Thursday 19 September 2019

හේලයිට්‌ (Halite) නැතිව බත් කන්නේ නැද්ද?

Originally Published in Divaina, 18.09.2019.

හැබෑටම මේ හේලයිට්‌ හින්දා ගෙවල් දොරවල් වල සන්ඩු සරුවල් වෙනවා විතරක්‌ නොවෙයි ඒවා සමහර වෙලාවට මරණයෙනුත් කෙලවර වෙනවා. අඹු සැමියෝ විරසක වෙලා දික්‌කසාදත් වෙනවා. හේලයිට්‌ අඩු වුණොත් විතරක්‌ නොවෙයි වැඩි වුණත් කන්න බෑ. පදම දන්න කෙනා තමයි උයන්න දක්‌ෂයා. මෙච්චර වටින නැතිවම බැරි හේලයිට්‌ කියන්නේ මොනවද? හේලයිට්‌ කියන්නේ ලුණුවල ජීව විද්‍යාත්මක නාමය. ඔන්න පින්තුරේ තියෙනවා ලුණු ස්‌ඵටිකිකරණය වෙලා හැදෙන ස්‌ඵටික වල හැඩය. ලුණු වල රසායන විද්‍යාත්මක නාමය වන්නේ සෝඩියම් ක්‌ලෝරයිඩ් (NaCl). බොහොමයක්‌ අවස්‌ථාවලදී අධික උෂ්ණය ඇති මුහුදට අසන්න ප්‍රදේශවල මුහුදු වතුරෙන් ලුණු අවක්‌ෂේප වෙනවා. (ලුණු පමණක්‌ නොවෙයි වෙනත් ලවණ වර්ගත් ඒ සමග වෙනවා). ඒ ක්‍රමය භාවිත කරලා තමයි අපි මුහුදු වතුරෙන් කෘතිමව ලුණු නිපදවා ගන්නේ.
 
 මුහුදු වතුර ලුණු රස වෙන්නේ මුහුදේ ලුණු දිය වීම නිසා නම් නොවෙයි. හැබෑටම කොහොමද මුහුදු වතුර ලුණු රස වෙන්නේ? මේ සඳහා හේතුවෙන්නේ ප්‍රධාන භූ විද්‍යාත්මක සංසිද්ධීන් දෙකක්‌. එකක්‌ තමයි ජීර්ණය කියන ක්‍රියාවලිය. මෙමගින් ගොඩබිම ඇති පාෂාණ ජීර්ණයට ලක්‌වෙලා සමහර ඛණිජ ජලයට මුසු වෙනවා. මෙහිදී ඇත්තටම ජලයට මුසුවෙන්නේ ජලයේ පහසුවෙන් දියවෙන ඛණිජ. එහෙම නැතිනම් ඛණිජ සහ පාෂාණ ජීර්ණය නිසා ඇතිවන විවිධ ඇනායන සහ කැටායන. විශේෂයෙන්ම කැල්සියම්, මැග්නීසියම්, සෝඩියම් පොටෑසියම් වැනි කැටායන (ඇල්කලි අයන). එයට අමතරව පාෂාණ ජීර්ණයෙන්, සිලිකේට්‌ සහ කාබොනේට්‌ අයනත් ජලයට එකතු වෙනවා. ඛාදනයෙන් ජල මාර්ගවලට එකතුවෙන මේ අයන ඇල, දොළ, ගංගා ඔස්‌සේ අවසානයේදී මුහුදට එකතු වෙනවා.
 
