. වීපරිතකරණය මුළුමනින්ම වෙනස් වූ පාෂාණ ගොනු බිහි කරන්නට හේතු විය.    

මෙම වීපරිතකරණයෙන් ශ්‍රී ලාංකේය භුමි භාගය නිර්මාණය කල පාෂාණ බහුතරයක් විපරිත පාෂාණ බවට පත් වුනි. විපරිතකරණයේ අපූරු සිහිවටන එම පාෂාණ තුල තැන්පත් කෙරුණි. ඝන මාධ්‍යයේ සිදු වූ ප්‍රතිඛණිජකරණය විපරිතකරණය සිදුවන විට තිබු පාරිසරික තත්ත්ව වලට ගැලපුණු කදිමට ඛණිජ බිහිකරන්නට හේතු විය. ඝන මධ්‍යයේ සිදුවන ස්ඵටිකීකරණය විශ්මයජනක භූ රසායනික ක්‍රියාවලියකි. වීපරිතකරණය සිදුවද්දී ඇතිවන පීඩනය ද අධික තාපය ද මෙම ප්‍රතිඛණිජකරණයට මග පාදයි. ඛණිජ යනු රසායනික සංයෝග වේ. ඒවා නිර්මාණය වන්නේ විවිධ මූද්‍රව්‍යය මිශ්‍රණයෙන් වන අතර වීපරිතකරණයේදී වෙනත් ඛණිජය බවට පත් වීමේදී මෙම මුලද්‍රව්‍ය පැරණි ඛණිජ තුලින් ගිලිහී නැවත මිශ්‍රව අලුත් ඛණිජ බිහි කරයි. ඇදහිය නොහැකි කරුණ වන්නේ මේ සියල්ල ඝන මධ්‍යයේ සිදු වීමයි. විපරීතකරණයේ විශ්මය එයයි.       

විපරීතකරණයේදී අවසාදිත සහ අවසාදිත පාෂාණ සුවිශේෂී විපරීතපාෂාණ බවට පත් වේ. බොහොමයක් අවසාදිතවලට ලාක්ෂණික වනුයේ ඇලුමිනියම් අධික වීමයි. නමුත් විපරීතකරණයෙන් බිහිවන පාෂාණවල රසායනයේ වෙනසක් සිදු නොවේ. සිදුවන්නේ ඛණිජ සංයුතිය වෙනස් වීමයි. එනිසා ඇලුමිනියම් වැඩි විපරීත ඛණිජ බිහිවනුයේ නව පාෂාණ නිර්මාණය කරමිනි. රබහා, කොරන්ඩම්, සිලිමනයිට් හා කයනයිට් වැනි ඛණිජ ඇලුමිනියම් අධික පාෂාණවල ලාක්ෂණික වේ. මෙම ඛණිජ බොහොමයක් ශ්වේත වර්ණ වේ.

අවසාදිත වල සහ අවසාදිත පාෂාණ වල වූ “ප්‍රාග් ජීව ධාතුන්” සහ ඒවායේ සටහන් විපරීතකරණය නිසා විනාශ වී යයි. එනිසා සියලු විපරිත පාෂාණ වල මෙවැනි “ප්‍රාග් ජීව ධාතුන්” රැඳෙන්නේ නැත. අවසාදිත පාෂාණ වල වූ සියලු ලක්ෂණ මෙනිසා ඉතිරි වන්නේ නැත. එපමණක් නොව, ලෝදිය මගින් නිර්මාණය වූ පාෂාණවල ද වූ ලක්ෂණ ද ඛණිජ සංයුතිය ද වියකි යන්නේ විපරිතකරණය නිසා වෙනි. නමුත් රසායනයන්ගේ සිදු නොවූ වෙනස්කම් නිසා විපරිතකරණයෙන් පසු මෙම පාෂාණ වර්ගකර හඳුනාගැනීම එතරම්ම අපහසු නොවේ.

ශ්‍රී ලංකාව බිහිකළ බොහොමයක් විපරීතපාෂාණ නයිස් නම් වූ වර්ගයට අයත් වේ. ඉහලම තත්ත්ව වලදී නිර්මාණය වූ උසස් විපරිත පාෂාණවන මෙම පාෂාණ එයට ලාක්ෂණික වන එකිනෙක පරයා සැකසුනු කළු සහ සුදු පැහැ වර්ණ රටාවන්ගෙන් සමන්විත වේ. ශ්‍රී ලංකාවේ භුමිය නිර්මාණය වන්නේ ප්‍රධාන පාෂාණ සංකීර්ණ තුනක් මගින් වන අතර ඒවායේ පූර්වජයන්ගේ බිහි වූ කාල සිමාව පදනම් කරගත් කාල නිර්ණයෙන් මූලිකව වෙන්කර හඳුනා ගනී. ඊසාන-නිරත දිශානුගතව විහිදෙන  මෙම පාෂාණ සංකීර්ණ තුන හඳුන්වන්නේ උතුරේ සිට වන්නි, උස්බිම් සහ විජයානු සංකීර්ණ ලෙසයි. මධ්‍යයේ වන උස්බිම් සංකීර්ණය වසර මිලියන 2100ක් පමණ පැරණි අතර ඉතිරි සංකීරණ දෙක වසර මිලියන 1100ක් පමණ වෙතැයි ගණනය කර ඇත.  ඒ අනුව භූ විද්‍යාඥයින් පවසන්නේ ශ්‍රී ලංකාව පිහිටන්නේ ලොව පැරණිම පාෂාණ කලාපයක බවයි.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ




Saturday 25 March 2017

විදු පත් ඉරුව
2015  මැයි 13 බදාදා
නේපාලයට පසුගිය අප්‍රේල් 25 වැනි දින අඳුරු දිනයක්‌ වුණා. ඒ රික්‌ටර් පරිමාණයේ ඒකක 7.8ක්‌ පමණ ප්‍රබල වූ භූ කම්පනයකට ලක්‌ වීමෙන් ඇති වූ ව්‍යසනයයි. අට දහසක්‌ පමණ වූ මිනිස්‌ ජීවිත මෙයින් අහිමි වූ අතර එමෙන් දෙගුණයක්‌ පමණ වූ මිනිසුන් සංඛ්‍යාවක්‌ ආබාධිත තත්ත්වයට පත් වෙලා තියෙනවා. මෙය 1934ට පසු නේපාලයේ ඇති වූ දරුණු ම භූ කම්පනයයි. ඉන්දියානු භූ තලය සහ යුරේසියානු භූ තලය එක්‌ වන මායිමේ නේපාලය පිහිටා ඇති අතර එනිසා ම ඒ ආසන්නයේ නිරන්තරයෙන් සිදු වන භූ කම්පනවලට ගොදුරු විමට වැඩි නැඹුරුතාවයක්‌ තියෙනවා.

සති තුනකට පමණ පෙර සිදු වූ මේ භූ කම්පනය තත්පර විස්‌සක්‌ පමණ කාලයක්‌ රඳා පැවැති අතර නේපාලයේ ලූර්ම්ජන්ග් නම් වූ ස්‌ථානයට කිලෝමීටර 15ක්‌ පමණ වහා ම පහළින් වූ නොගැඹුරු භූ අභ්‍යන්තරයේ තමයි එය හටගෙන තියෙන්නේ. මේ හේතුවෙන් ඉන්දියාවේ ද, බංගලාදේශයේ ද, භුතානයේ ද, චිනයේ ද සමහර ස්‌ථානවලට භූ කම්පනය දැනී ඇති අතර ඒ හේතුවෙන් තුවාල ලත් පුද්ගලයන් ද වාර්තා වුණා. ඒ වාගේ ම ප්‍රබලතාව අවම වශයෙන් රික්‌ටර් 4.5 ක්‌ පමණ වූ තිස්‌ පහකට වැඩි පසු කම්පන ප්‍රමාණයක්‌ ද මේ ප්‍රදේශයේ සිදු වෙලා තියෙනවා.

ලෝකය සකස්‌ වී ඇත්තේ ප්‍රධානව ගතික භූ තල 13කින් පමණ වන අතර ඉන්දියානු භූ තලය සහ යුරේසියානු භූ තලය ඉන් දෙකක්‌. ඉන්දියානු භූ තලය දිගින් දිගටම යුරේසියානු භූ තලයේ වැදෙමින් ද එය උතුරු දෙසට තල්ලු කරමින් ද සිටිනවා. එහෙත් අති විශාල යුරේසියානු භූ තලය තල්ලු කිරීම එතරම් පහසු දෙයක්‌ නො වේ. මෙහි දී ඇති වන ප්‍රබල තෙරපුම හේතුවෙන් හිමාලය කඳු පන්තිය දිගින් දිගට ම උස යමින් පවතින බව අප දන්නා දෙයක්‌. අවුරුද්දකට මිලිමීටර 40කට වැඩි ප්‍රමාණයකින් ඉන්දියානු භූ තලය උතුරු දෙසට තල්ලු වෙමින් පවතින බව භූ විද්‍යාඥයන් වර්තමානයේ ගණන් බලා තියෙනවා. කාලයක්‌ තිස්‌සේ මේ විදියට ඇති වන මේ තෙරපුම එක්‌ වර ම නිදහස්‌ වීමෙන් තමයි මෙලෙස භූ කම්පන ඇති වන්නේ. පසුගිය දා සිදු වී ඇත්තේ ද කාලයක්‌ තිස්‌සේ ඉන්දියානු භූ තලයේ තෙරපුම වළක්‌වාගෙන සිටි යුරේසියානු භූ තලයට තවදුරටත් එම තෙරපුම දරාගැනීමට නොහැකි වීමයි. මේ හේතු කොටගෙන තත්පර තිහක කාලයක්‌ තුළ දී එක්‌වර ම කත්මන්ඩු ප්‍රදේශය මීටර් තුනක්‌ පමණ දකුණු දිගට තල්ලු වෙලා තියෙනවා.

භූ තල එකිනෙක ගැටීම තමයි භූ කම්පනවලට හේතු වන්නේ. ඒ වාගේ ම මේ හේතුකොටගෙන තමයි විශාල කඳුකර ඇති වීම සිදු වන්නේ. කොහොම වුණත් අවුරුදු මිලියන 140ක්‌ පමණ වූ කාලයේ සුපිරි මහාද්වීපය වන ගොන්ඩ්වානාලන්තයේ කොටසක්‌ වූ ඉන්දියානු භූ තලය වසර මිලියන 100කට පමණ පෙර ඉන් බිඳී උතුරු දෙසට තල්ලු වීමට පටන් ගත්තා. අදින් අවුරුදු මිලියන 50ක්‌ පමණ වූ කාලයකට පෙර ඉන්දියානු භූ තලය යුරේසියානු භූ තලය හා ඉතා සුළුවෙන් ගැටෙන්නට පටන් ගත් අතර මේ ඝට්‌ටනය ප්‍රබලව සිදු වන්නේ එයින් වසර මිලියන 25කට පමණ පසුයි. අවුරුදු මිලියන 10ක්‌ පමණ වූ කාලය වෙන කොට තමයි හිමාලය කඳු පන්තිය බිහි වන්නේ. ඒ විතරක්‌ නො වෙයි, එයට උතුරෙන් වූ ටිබෙට්‌ සානුව ද සකස්‌ වෙන්නේ. අතිවිශාල යුරේසියානු භූ තලය තල්ලු කිරීම එතරම් පහසු දෙයක්‌ නො වන නිසා ඉන්දියානු භූ තලය තෙරපෙමින් ක්‍රමයෙන් පොළොව අභ්‍යන්තරයේ ගිලෙමින් තමයි තියෙන්නේ.

ඉන්දියානු සහ ඕස්‌ටේ්‍රලියානු භූ තලය එක්‌ ව තිබෙන අතර එය අති විශාල ප්‍රදේශයක්‌ පුරා පැතිරී ඇති බව පෙනී යන දෙයක්‌. යුරේසියානු භූ තලය හා ගැටීමෙන් ඇති වන තෙරපුම මේ හේතුවෙන් මුළු මහත් ඉන්දු-ඕස්‌ටේ්‍රලියානු භූ තලය හරහා බලපාන බව අමුතුවෙන් විස්‌තර කරන්න ඕනේ නැහැ. මේ තලයේ දුර්වල කලාප කොතෙකුත් ඇති අතර ඒ ඔස්‌සේ ද මේ තෙරපුමෙන් ඇති වන පීඩනය නිදහස්‌ වන්නට බොහොම ඉඩකඩ තියෙනවා. ශ්‍රී ලංකාව කලකට ඉහත දී (ජුරාසික කාලයේ දී) ඉනදියානු මහාද්වීපය හා එක්‌ ව පැවැති අතර පසුව වෙන් වුවත් තාමත් ඉන්දු-ඕස්‌ටේ්‍රලියානු භූ තලයේ ම කොටසක්‌. ශ්‍රී ලංකාවට ද මේ ඉන්දු-යුරේසියානු තල මායිම ඉතා වැදගත් වන්නේ ඉහත සදහන් කළ කරුණ හේතුවෙන්. පසුගිය කාලයේ විටින් විට අපට, එතරම් ප්‍රබල නො වූවත්, භූ කම්පන දැනේන්නට පටන් ගත්තා ඔබට මතක ඇති. ඒ වාගේ ම අපේ රටට දකුණු දෙසින් කිලෝමීටර පන් සියයක්‌ පමණ ඈතින් වූ භූ තලයේ නව පැල්මක්‌ ඇති වන බවත් නොරහසක්‌. ඉහත විස්‌තර කළ ඉන්දු-ඕස්‌ටේ්‍රලියානු භූ තලයේ තෙරපුම මේ සදහා හේතු වන බව නොඅනුමානයි. එනිසා ඉදිරි කාලයේ භූ කම්පා සහ සුනාමි වැනි ව්‍යසනවලින් අප රට තවදුරටත් නිදහස්‌ නො වන බවයි පැහැදිලි වන්නේ.

මෙවැනි වාතාවරණයක්‌ හමුවේ ශ්‍රී ලංකාවට බොහෝ අභියෝගවලට මුහුණ දෙන්නට සිදු වෙයි. එනිසා ඉදිරියේ දී සිදු කෙරෙන ආපදා කළමනාකරණයන්හි දී භූ කම්පන හේතුවෙන් ඇති වන්නා වූ අනතුරු අවම කරගැනීමට වැඩි අවධානයක්‌ යොමු කිරීම මූලික අරමුණක්‌ විය යුතුයි. දැනටමත් භූ විද්‍යා හා පතල් කාර්යංශය භූ කම්පා අධ්‍යයන වැඩපිළිවෙළක්‌ සකස්‌ කර තිබීම ප්‍රශංසනීයයි. භූ කම්පා හේතුවෙන්, නිර්මිත පරිසරයට බොහෝ අනතුරු ඇති විය හැකියි. එනිසා ඉදිරි කාලයේ දී ගොඩනැගිලි ඉදි කිරීමේ දී භූ කම්පනවලට ඔරොත්තු දිය හැකි ගොඩනැගිලි ඉදි කිරීම කෙරෙහි අවධානය යොමු විය යුතු බව පැහැදිලියි. ඒ විතරක්‌ නොවෙයි හදිසි දරුණු භූ කම්පනයක දී ගත යුතු ක්‍රියාමාර්ග ගැන ද ජනතාව දැනුවත් කිරීම ඉතා වැදගත්. කොහොම වුණත් සැම විට ම තම පරිසරය පිළිබඳ අවධානයෙන් සිටීම අප හැමෝ ගෙ ම සුqබසාධනයට බොහොම හොඳයි.