 අනෙක්‌ ක්‍රියාවලිය තමයි මුහුද අභ්‍යන්තරයේ පිපිරෙන ගිනිකඳු. බොහොමයක්‌ අය දන්නේ නැහැ මුහුද මැද්දේ ගිනිකඳු පිපිරෙනවා කියලා. අත්ලාන්තික්‌ මුහුද මැද්දේ ඇති මාධ්‍ය සාගරික කඳු පන්තිය කේන්ද්‍ර කොට සිදුවෙන ගිනිකඳු වලින් තමයි බොහොමයක්‌ පෘථිවි මධ්‍යයේ වූ රසායනයන් මුහුදු ජලයට එකතු කරන්නේ. බොහොමයක්‌ ගිනිකඳු තල මායිම් ඇසුරු කරගෙන තමයි බිහිවෙන්නේ. එහිදී වැඩිපුරම හයිඩ්‍රජන් සහ ක්‌ලෝරයිඩ් අයන තමයි මුහුදු ජලයට මුසු වෙන්නේ.
 
 මුහුදට එකතුවෙන මෙම රසායනයන්ගෙන් කාබෝනේට සහ සිලිකේට වාගේම කැල්සියම් සහ මැග්නීසියම් අයනත් මුහුදු සතුන්ගේ කවච හදන්නට දායක වෙනවා. ඒ හින්දා ඒවා මුහුදු ජලයේ සාන්ද්‍ර ගතවෙන්නේ අඩුවෙන්. පොටෑසියම් වැනි අයන මුහුදු මැටි වලට උරා ගන්නවා. එයට අමතරව හයිඩ්‍රජන් අයනත් විවිධ රසායනයන් සමග සම්බන්ධ වෙනවා. අවසානයේ දී මුහුදු ජලයේ ඉතුරු වන්නේ එහෙමත් නැතිනම් සාන්ද්‍රගත වන්නේ සෝඩියම් සහ ක්‌ලෝරයිඩ් අයන. එනිසයි මුහුදු ජලය ලුණු රස වෙන්නේ. කොහොම වුණත් මුහුදු ජලයේත් මේවායේ සාන්ද්‍රණය වැඩිවෙනකොට අවක්‌ෂේපයෙන් මුහුදු පත්ලේ තැන්පත් වෙනවා. නැවත නැවත මෙලෙස තැන්පත් වූ ලුණු මුහුදු ජලයට එකතු වෙන්නත් පුළුවන්.
 
 මුහුදු අභ්‍යන්තරයේ නිධිගත වෙන මෙවැනි ලුණු නිධි ඒ ආසන්නයේ වූ අනෙකුත් අවසාදිත සමග පාෂාණ බවට පත් වෙන්නේ අධික ලෙස වාෂ්පීකරණය හේතුවෙන්. තල භූ ක්‍රියාකාරකම් නිසා මුහුදු පත්ලවල් ගොඩබිම් ලෙස මතුවෙන්නට පුළුවන. එහිදී මෙම වාෂ්පීකරණ ක්‍රියාවලිය වඩාත් පහසු වෙනවා. පාෂාණ ස්‌ථර අතර එලෙස තැන්පත් වූ ලුණු (rock salt) ලෝකයේ විවිධ ස්‌ථානවල හමුවේ. ඒ ලුණුත් එදිනෙදා භාවිතයට ගන්න පුළුවන්.

Wednesday 18 September 2019

විදු පත්ඉරුව
29.06.2016

පසු ගිය දිනෙක මා ලද ලිපි අතරින් එක්‌ සුවිශේෂී ලියවිල්ලක්‌ ඔබ හමුවට ගෙන ආ යුතු යෑයි සිතුවෙමි. පහත ඇත්තේ ඒ ලිපියයි. කිසිදු වෙනසක්‌ නො කළ බව කිව යුතු ය.