ආචාර්ය පත්මකුමාර ජයසිංහ

විදු පත් ඉරුව

2015  මැයි 20 බදාදා
මා පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ ඉගෙනුම ලබන කාලයේ බොහෝ ක්‍රියාකාරී සංගම් එහි විය. ඒවා අතර මා සිත් ගත්, මා ක්‍රියාකාරී ව වැඩ කටයුතු කළ සංගම් තුනක්‌ විය. ඉන් එකක්‌ වන්නේ පරිසර සංරක්‌ෂණය සම්බන්ධයෙන් මා හට බොහෝ අත්දැකීම් සහ දැනුම ලබා දුන් හන්තාන සංරක්‌ෂණ සංගමයයි. එකල්හි මේ සංගමය විසින් පරිසර සංරක්‌ෂණය උදෙසා බොහෝ ක්‍රියාකාරකම් සිදු කරනු ලැබී ය. සාමාජිකයන් ගේ දැනුම වර්ධනය කෙරෙහි ද විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කළ අතර සති අන්තයේ පැවැත්වූ ක්‌ෂේත්‍ර වැඩමුළු මා නිරන්තරයෙන් ම අගය කළ අංගයකි. මේ වැඩමුළු අතර ලයිකන පිළිබඳව පැවැත්වූ වැඩමුළුව පසුකාලීනව මාගේ පර්යේෂණ සඳහා ද බොහෝ උපකාර විය. එනිසා ම ලයිකන ගැන මෙවර විදු පත් ඉරුවෙහි සටහන් කරන්නට සිතුවෙමි.

"ලයිකන" යනු සහජීවී සංගමයකි. ඇල්ගාවක්‌ හෝ නීලහරිත ඇල්ගාවක්‌ දිලීර ජාලයක මධ්‍යයේ ජීවත් වෙමින් එකිනෙකාට උපකාර කර ගන්නා හෙයින් මේ ජීව පද්ධතියට සහජීවී සංගමයක්‌ යෑයි පැවසේ. ඇල්ගාවට හෝ නීලහරිත ඇල්ගාවට ප්‍රභාසංශ්ලේෂණයෙන් ආහාර නිපැදවිය හැකි බව අපි දන්නෙමු. එහෙත් දිලීරයට එසේ කළ නොහැකි ය. ඒ හේතුවෙන් ඇල්ගාවන් නිපදවන ආහාරවලින් කොටසක්‌ මේ දිලීරවලට ලබා දෙයි. එමෙන් ම මේ ඇල්ගාවන්ට අවශ්‍ය ජලය හා ඛනිජ ලවණ ලබා දෙන්නේ දිලීරය මගිනි. එනිසා ම මේ සුවිශේෂී ජීව පද්ධතිය විශේෂිත දුෂ්කර ස්‌ථානවල වැඩීමට හැකියාව ලබා තිබේ.

ඔබ පරිසරය දෙස විමසිල්ලෙන් බැලුව හොත් ශාකවල කඳෙහි, පාෂාණවල මතුපිටෙහි ඇත්තා වූ විවිධ පැහැ ගත් පුල්ලි බොහෝ විට මේ ලයිකන වේ. වාතයේ ආර්ද්‍රතාව අධික ව පැවතීම මේ ලයිකනවල පැවැත්මට බොහෝ උපකාරී වේ. ලයිකනයේ දිලීරය බොහෝ විට තමනට අවශ්‍ය ජලය ලබා ගන්නේ වාතයේ ඇත්තාවූ ජල වාෂ්පවලිනි. ඛනිජ ලවණ ලබාගන්නේ උපස්‌තරය නැත හොත් තමා සවි වී ඇති ශාකයේ කඳෙන් හෝ පාෂාණයෙනි. එනිසා අධික වියළි කාලගුණයක්‌ පවතින විට ලයිකන තැලස ක්‍රමයෙන් නැසී යන අතර පරිසරය යහපත් වන විට නැවත වර්ධනය වේ.

ලයිකන වර්ග බොහෝ ය. උපස්‌තරයට ඇලී පවතින ලයිකන ද, පත්‍රාකාර ලයිකන ද එමෙන් ම කුඩා පඳුරු ආකාර ලයිකන ද ඒ අතර වෙයි. බොහෝ විට පාෂාණ උපස්‌තරය කොට ගන්නා ලයිකන වන්නේ ඉහත කී පළමු ආකාරයයි. ඒවාට බොහෝ දුෂ්කර පාරිසරික තත්ත්ව යටතේ වැඩීමට හැකියාව ඇත. පාෂාණ මතුපිට වැඩෙන මේ ලයිකනවල ඇති දිලීර මගින් නිකුත් කරන කාබොනික අම්ල මගින් පාෂාණය ජීර්ණයට ලක්‌ කරන අතර ජීර්ණිත ඛනිජ ද්‍රව්‍ය දිලීරය විසින් උරා ගැනෙයි. එනිසා ජෛව පාෂාණ ජීරණයෙහි ලා ලයිකන වැදගත් කර්තව්‍යයක්‌ ඉටු කරන අතර පාෂාණ ජීර්ණයේ මූලිකත්වය ගනු ලබන්නේ මොවුන් විසිනි.

ලයිකන කෙරෙහි පවත්නා එක්‌ සුවිශේෂී කරුණක්‌ වෙයි. එනම් දුෂ්කර පරිසර තත්ත්ව යටතේ වැඩීමට හැකි වුවත් දූෂිත පරිසර තත්ත්ව යටතේ වැඩීමට හැකියාවක්‌ නොමැති වීමයි. එනිසා පරිසර දූෂණය බහුලව සිදු වන ප්‍රදේශවල මේ සහජීවී සංගමය දක්‌නට නො ලැබේ. දූෂිත වායුන් මිශ්‍රිත ජල වාෂ්ප උරාගන්නා දිලීරය එහි පවත්නා විෂ සහිත බව හේතුවෙන් මරණයට පත් වේ. දිලීරය මරණයට පත් වීමෙන් ජලය සහ ඛනිජ ලවණ සැපයීම නතර වන හෙයින් ඇල්ගාවන් ද මරණයට පත් වේ. විශේෂයෙන් ම වායු දූෂණය අධික නගරබද පරිසරවල ලයිකන වර්ධනය නො වේ. එනිසා, පරිසරයේ මේ ලයිකනවල පැවතීම එක්‌තරා ආකාරයකට වායු දූෂණය සම්බන්ධයෙන් දර්ශකයක්‌ ලෙස ද භාවිත කළ හැකි ය.

ලයිකන එසේ උපකාරී වුවත් පුරාවිද්‍යාත්මක දෑ කෙරෙහි නම් දක්‌වන්නේ හොඳ හැසිරීමක්‌ නො වේ. අනුරාධපුරය, පොළොන්නරුව, සීගිරිය, මහනුවර, තිස්‌සමහාරාමය වැනි පුරාවිද්‍යාත්මක ස්‌ථානවල එළිමහනේ වැඩිපුර ම දක්‌නට ලැබෙන්නේ ගලින් සහ ගඩොලින් නිර්මාණය කරන ලද ගොඩනැගිලි, ස්‌මාරක සහ පිළිම වේ. මේ ස්‌ථානවල සංචාරය කර ඇති ඔබට මේවා වැසී ඇති විවිධ පැහැ ගත් පුල්ලි මතක ඇතිවාට සැකයක්‌ නැත. බොහෝ විට මේ සියල්ල විවිධ ලයිකන වර්ග වේ. මේ පුරාවිද්‍යාත්මක ගොඩනැගිලි, ස්‌මාරක සහ පිළිමවල ලයිකන වර්ධනය වීමෙන් ඒවාට හානි සිදු වන්නේ කෙසේ ද? පෙර සඳහන් කළ පරිදි මේවා උපස්‌තරය කරගන්නා ලයිකන තම දිලීර ජාලය ක්‍රමයෙන් උපස්‌තරය සිදුරු කරමින් එහි අභ්‍යන්තරයට කිඳා බසියි. මේ සඳහා කාබොනික අම්ලවල උදවු උපකාර ලබාගන්නා අතර උපස්‌තරයට තදින් සවි වේ. වැසි කාලගුණික තත්ත්ව යටතේ ඉතා හොඳින් වර්ධනය වන මේ ලයිකන වියළි කාලගුණික තත්වයක දී මරණයට පත් වේ. වියළි කාලගුණය ප්‍රභල වන අවස්‌ථාවේ දී ලයිකන තැලස වියළී හැකිළෙන අතර පසුව උපස්‌තරයෙන් ගිලිහී බිමට පතිත වේ. මේ ගිලිහීමේ දී තවත් දෙයක්‌ සිදු වේ. ඒ උපස්‌තරයේ අභ්‍යන්තරයට විහිදී තදින් සවි වූ දිලීර ජාලය උපස්‌තරයේ කුඩා කොටස්‌ ද ග්‍රහණය කරගනිමින් ම උපස්‌තරයෙන් ගිලිහීමයි. දිගින් දිගට ම මෙසේ සිදු වීමේ දී, එමගින් ඉතා කුඩා වුවත් සැලකිය යුතු හානියක්‌ කාලයක්‌ යත්දී, විශේෂයෙන් ම මේ පුරාවිද්‍යාත්මක ස්‌මාරක සහ පිළිමවලට සිදු වේ.

මා සිදු කළ පර්යේෂණයකින් හෙළි වූයේ දළ වශයෙන් පාෂාණමය ස්‌මාරකයකින් මිලිග්රෑම් 25ක්‌ පමණ වූ උපස්‌තර ප්‍රමාණයක්‌ ග්රෑම් 100ක්‌ පමණ වූ ලයිකන ප්‍රමාණයක්‌ ගිලිහීමේ දී ඉවත් වන බවයි. මේ තත්ත්වය ගඩොල් සහ මැටිවලින් සිදු කළ නිර්මිතයන් සදහා තවත් වැඩි විය හැකි ය. මෙය පුරාවිද්‍යා උරුම සංරක්‌ෂණයේ දී අතිශයින් ම සැලකිය යුතු කරුණකි. එහෙත් මේ සඳහා සුදුසු වැඩපිළිවෙළක්‌ දියත් කිරීමට නො ව, මේ තත්වය නිසි පරිදි තේරුම්ගැනීමට පවා බහුතරයක්‌ වූ ලාංකික ස්‌මාරක සංරක්‌ෂණ ක්‌ෂේත්‍රයේ වැඩකටයුතු කරන්නන්ට තවමත් නොහැකි වීම කණගාටුවට කරුණකි.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Thursday 23 March 2017


විදුපත් ඉරුව
2017 මාර්තු 22 බදාදා

මෙහි නිදන මිනිසා මිනිසුන්ට අසීමිත ලෙස ආදරය කළේය. මිනිස්සුද ඔහුට බෙහෙවින් ආදරය කල හ.”

මිනිසුන්ට ආදරය කල මිනිසා නොමිනිසුන් අතින් මියැදුනේ මිනිසුන්ගේ ලෝකයට අපමණ වූ අඩුපාඩුවක් ඉතිරි කරමිනි. ලක්ෂ සංඛ්‍යාත වූ විශ්ව විද්‍යාල දරුවන්ගේ නුවණැස පාදන්නට යද්දී නිරන්තර ගැටළුවක් වූ ආර්ථික ශක්තිය “මහපොළ ශිෂ්‍යත්වය” තුලින් ලබා දෙමින් තම අසීමිත ආදරය මුළු මහත් ශ්‍රී ලංකිකයන්හටම ඔහු පෙන්වා දුන්නේය.  එමෙන්ම ඒ තුලින් ඔහු පෙන්වා සිටියේ එස්.ඩබ්.ආර්.ඩි. බණ්ඩාරනායක මහතා තමාට ලබා දුන් ආර්ථික ශක්තියට කෘතගුණ සැලකීමයි.
තම සිත්හි වූ ක්‍ෂුද්‍ර සංකල්පයක් ක්‍රියාත්මක කරන්නට හැකි වීමෙන් තමන් අසීමිතව ආදරය කල මිනිසුන්ට විසල් ප්‍රතිලාභයක් ලබා දෙන්නට සමත් වූ මේ අපූරු මිනිසා වෙන කවරෙකුවත් නොව ලලිත් විලියම් ඇතුලත්මුදලි මැතිතුමායි.  1981 දී ඇරඹි මහපොළ ශිෂ්‍යත්ව වැඩපිළිවෙල අද වන විට අතුපතර විහිදී වැඩුන සාර්ථක ශිෂ්‍යත්ව ක්‍රමවේදයකි. ආර්ථික ශක්තිය අහිමි, ආර්ථික ශක්තියෙන් දුර්වල වූවන් පමණක් නොව අද වන විට අධ්‍යාපන ක්ෂේත්‍රයේ දස්කම් පානා ඕනෑම අයෙකුට මහපොළ ශිෂ්‍යත්ව වරම් ලද හැකියි. අතීතය ආවර්ජනය කරද්දී සිහිපත් වන වඩාත්  කනගාටු දායක කරුණ නම් උතුරේ පමණක් නොව දකුණේ සන්නද්ද කල්ලි වල සාමාජිකයන් අතර පවා මහපොළ ප්‍රතිලාභ ලබා ගත්තවුන් හිඳීමයි. මේ අපූරු මිනිසා මෙලොවින් තුරන් කරන්නට මූලික වුයේද එවැන්නෙක් නම් එය දෛවයේ කුමන සරදමක් දැයි සිතේ.   
එදා පමණක් නොව අදද එවැනි නොමිනුසුන් අතලොස්සක් ප්‍රමුඛ වී තම කුහක බව සමස්ත ශ්‍රී ලංකික ජන සමාජයට පසුගියදා පෙන්නු අයුරු ඔබට මතක ඇති. දේශපාලනික ගැතිබව පසෙක තබා මිනිසුන්ට ආදරය කල මිනිසාට අප ද කෘතගුණ සැලකිය යුතුය. එදා ලලිත් ඇතුලත් මුදලි මැතිතුමා සිදුකල අයුරින් එලෙස ලද භාග්‍යයට තුති පුදන්නට මහපොළ ශිෂ්‍යත්ව ලාභින් සිතට ගත යුතුය. ඔවුන් එක් අයෙකු තවත් එක් අයකුට හෝ උගෙන ගැනීම සඳහා අවමය ලෙස පාසැල් දරුවෙකුට හෝ ආර්ථික ශක්තියක් වීමට ඉටා ගන්නේ නම් එවන් වූ කෘතගුණ සැලකීමක් සැමවිටම විශිෂ්ඨ වෙයි.
ඒ 1998 වසරයි. ඒ වන විට ලලිත් ඇතුලත්මුදලි මැතිතුමන් දැයෙන් සමුගෙන හමාරය. මා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ මහපොළ ශිෂ්‍යත්වය ලබන සිසුවෙකි. භූ විද්‍යා විශේෂ උපාධිය හදාරන පළමු වසරේ වූ අපි විසල් කර්තව්‍යකට උර දුන්නෙමු. ශ්‍රී ලංකික භූ විද්‍යා අධ්‍යාපනයේ නිර්මාතෘ මහාචාර්ය පි.ඩබ්. විතානගේ මහතා දැයෙන් සමුගෙන වසරක් ගත වූයේද නැත. එතුමාට කෘතගුණ සැලකීමක් ලෙස එතුමාගෙන් නමින් ශිෂ්‍යත්වයක් අරඹන්නට අප මවු සංගමය වූ ශ්‍රී ලංකා භූ විද්‍යා සංගමය යෝජනා කල අතර විශ්වවිද්‍යාලීය භූ විද්‍යා සංගමයට රු 50 000 ක් ඒ වෙනුවෙන් සොයා දීමේ අභියෝගය ලබා දුනි. එකල මා විශ්ව විද්‍යාලීය භූ විද්‍යා සංගමයේ කනිෂ්ඨ භාණ්ඩාගාරික විය. තිස් දෙනෙකුගෙන් පමණ සමන්විත කුඩා කණ්ඩායමක් වූ අපගේ භූ විද්‍යා සංගමයේ සාමාජිකයන් එක හෙලාම එම අභියෝගය සතුටින් භාරගත් අතර මේ සදහා විශ්ව විද්‍යාලය තුල සංගීත සංදර්ශනයක් පැවැත්වීමට යෝජනා විය. දයාරත්න සහ අමරා රණතුංග දෙපලගේ “උදුම්බරා” ප්‍රසංගය පැවැත්වීමට අප ලහි ලහියේ සූදානම් විය. අප හමුවේ වූ විශාලම අභියෝගය වුයේ ඒ සදහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන සොයා ගැනීමයි. යම් යම් ආයතන වලට කතා කර ඒ සදහා අවැසි සහයෝගය ලබා ගත් අතර එය වියදම පියවා ගැනීමට පමණක් සෑහුනි. නමුත් අප ලාභයක් ලබා පොරොන්දු වූ මුදල ශිෂ්‍යත්ව අරමුදලට ලබා දිය යුතු විය. නැවත නැවතත් කෘතඥ වෙමින් මා හද පිරි සතුටින් මතක් කරන්නේ අපගේ කුඩා කණ්ඩායමේ තිබු නොසැලෙන අධිෂඨානය සහ කැපවීමයි. සියලු දෙනා අප්‍රතිහත ධෛර්යෙන් යුතුව කටයුතු කල නිසා රු 10 ක් වූ අවම මුදලක් වන ප්‍රවේශපත්‍ර විශාල ප්‍රමාණයක් අලෙවි කරගැනීමට සමත් විය. එකල්හි එම මුදල පවා සැලකිය යුතු මුදලක් විය. මහනුවර නගරයේ බොහොමයක් ස්ථාන වල කුඩා කණ්ඩායම් සැදී සති අන්තයේ ප්‍රවේශපත්‍ර විකිණීම අප සිදුකල අතර අවශ්‍යතාවය දැඩි වීම නිසා කුරුණෑගල, කෑගල්ල, ගම්පොල, මාතලේ පමණක් නොව අවිස්සාවේල්ල වැනි නගර වල පවා මෙම ප්‍රවේශපත්‍ර අලෙවි කරන්නට අප සමත් විය.
අදාළ දිනයේදී ඉතා සාර්ථකව සංගීත වැඩසටහන පවත්වන්නට හැකි වූ අතර කුඩා කණ්ඩායමක් වූ භූ විද්‍යා සිසුන්ගේ සාර්ථකත්වය සැමගේ විශ්මයට පමණක් නොව ඇගයීමට ද පාත්‍ර විය. ඉල්ලු මුදල මෙන් එකහමාරක මුදලක් එනම් රු 75 000ක මුදලක් අරමුදල වෙනුවෙන් ලබා දෙන්නට අපට හැකි විය. ඉන් වසර කිහිපයකට පසු මහැඳුරු නමින් ශිෂ්‍යත්වය අරඹන්නට හැකි වූ අතර එහි ප්‍රතිලාභ වත්මන් භූ විද්‍යා දෙපාර්තුමේන්තුවේ සිසුනට ලබා ගන්නට හැකි වී තිබේ.
මේ සැම ආවර්ජනය සැමවිටම අප නැවත නැවතත් කුල්මත් කරන අතර සිහින් ආඩම්බරයක් ද සිතට දැනෙන බව කිව යුතුය. අපගේ ඒ කුඩා කණ්ඩායමේ සියලු දෙනා එකම පවුලක් ලෙස එක්වී ක්‍රියාකිරීම සාර්ථකත්වයේ රහස බව දැන ගත යුතුය. එකිනෙක වෙනස් වෙනස් අත යන්නට වුයේ නම් මෙවැනි කර්තව්‍යක් කිසිදා කල හැකි නොවේ.   
ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Sunday 19 March 2017