"වාසනවාට හෝ අවාසනාවට මිනිසා මිහි මත බිහි වී ඇත. වසර මිලියන 2කට මත්තෙන් වානර මගින් ඉවත් වී වෙන ම මාර්ගයක ගමන් කළ මානවයා ශීඝ්‍රයෙන් මෙතෙක්‌ ලද වෙනස නම් ඉතා අධික ය. වෙන කවර සත්ත්වයකුට ද වඩා ස්‌වාභාවික පරිසරයෙන් වියුක්‌ත ව ඉතා කදිම නිර්මිත පරිසරයක අයිතිය හිමි කරගන්නට සමත් වී ඇත. එපමණක්‌ නො වේ. ඒ වෙනුවෙන් ස්‌වාභාවික පරිසරය අමු අමුවේ ම වෙනස්‌ කරන්නට පෙලඹී ඇත. ඒ තම ආත්මාර්ථකාමීකම වඩාත් හොඳින් ලොවට පෙන්වමිනි. ලොව වෙසෙනා සියලු ම සත්ත්වයන් හට පාරිසරික සිමා මායිම් ඇත්තේ මුත් මිනිසාට එසේ නැත. කණගාටුවට කරුණ නම් තමනට අයිති නො වූ වෙනත් සත්ත්වයන් ගේ රාජධානි ද බියක්‌ සැකක්‌ නොමැති ව ආක්‍රමණය කර අත්පත් කරගැනීමයි. ආක්‍රමණයට ලක්‌ වූවන් මේ වන විට වඳ වී ගොසිනි. නැත හොත් වඳවෙමින් පවතින බැවින් රතු දත්ත පොතට ඇතුළත් කරන්නට තරම් මිනිසා අකාරුණික වී ඇත. නැත හොත් වඳ වී යන බැවින් අනාගතයේ තම දරු පරපුරට දැකගන්නට සත්ත්ව උද්‍යානයේ කූඩුවක තබා ඇත.

ස්‌වාභාවික පරිසරයේ වෙසෙනා ජීවීන් සමූහයේ ම එක්‌ ජීවී විශේෂයක්‌ ලෙස බිහි වුව ද මිනිසා තම ආධිපත්‍යය අනෙකුත් ජීවීන් මත බලපවත්වන්නේ සිත් පිත් නැත්තකු ලෙසයි. කලකට පෙර තමා සමග එක්‌ ව නැගී සිටි ජීවීන් ද තමාට එරෙහි වූ ජීවීන් ද ඉතා පහසුවෙන් යටපත් කරන්නට මිනිසා සමත් වී ඇත. කෙටි කාලයක්‌ තුළ තම නිර්මිත පරිසරය ගොඩනැගීම සදහා අපමණ වෙහෙසක්‌ ගත් මිනිසා පරිසරයේ චක්‍රීය බව තේරුම්ගත්තේ බොහෝ පසු ව ය. ඒ වන විට සිදු විය යුතු සියල්ල සිදු වී හමාර ය. මේ සියල්ලට හේතු වී ඇත්තේ මිනිසා ම කියනා පරිදි මිනිසා ගේ අග්‍රගණ්‍ය මොළයේ දියුණුවයි. කොපමණ දියුණු වුවත් දුරදිග නො බැලීමේ ප්‍රතිඵලයක්‌ ලෙස සිදු කළ වෙනස්‌කම් සියල්ල මිනිසාට ම පාරා වළල්ලක්‌ වී පැමිණ හමාර ය. කාලය ගත වෙමින් ඇත. දියුණු මොළයට කාලයකට පසු හෝ මේ බව පසක්‌ වුව ද කළ හැක්‌කක්‌ නොමැති වී ඇත. කෙසේ වුවත් මිනිසා තම දුර්දාන්ත විනාශකාරී මාවතේ දිගට ම ගමන් කරන බවයි පෙනී යන්නේ.