විදු පත් ඉරුව
2017.05.27 බදාදා

හැත්තෑව දසකයට පෙර බංග්ලාදේශයේ ළදරු මරණ බොහෝ විය. මේ සදහා හේතු වන්නේ දූෂිත ජලය බව තේරුම්ගත් යුනිසෙෆ් සංවිධානය සහ ලෝක බැංකුව මේ ජනතාවට භූ ගත ජලය ලබා දීමේ වැඩපිළිවෙළක්‌ දියත් කළේ ය. එනිසා එරට පුරා මිලියන අටක්‌ පමණ නළ ළිං ස්‌ථාපනය කළ අතර සියයට පනහකින් පමණ ළදරු මරණ ප්‍රමාණය අඩු කරගත හැකි විය. එහෙත් මේ ස්‌ථාපිත සැම නළ ළිං පහකින් එකක ම ආසනික්‌ නම් වූ ඉතා විෂ බැර ලෝහය අඩංගු බව දැනගත්තේ බොහොමයක්‌ දෙනා දරුණු ලෙස වකුගඩු රෝගයට ගොදුරු වීමෙන් අනතුරු ව ය. බංග්ලාදේශයේ ගම් නව සියයක පමණ ජනතාව මේ හේතුවෙන් පීඩාවට පත් විය.

ජෛව ගෝලය කෙරෙහි භූගෝලයේ බලපෑම පෙන්නුම් කරනට මේ සිදුවීම කදිම නිදසුනකි. මෙපමණක්‌ නො ව, ජලයේ පවතින "ෆ්ලෝරයිඩ්" හේතුවෙන් දත් අවපැහැ වීම ද, බෙල්ලෙහි වායු ගෙඩි ඇති වීම ද, අස්‌ථි දරුණු ලෙස විකෘත වීම ද සිදු වන බව මේ වන විටත් සොයාගෙන ඇත. රෝම ශිෂ්ටාචාරය බිඳ වැටීම සම්බන්ධයෙන් කියෑවෙන්නේ ද භූ සම්පත් පරිහරණයේ අනිටු ප්‍රතිඵලයක්‌ ලෙසිනි. කෙසේ වෙතත් පසුගිය දශක කිහිපය තිස්‌සේ මේ සම්බන්ධව කරන ලද පර්යේෂණ හේතුවෙන් මෙමගින් ඇති වන සෞඛ්‍යමය ගැටලු පිළිබඳව ලෝ වැසියන් ගේ අවධානය වැඩි වෙමින් පවතින බව පෙනී යයි.

ඛනිජ යනු රසායනික සංයෝග වේ. පාෂාණ යනු ඛනිජ සමූහයක එකතුවකි. එක්‌ ඛනිජයකින් පමණක්‌ සෑදෙන පාෂාණ ද නැතුවා නො වේ. ලොව පවතින බොහොමයක්‌ පාෂාණ සමන්විත වන්නේ සිලිකාමය ඛනිජවලිනි. විපරීත පාෂාණවලින් ගහන වූ ශ්‍රී ලාංකේය භූ ස්‌කන්ධය ද මෙසේ ම ය. කාලාන්තරයක්‌ තිස්‌සේ ජලයටත් වායුගෝලයටත් නිරාවරණය වන පාෂාණ, ලොව පවතින කිසිවකුට වත් ගැලවිය නොහැකි ජීර්ණ ක්‍රියාවලියට ක්‍රමයෙන් භාජන වේ. එනිසා පාෂාණයේ වූ විවිධ ඛනිජ ද්විතීයික ඛනිජ බවට පත් වේ. පස නිර්මාණය වන්නේ මෙලෙස ය. ජීර්ණයෙන් පසට නිකුත් වන ද්විතීයික ඛනිජ ද ජලයේ ද්‍රdවණය වන අයන ද වර්ෂාපතනය හේතුවෙන් ජල ගෝලයට මිශ්‍ර වන අතර, මේ හේතුවෙන් පවතින ස්‌ථානයෙන් බොහෝ දුරකට ගමන් කළ හැකි ය. මේ නිසා මතුපිට ජලය ද ඛනිජ ලවණවලින් අනූන ය. අපට අවශ්‍ය සමහර ඛනිජ ලවණ ලබා දෙන්නේ මේ ජලයයි.

පාෂාණ බොහෝ විට කුස්‌තුර සහ දැදුරුවලින් යුක්‌ත වේ. මේ කුස්‌තුර සහ දැදුරු පාෂාණ තුළ ජලය රඳවා තබන අතර භූගත ජලාශ නිර්මාණය කරයි. කාලාන්තරයක්‌ තිස්‌සේ පාෂාණය හා ගැටෙන මේ භූගත ජලය ක්‍රමයෙන් පාෂාණයේ ජීර්ණිත කොටස්‌වලින් සමහර ද්‍රව්‍ය ඛනිජ ලවණ එක්‌කාසු කරගනී. මේවා සාන්ද්‍රගත වීම ජලයේ ආම්ලිකතාව සහ උණුසුම මත රඳා පවතී. භූ අභ්‍යන්තරයේ ගමන් කරන මේ ජලය මෙලෙස ඛනිජ ලවණ එකතු කරගන්නා සේ ම ආම්ලිකතාවේත් උණුසුමේත් වෙනස්‌ වීම් හේතුවෙන් එක්‌ එක්‌ තැන්වල දී තැන්පත් කිරීම ද සිදු කරයි.

කාලාන්තරයක්‌ තිස්‌සේ එක ප්‍රදේශයක වාසය කරන ජනතාව එම ප්‍රදේශයේ භූ පරිසරයට හුරු වී ඇත. එය පරම්පරා ගණනාවක්‌ තිස්‌සේ සිදු වූවකි. එම නිසා ආහාරවලට ද ජලයට ද මිශ්‍ර වීමෙන් භූ පරිසරයෙන් ලබාගන්නා හිතකර දෑ සඳහා යහපත් ප්‍රතිචාර දක්‌වමින් ද අයහපත් දෑ සඳහා තම දේහ ශක්‌තිය වර්ධනය කරගනිමින් ද ඒවා ජාන තුළට ඇතුළත් කරගනිමින් ද ඒ ඒ ප්‍රදේශවල ජනතාව පරිණාමය වෙමින් පවතී. මේ සඳහා කාලාන්තරයක්‌ ගත වන අතර, ශ්‍රී ලංකාවේ නම් පැරැණි ජන සමාජය මේ සදහා මනාව හැඩගැසී සිටි බව නොරහසකි. අංශුමාත්‍ර ප්‍රමාණවලින් ලබා ගන්නා භූ රසායන සඳහා එය සත්‍ය වුවත් අධිමාත්‍රාවලින් දේහගත වන ද්‍රව්‍ය නිසා බොහෝ විට මිනිසුන් රෝගී වේ.

කෙසේ වෙතත් පසුගිය දශක පහක හයක කාලයේ අප රට එක්‌තරා සංක්‍රාන්ති සමයකට ඇතුළත් ව සිටින බව අප කවුරුත් තේරුම්ගත යුතු දෙයකි. කාර්මිකකරණය ද විවෘත ආර්ථිකය ද හේතුවෙන් ශ්‍රී ලාංකික ජන සමාජය බෙහෙවින් වෙනස්‌ වෙමින් ඇත. භූ පරිසරයත් සමග සිදු වන ක්‍රියාකාරකම් ද එනිසා ම එයට සිදු වන බලපෑම ද වැඩි වී ඇත. එපමණක්‌ නො ව කාලාන්තරයක්‌ තිස්‌සේ එක ම ප්‍රදේශයක වාසය කිරීමට පුරුදු වී සිටි අප ජනතාව දැන් දැන් විවිධ හේතුන් නිසා වෙනස්‌ වෙනස්‌ පරිසර පද්ධතිවලට සංක්‍රමණය වී ඇත.

පසුගිය කාල වකවානුවේ සිදු කළ මහවැලි ව්‍යාපෘතිය නිසා බොහොමයක්‌ පිරිස්‌ රජරටට සංක්‍රමණය විය. කලක්‌ ගත වීමෙන් පසු ඉතා දරුණු ලෙස තවමත් නො දන්නා හේතුවක්‌ නිසා ඔවුන් වකුගඩු ආශ්‍රිත රෝගයකට ගොදුරු වෙමින් ඇත. අද වන විට එය ජාතික ව්‍යසනයක්‌ බවට පත් ව ඇත. මහවැලි ව්‍යාපාරය හේතුවෙන් කඳුකරයෙන් එක්‌ රැස්‌ කරගත් ඛනිජ ලවණ ද ඇතුළු බොහොමයක්‌ කෘත්‍රිම දෑ රජරටට ගෙන එන බව පැහැදිලි ය. එමෙන් ම කෘෂිකාර්මික රසායනයන් ද විශාල වශයෙන් ප්‍රදේශයේ ජනතාව විසින් භාවිත කරනු ලැබෙයි. වියළි කාලගුණය හේතුවෙන් මෙවැනි බොහොමයක්‌ රසායන සාන්ද්‍රගත වේ. මේවා භූගත ජලය ද පස ද සමග මිශ්‍ර වන අතර එම නිසා භූ පරිසරයේ සිදු වන රසායනික ක්‍රියාකාරකම් පිළිබඳව නිසි වැටහීමක්‌ තවමත් අප තුළ නොමැත. විශේෂයෙන් ම කෘත්‍රිම රසායනික සංයෝග භූ පරිසරයට එකතු වීමෙන් ද ඒවායේ වියෝජනයෙන් ද ඇති වන ද්විතීයික රසායනයන්හි හැසිරීම ද පිළිබඳව මනා අවබෝධයක්‌ ලබාගැනීම අත්‍යවශ්‍ය ම වේ. එනිසා භූ විද්‍යාඥයන් ගේ ද භූ ජල විද්‍යාඥයන් ගේ ද සහාය මේ වකුගඩු රෝගයට හේතු වන්නේ කවර කාරණයක්‌ ද යන්න සෙවීමෙහි ලා අතිශය වැදගත් වේ.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Saturday 18 March 2017

විදු පත් ඉරුව
2015  ජුනි 03 බදාදා

මෙවර ගිම්හානය ඉන්දියාවට එතරම් හොඳ තත්ත්වයක්‌ ගෙන නො එන බවයි පෙනී යන්නේ. අසාමාන්‍ය ලෙස ඉහළ නැග ඇති උෂ්ණත්වය හේතුවෙන් දැනටමත් 2000ක්‌ පමණ වූ මිනිස්‌ ජීවිත ප්‍රමාණයක්‌ අහිමි වී ඇති අතර 1995ට පසු සටහන් වන ඉහළ ම උෂ්ණත්ව වැඩි වීම මේ වසරේ දී වාර්තා වී ඇත. සෙල්සියස්‌ අංශක 45 ද පසු කළ දිනයන් බහුල වූ පසුගිය මාසයේ මැයි 24 වැනි දා වැඩි ම උෂ්ණත්වය වන සෙල්සියස්‌ අංශක 48ක්‌ "කම්මාම්"වලින් වාර්තා විය. මේ තාප තරංග ඉන්දියාව හරහා ගමන් කරද්දී වැඩි ම හානියක්‌ සිදු කර ඇත්තේ ආන්ද්‍ර ප්‍රදේශයට ය. මෙලෙස මිය ගිය බොහෝ දෙනකු මිය ගොස්‌ ඇත්තේ විජලනයට ලක්‌ වීමෙන් සහ තාප ආඝාතය හේතුවෙනි.

මේ අකරතැබ්බයෙන් බේරෙන්නට දහවල් කාලයේ එළිමහනේ සහ ඇඟ වෙහෙස වී සිදු කරන ක්‍රියාවන්වලින් වැළකී ගෙවල් තුළට වී කාලය ගත කරන ලෙස ඉන්දියානු වැසියන්ට උපදෙස්‌ දී ඇතත් දෛනික වේතනයන් ලබා ගන්නා පුද්ගලයන්ට දිගින් දිගට ම එලෙස ගත කිරීම අපහසු වේ. කෙසේ වෙතත් මේ අසාමාන්‍ය තත්ත්වය ඇති වන්නේ සාමාන්‍ය ග්‍රීෂ්ම කාලය "එල්-නිනෝ" කාලගුණික තත්ත්වයත් සමග සමපාත වීමෙනි. එවිට සාමාන්‍ය ග්‍රීෂ්ම තත්ත්වය තවදුරටත් වර්ධනය වන අතර පසුව අසාමාන්‍ය තත්ත්වයක්‌ දක්‌වා ගෙන යයි. එල්-නිනෝ ඇති වන වසරවල, විශේෂයෙන් ම ආසියානු කලාපයට, ඉතා දරුණු ලෙස ග්‍රීෂ්මය ගෙන එන අතර පේරු සහ ඉක්‌වදෝරය ඇතුළු දකුණු ඇමෙරිකානු රටවලට අධික වැසි ඇති කරයි.