තම ගම්බිම් අහිමි වූ ජීවීන් ජීවත් වීමේ අරගලයට ඉතා භයානක ලෙස මුහුණ දුන් බව ද වඳ නො වූවන් තවමත් ඊට මුහුණ දෙමින් සිටිනා බව ද ඔබට අමුතුවෙන් වටහා දිය යුතු නැත. වනාන්තර සිමාකාරී වීම පමණක්‌ නො ව ඒවා බොහොමයක්‌ වනඋද්‍යානයන් වීම ද නිසා බොහෝ ජීවීන්ට තම නිදහස්‌ චරණය සීමා කරන්නට සිදු වී ඇත. එනිසා අලින්ට, ඉත්තෑවුන්ට, රිලවුන්ට, වඳුරන්ට, මීයන්ට සහ ඌරන්ට තම ජීවිතය උගසට තබා ආහාරය සදහා ගම් වදින්නට ද සිදු වී ඇත. පවතිනා දෙයින් ලැබෙනා දෙයින් කුසගින්න නිවා ගන්නට සිදු වීම නිසා පොලිතින් ද තම ආහාරයේ එක්‌ අංගයක්‌ වී ඇත. තමනට නිවහන සැපයූ විසල් රුක්‌ ගොමු නොමැති නිසා තම දරුවනට අවැසි රැකවරණය සදහා පක්‌ෂීන්, ලේනුන් වැනි සතුනට මිනිසා ගේ නිර්මිත පරිසරය තෝරාගන්නට සිදු වී ඇත. බොහොමයක්‌ සතුනට මිනිසා තැනූ මංමාවත් මරණය ගෙනෙනා ස්‌ථාන බවට පෙරළී ඇත. එනිසා තම පැවැත්ම ස්‌වාභාවිකවරණයට පමණක්‌ තීරණය කළ නොහැකි බව ද ඒ සදහා මානව වරණය ද අතිශයින් බලපානා බව ද ඔබට වැටහෙනු ඇත.

මිනිසා තමාට අවැසි ජීවීන් උදෙසා සුවිශේෂී ආරක්‌ෂණ වැඩපිළිවෙළක්‌ සකසා ඇති බව සත්‍යයකි. කොටසකට පමණක්‌ අතිශය සහන සහ සුබසාධන සපයා ඇත. තම නිර්මිත පරිසරයට ගැටලුවක්‌ වන්නා වූ සියලු ම ජීවීන් ඉන් ඈත් කර තබන්නට හෝ අතුගා දමන්නට හෝ පෙලඹී ඇත. මිනිසා තම පැවැත්ම තහවුරු කරනු වස්‌ සිදු කරනා පර්යේෂණ නිසා සමහර ජීවීනට තම ජීවිතය පවා පුද කිරීමට සිදු ව ඇත. පර්යේෂණ පමණක්‌ නො ව තම අධ්‍යාපනය උදෙසා යෑයි ජීවීන් කුඩුවල දමා ගාල් කර තබන සත්ත්ව උද්‍යාන බිහි කිරීම නිසා ජීවීන්ට තම නිජබිම්වල ජීවත් වීමේ අයිතිය අහිමි කර ඇත. තාක්‌ෂණය මෙතරම් දියුණු වී ඇති මේ සමයෙහි මෙවැනි සත්ත්ව උද්‍යාන නම් වදකාගාර තවමත් පවත්වාගෙන යැම මිනිසා ගේ ක්‍රෑර බව හොඳින් පෙන්වන්නකි. වර්තමානයේ මුදලට කෑගසන්නා වූ සත්ත්ව අයිතිය සුරකින්නන් හට ද මේ බව පසක්‌ නො වීම කෙතරම් කණගාටුවට කරුණක්‌ ද යන්න ඔබට වැටහේ වි.

මිහි මත ඉතිරි වී ඇති බොහොමයක්‌ ජීවීන් මිනිසා ගේ ම නිර්මාණයක්‌ වූ අභයභූමිවලට සීමා කර ඇත. වනාන්තර එලි පෙහෙළි කිරීම නිසා යන එන මං අහිමි වූවන්ට මෙමගින්

රැකවරණයක්‌ සැලසේ යෑයි සිතුව ද ඇත්තෙන් ම එසේ සිදු නො වන බව කිව යුතු ය. සංචාරකයන් පිරිවරා ගත් රථ මහා හඬ නංවමින් වන වැසියන් ගේ නිදහසට අතිශය බාධා කරයි. හුදු විනෝදය පිණිස, ඇස්‌ නිලංකාර කරනා අධි සැර ආලෝක විහිදුවනා උපකරණ රැගෙන යන එන මග රැක සිටීම නිසා වන වැසියන් බියට පත් කරන බව ද විටෙක කෝපයට ද පත් කරන බව ද මේ ආත්මාර්ථකාමී මිනිසුන් දත යුතු ය. එපමණක්‌ නො වේ. වන වැසි මසට ලොල් වූ දඩ වැද්දන් ගේ ග්‍රහණයට අසු වන්නන් ප්‍රමාණය මෙතෙකැයි කිව හැකි නො වේ.