මේ ග්‍රීෂ්ම තත්ත්වය ලංකාවට ද තරමක්‌ ප්‍රබලව බලපාන බව පෙනේ. එල්-නිනෝ තත්ත්වයක්‌ ඇති වන්නේ සාමාන්‍යයෙන් වසර හතරකට වරකි. වසර 2010 දී ද මෙවැනි උණුසුමක්‌ අත්විඳි බව ඔබට මතක ඇති. එල්-නිනෝව අප ගේ වගාවන්ට දරුණු ලෙස බලපායි. නියඟය ඇති වී වගාවන් පාළු වන අතර එය Rජු ව ම ආහාර නිෂ්පාදනයට බලපායි. උෂ්ණත්වය අංශක කිහිපයකින් වැඩි වීම ප්‍රභාසංශ්ලේෂණ ක්‍රියාව වැඩි කරන අතර එම නිසා වැඩි අස්‌වැන්නක්‌ අපේක්‌ෂා කළ ද නියගය ඇති වී ජල සැපයුම නතර වීම වගාවන් විනාශ වීමට හේතු වේ. වියළි කාලගුණික තත්ත්වවලට ඔරොත්තු දෙන බවබෝග වගා කිරීමෙන් මේ තත්ත්වය තරමක්‌ දුරට මගහරවා ගත හැකි වුවත් නිසි උපාය මාර්ග සහිත වූ වැඩපිළිවෙළක්‌ නොමැති වුව හොත් රටෙහි ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය බිඳ වැටී ආර්ථිකය දුර්වල වේ. එනිසා මෙවැනි කාලගුණික තත්ත්ව පුරෝකථනය කිරීමේ අවශ්‍යතාව ඔබට හොඳින් වැටහෙනවා ඇත.

ඔබ හොඳින් දන්නා කර්තකොලම්බන් අඹ වැවෙන්නේ වියළි දේශගුණයක්‌ ඇති අනුරාධපුරය, යාපනය වැනි ප්‍රදේශවල ය. ඉතා හොඳින් අස්‌වැන්න ලබා දෙන මේ ශාකය තෙත් කලාපයේ වැඩුණත් සරුවට අස්‌වැන්න ලබා දෙන්නේ නැත. මේ සම්බන්ධව මා ලද ඉතා කදිම අත්දැකීමක්‌ මෙහි ලා සදහන් කිරීම වටියි. තෙත් කලාපයේ පිහිටි මගේ ගමෙහි මා කුඩා කාලයේ පියාණන් විසින් ඉහත සදහන් කළ අඹ වර්ගයේ පැළ දෙකක්‌ ගෙනැවිත් වත්තේ ඉන්දවන ලදි. පසුව හොඳින් වැඩි සෑහෙන කාලයක්‌ ගත වුවත් හොඳ අස්‌වැන්නක්‌ නො ලැබුණු අතර එක වසරක දී ඉතා කදිමට මල් පිපී ගස අඹවලින් පිරිණි. ඉන්පසු වසරවල දී අතළොස්‌සක්‌ පමණ ගෙඩි හටගත් අතර නැවතත් මා හට මතක ඇති පරිදි වසර තුනකට හෝ හතරකට පසු ඉතා හොඳින් පලදාව ඇති විය. මේ තත්ත්වය තේරුම්ගැනීමට මුල දී මා හට නොහැකි වුවත් පසුව මේ ඉතා හොඳ පලදාව හටගන්නේ එල්නිනෝ ඇති වන වර්ෂවල දී බව මා හට අවබෝධ විය. වියළි දේශගුණික ප්‍රදේශවල දී හොඳින් අස්‌වැන්න ලබා දෙන මේ අඹ වර්ගය තෙත් කලාපයේ දී ගෙඩි හටගැනීම සදහා සුදුසු අදාළ තත්ත්වය ලබාගන්නේ එල්-නිනෝ කාලවල දී පමණක්‌ බවයි මෙයින් පැහැදිලි වන්නේ. එපමණක්‌ නො ව අප අවට පවත්නා ශාකවලට ඉදිරියේ ඇති වන්නා වූ කාලගුණික විපර්යාසයන් ග්‍රහණය කරගැනීමේ හැකියාව ඇති බව මෙයින් මනාව පැහැදිලි වේ. ඒ සදහා ඔවුන් දක්‌වන ප්‍රතිචාර කිසියම් හෝ ලෙස තේරුම්ගත හැකි නම් කාලගුණික පුරෝකථනයන් එතරම් අපහසු දෙයක්‌ නො වනු ඇති බවයි මගේ හැඟීම.

මෙවැනි ග්‍රීෂ්ම කාලවල දී අප අවට පරිසරයේ උෂ්ණත්වය වැඩි කරන්නට තව බොහෝ දේ බලපායි. විශේෂයෙන් ම කාර්මිකකරණය හේතුවෙන් අප වායුගෝලයට නිදහස්‌ කරන දුහුවිලි ඇතුළු අනෙකුත් බොහොමයක්‌ අංශුන්වලට තාප ශක්‌තිය උරාගෙන රඳවා තබාගත හැකි ය. එනිසා වායුගෝලයේ මේ අංශු වැඩි වන විට අවට පරිසරයේ උෂ්ණත්වය ඉහළ යා හැකි ය. එමෙන් ම නාගරිකකරණය හේතුවෙන් වනවැස්‌ම ඉවත් වී ඒ වෙනුවට ගොඩනැගිලි ඉදි වීම ද අවට පරිසරයේ උණුසුම ඉහළ නැංවීමට හේතු වේ. ගොඩනැගිලි ඉදි කර ඇති කොන්ක්‍රීට්‌ දහවල දී තාප කිරණ උරාගන්නා අතර නිදහස්‌ කරන්නේ සෙමිනි. එහෙත් රාත්‍රියට පරිසරය ඉක්‌මනින් සිසිල් වන අතර ගොඩනැගිලි උරාගත් තාපය හේතුවෙන් අවට පරිසරය නැවත උණුසුම් කරයි. එම නිසා නාගරික රාත්‍රිය බොහෝ දහදිය දමන තත්ත්වයක්‌ ඇති කරයි. ගොඩනැගිලිවල ආලේපිත වර්ණ සහ වීදුරු වැනි දෑ නිසාත් නාගරික දහවල ද අධික උණුසුම් වේ. මේ තත්ත්වය "නාගරික තාප දිවයින" (Urban Heat Island) ලෙස හදුන්වන අතර නගර අලංකරණයේ දී ඉතා සූක්‌ෂම විය යුත්තේ මේ හේතුවෙනි. නාගරිකව ඇති වන මේ අධික තාපය උරාගත හැකි ශාක වර්ග වගා කිරීම මගින් කිසියම් ප්‍රමාණයකට මේ තත්ත්වය සමනය කරගත හැකි වන අතර ආලෝකය පර්වර්තනය නො කරන්නා වූ මතුපිටවල් සහිත ගොඩනැගිලි ඉදි කිරීම ද ප්‍රතිපලදායක ය. එමෙන් ම නගරය තුළ දුහුවිලි වැනි අංශුන් වායුගෝලයට නිදහස්‌ වීම වැළැක්‌වීමට කටයුතු කළ යුතු අතර මංමාවත් සහ ඇළ මාර්ග ඉතා පිරිසිදුව සහ ක්‍රමවත්ව පවත්වාගැනීම මගින් මේ තත්ත්වය මගහරවාගත හැකි ය. එනිසා නගර අලංකරණය යනු හුදු අලංකරණයක්‌ නො ව ඉතා සුපරීක්‌ෂාකාරීව සිතා බලා දිගුකාලීන සැලැස්‌මක්‌ ඇති ව සිදු කළ යුත්තකි. වසර කිහිපයකට පෙර කොළඹ නගරය බොහෝ අපිරිසිදු ස්‌ථානයක්‌ වූ බව ඔබට අමතක නො වනු ඇත. එහෙත් පසු ගිය වසර කිහිපයේ දී කිසියම් ප්‍රමාණයකට වර්ධනය වෙමින් තිබූ නගරාලංකරණ ව්‍යාපෘති අගය කළ යුත්තකි.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Friday 17 March 2017


ළිං හිඳෙන්නේ නලලිං නිසාද.???



විදුපත් ඉරුව

2017 මාර්තු 15 බදාදා

මතුපිට ජලය හිඳී යද්දී මෙන්ම කාර්මිකකරණයෙන් මෙන්ම ජනාවාසකරණයෙන් ද නිපැදවෙන අපද්‍රව්‍ය නිසා භාවිතයට ගත හැකි මතුපිට ජල මුලාශ්‍ර අහිමි වෙමිනුයි යන්නේ. ලංකාවේ බොහොමයක් ප්‍රදේශවල මේ වනවිට ජල අවශ්‍යතාවය සපුරා ගන්නේ භූ අභ්‍යන්තරයේ රැඳුන ජලයෙන්. මෙම භූගත ජලය ලබා ගැනීම සඳහා ඉවක් බවක් නොමැතිව නල ලිං ඉදිකිරිම සිදු වෙයි. කළමනාකරණයකින් තොරව නල ලිං ඉදිකිරිම ශ්‍රී ලංකික ජල සම්පතෙහි අනාගතය තව තවත් අඳුරු කරන්නට හේතුවන බව අප සිහි තබා ගත යුතුය.    