වර්තමානයේ මේ කොයි ආකාරයෙන් හෝ ජීවීන් ගේ වටිනා ජීවිතය නැති වන්නට ඉඩ කඩ බොහෝ ය. ජීවීන් හට ඉන්නට තැනක්‌ නැත. ඔවුනට යන්නට ද තැනක්‌ නැත. අතරමං වන, මිනිසා ගේ නිර්මිත පරිසරයේ ජීවීන්ට වෙන් කළ ඉඩක්‌ නොමැති බව ඔබ තේරුම්ගත යුතු ය. එහෙත් සියලු ම ජීවීන් හට කෙසේ හෝ ජීවත් වීමේ අරගලයක නිරත වීමට සිදු වේ. ඒ සැම අයකුට ම ජීවත් වීමේ පරම අයිතිය ඇති බව මිනිසා තේරුම්ගන්නා තෙක්‌ වුව ද ඒ වන විට ජීවත් වීමට තම අනන්‍ය වූ ගම බිම ඉතුරු වී ඇතැයි කිසිවකුට කිව නොහැකි ය."

"වඳ නො වී සිට තවමත් ජීවත් වීමට අරගල කරන්නෙක්‌" යෑයි ලිපිය අවසානයේ සටහන් තබා තිබිණි.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Sunday 15 September 2019

විදු පත් ඉරුව
25.01.2019

පෘථරිවියේ ජීවය පවත්වාගෙන යන්නට ප්‍රධාන අනුබලයක්‌ වී ඇත්තේ ජලයයි. ඒ බව ඉතා හොඳින් දැනෙමින් පවතින කාල වකවානුවකි අප මේ ගත කරන්නේ. මෙවර නියඟයක්‌ ඇති විය හැකි බවට අනතුරු අඟවා ඇති මොහොහතක ජල සංරක්‌ෂණය සහ බීමට සුදුසු පිරිසිදු ජලය ලබා දීම සඳහා වහ වහා විධිමත් ක්‍රියාදාමයක්‌ දියත් විය යුතු ය. නියඟයේ බලපෑම පෙන්වමින් මේ වන විට විවිධ ගැටලු පැනනැෙගමින් පවතින පෙනී යයි. මහවැලි ගඟේ අවම ජල මට්‌ටම වත් මේ වන විට පවත්වාගෙන යා නොහැකි බව අන්තර් ජලාශ දිය දහරවල් නිරීක්‌ෂණයෙන් ඉතා හොඳින් පැහැදිලි වේ. ජලාශවල ජල මට්‌ටම අඩු වීම විදුලිය නිපදවීම සඳහා ෆොසිල ඉන්ධන දහනය දෙසට අප වඩ වඩාත් තල්ලු කරයි.