භූගත ජලය පවතින්නේ භූගත ජල නිධි වල වන අතර එලෙස පවතින ආකාර දෙකකි. ඒවා අනවහිරත ජල නිධි (unconfined aquifer) සහ අවහිරත ජල නිධි (confined aquifer) වේ.  මින් පළමු වැන්න බොහෝ විට පවතින්නේ නොගැඹුරු භූ අභ්‍යන්තරයේ වන අතර ජලය පවතින්නේ පාංශු ස්තර සහ ඒ හා ආසන්නයේ පවතින පාෂාණ කලාප අතරයි. මේ නිසා මෙම ජල නිධි වල ජල මට්ටම කාලගුණයට අනුරූපියව උච්චාවචනය වේ. වර්ෂා කාලයේදී වැඩිවන ජල මට්ටම ඉඩෝර කාලවලදී පහල බසී. ශ්‍රී ලංකාවේ බොහෝමයක් සාමාන්‍ය ළිං නිර්මාණය කර ඇත්තේ මෙම ජල නිධි ඇසුරු කරගෙනය.

දෙවැන්න වන අවහිරත ජල නිධි පිහිටන්නේ භූ අභ්‍යන්තරයේ පාෂාණ තට්ටු අතර වේ. මෙම ජල නිධි නිර්මාණයේදී ජලය එක් රැස් වීම සඳහා පාෂාණ වල දුර්වල කලාප බෙහෙවින් වැදගත් වෙයි. පාෂාණ තුල පිහිටන පැලුම්, කුස්තුර පමණක් නොව විවරයන් සහ බිලයන් ද  අතිශය මේ සඳහා සහයෝගීමත් වේ. ඉහළින් සහ පහළින් අපාරගම්‍ය පාෂාණ තට්ටු හෝ මැටි වැනි ද්‍රවයන්ගෙන් අවහිර වී පවතින මෙම නිධිවල ජලය පීඩනයක් යට‍තේ පැවතීම සුවිශේෂී වේ.

අනවහිරත ජල නිධි පෝෂණය වන්නේ එම ස්ථානයට හෝ ඒ හා ළඟ ස්ථානවලට වසිනා වැසි ජලය නොගැඹුරු පස සහ පාෂාණය තුලට කිඳා බැසීමෙනි. නමුත් අවහිරත ජල නිධි පෝෂණය කරනා ජල මුලාශ්‍ර පවතින්නේ ජල නිධියට බොහෝ ඈතින් විය හැක. උදාහරණයක් ලෙස කඳුකර ප්‍රදේශවල නිම්න වල පවතින අවහිරත ජල නිධි පෝෂණය වන්නේ කඳුකරයේ ශිකර ප්‍රදේශවලට ලැබෙන ජලය මගිනි.

න්‍යායාත්මකව ගත් කල මෙම ජල නිධි වලින් කිසියම්ම හෝ ක්‍රමවේදයකට ජලය ගන්නා වේගය එම ජල නිධි පෝෂණය වන්නා වූ වේගයට වඩා වැඩි නම් ජල නිධි හිස් වන්නට පටන් ගනී. එනම් නල ලිං භාවිතයේදී ද ඉතා පැහැදිළිව මෙය සත්‍යක් වන අතර සලකන එක්තරා ප්‍රදේශයක් තුල සවිකල හැකි නල ලිං සංඛ්‍යාව සීමිත වනු ඇත. මෙම ජල නිධි පෝෂණය වන සිඝ්‍රතාවය විද්‍යාත්මකව නිශ්චය කර සවිකළ හැකි නල ලිං ප්‍රමාණය ගණනය කල යුතුය. මේ සදහා භූ ජල විද්‍යාත්මක ක්‍රම වේදයන් ස්ථාපනය වී ඇත.

අසීමාන්තික නල ලිං ස්ථාපනය ගැටළු රාශියක් ඇති කරයි. මෙහි ප්‍රමුඛ බලපෑම ඇතිවන්නේ අනවහිරත ජල නිධි වල ස්ථාපනය කර ඇති සාමාන්‍ය ළිං වලටයි. එනිසා ජල මට්ටම අඩුවිය හැකි අතර ඉඩෝර කාලයකදී තත්වය උග්‍ර වෙයි. මේ නිසා භූ ගත ජල මට්ටම පහත බසින අතර එය ඍජුවම වන වැස්මට ද වගාවන් වලට ද හානි පමුණුවයි.

සාගරය ආසන්නයේ පිහිටි අනවහිරත ජල නිධි වල ජල මට්ටම මේ හේතුවෙන් අඩුවීම නිසා මුහුදු ජලය මුසු වීමේ ප්‍රවණතාවක් ගොඩනැගෙනු ඇත. එය ජල දුෂණයකට හේතු විය හැකි අතර දිගුකාලීනව ගත් කල යථාතත්වයට පත් කිරීමට අපහසු තත්වයක් ඇති විය හැක.

අවහිරත ජල නිධි සදහා ද මෙය සත්‍යක් වන අතර භූ අභ්‍යන්තරික පැලුම් රටා නිසා ඉතා පහසුවෙන් මුහුදු ජලය මුසු වීමේ හැකියාව ඇත. බොහොමයක් අවහිරත ජල නිධි කෙලවර වන්නේ නොඑසේනම් පොළොව මතුපිටට සම්බන්ධ වන්නේ අනවහිරත ජල නිධි ලෙසයි. එනිසා අවහිරත ජල නිධි වල ස්ථාපනය කරනා නල ලිං ප්‍රමාණය වැඩි වීමද ලබා ගන්නා ජල ප්‍රමාණය වැඩි වීමද හේතුවෙන් අනවහිරත කලාපයේ ජල මට්ටම අඩුකරන්නට හේතුවිය හැක.  

අනවහිරත හෝ අවහිරත ජල නිධි වල නල ලිං ස්ථාපනය කර දිගින් දිගටම නොනවත්වා ජලය ලබා ගැනීම සහ විශාල ප්‍රමාණයක් නල ලිං ස්ථාපනය කිරීමෙන් විශාල ජල ප්‍රමාණයක් එකවර ලබා ගැනීම සදාකාලිකවම මෙම ජල නිධි අභාවයට යවන්නට හේතු විය හැක.

භූගත ජලය ඇතිපදම ලබා ගන්නට හැකි වුවද එහි ගුණාත්මක භාවය පිලිබඳ අධ්‍යනයන් සිදුකල යුතුය. භූ අභ්‍යන්තරයේ පිහිටි විවධ පාෂාණ නිසා එමගින් දියවන රසායනයන් නිසා ජලයේ ගුණාත්මක භාවයට හානිවීමේ හැකියාවක් ඇත.    

මෙම තත්වය වලකා ගැනීම සදහා විධිමත් ක්‍රම වේද මගින් විද්‍යාත්මක අධ්‍යනයන් සිදු කර හානියකින් තොරව එනම් තිරසාර ක්‍රමවේදයකට නල ලිං ස්ථාපනය සිදුකල යුතු වේ. ශ්‍රී ලංකාවේ භූ විද්‍යාත්මක පසුබිම අතිශය සංකීරණ වේ. මේ නිසා සමහර විට සිදුකරන නිගමන සාවද්‍ය වීමේ හැකියාවද පවතී. එනිසා ඉතා විස්තරාත්මක, කෙටිකාලින පමණක් නොව දිගු කාලිනද විද්‍යාත්මක අධ්‍යනයන් සිදුකර නිගමනයන් වලට එළඹීම නුවණැති කාරණයක් වෙයි.

 ආචාර්ය පත්මකුමාර ජයසිංහ




  පත්මෙගේ භූ විද්‍යා අන්දර  04 2024 සැප්තැම්බර මස  18 දින විදුසර පුවත්පතේ පල වූ ලිපියකි.  ශ්‍රී ලංකාවේ අවධානය දේශගුණ විපර්යාස කෙරෙහි යොමුවීම...