නියඟය ගංගා තුළට මුහුදු ජලය කාන්දු වීමට හේතුවක්‌ වෙයි. එනිසා ඒ අවට පිරිසිදු ජල මුලාශ්‍ර මුහුදු ජලය හා මිශ්‍ර වී බීමට ගත නොහැකි තත්ත්වයට පත් කරයි. මේ තත්ත්වය පසුගිය විවිධ කාල වකවානුවල ඇති වූ නියංවල දී කැලණි ගඟේ ද, කළු ගඟේ ද ඇති විය. මෙවරත් කළු ගඟේ මේ තත්ත්වය ඇති වෙමින් පවතින බව පෙනී ගොස්‌ ඇත. මුහුදු ජලය ගංගා ජලය හා මිශ්‍ර වීම ජලයේ දිය වී ඇති අයන මට්‌ටම ඉහළ නංවාලන්නට හේතු වෙයි. එනිසා අයනික සාන්ද්‍රණය ඉහළ යයි. අයන ගෙන එන්නේ ජලයෙහි දිය වූ ලවණ ය. මුහුදු ජලයේ අයන සාන්ද්‍රණය සැලකූ විට එහි බොහෝ විට වඩා ප්‍රමුඛව සෝඩියම්, කැල්සියම්, මැග්නීසියම් වැනි ධන අයන මෙන්ම ක්‌ලෝරීන්, සල්ෆේට්‌ වැනි Rණ අයන ද දිය වී ඇත. සෝඩියම් සහ ක්‌ලෝරීන් සාන්ද්‍රණ අධික ව ඇති නිසා එමගින් නිර්මාණය වන සෝඩියම් ක්‌ලොරයිඩ් ලවණය මුහුදු ජලයේ ප්‍රමුඛ ලවණය ලෙස හැඳින්විය හැකි ය. මුහුදු ජලයට ලුණු රසයක්‌ එක්‌ වී ඇත්තේ එනිසා ය.

විද්යුතය සන්නයනය කරන්නට අවැසි වන්නේ ඉල්ක්‌ට්‍රොaන වන අතර ධන සහ සෘණ අයන ඇත්නම් ඒ ද විද්යුතය සන්නයනය සදහා කදිම ය. ජලීය ද්‍රdවණ තුළින් විද්යුතය ගලා යන්නේ මේ ධන සහ සෘණ අයනවල ක්‍රියාකාරිත්වයෙනි. යම් ලවණයක්‌ ජලයේ දිය වී අයනවලට වෙන් වීම මේ කාරිය සදහා බෙහෙවින් ඉවහල් වෙයි. අධික ලවණතාව නිසා මුහුදු ජලය ඉතා හොඳින් විද්යුතය සන්නයනය කරයි. එනිසා මුහුදු ජලය ඉතා හොඳ විද්යුත් සන්නායකයක්‌ ලෙස හැඳින්විය හැකි ය. පිරිසිදු ජලය ඉතා අඩු ලවණ ප්‍රමාණයකට හිමිකම් කියයි. එනිසා ලුණු රසයක්‌ ගෙන දෙන්නේ නැත. විද්‍යාගාරයේ භාවිත කරන සංශුද්ධ ජලය නිපදවෙන්නේ එහි ඇති බොහොමයක්‌ අයන ඉවත් කිරීමෙනි. ප්‍රති ආසෘතියෙන් නිපදවෙන්නේ ද ලවණ හෝ අයන අඩු ජලයයි.

ද්‍රdවණයක ගැබ් වී ඇති හෝ දිය වී ඇති ලවණ හෝ අයන ප්‍රමාණය නිශ්චය කිරීම සදහා භාවිත කෙරෙන එක්‌ මිනුමක්‌ වන්නේ එහි සන්නායකතාව මැනීම ය. සන්නායකතාව යනුවෙන් හැඳින්වෙන්නේ යම් ද්‍රdවණයක්‌ තුළින් ගමන් කරවිය හැකි විද්යුත් ප්‍රමාණය වේ. "ඒකීය දුරක්‌ ගමන් කරන විද්යුත් ධාරාව" ප්‍රකාශ කෙරෙන ඒකකය වන්නේ 'සීමන්ස්‌' (Siemens) නම් වේ. 'සීමන්ස්‌' යනු ඒකීය විභව අන්තරයක්‌ (1V) ඇති විට නිපදවෙන ඒකීය විද්යුත් ධාරාව (1A) ලෙස හැඳින්විය හැකි ය. සම්මතයන්ට අනුව එවිට සන්නායකතාව ප්‍රකාශයට පත් කෙරෙන්නේ 'මීටරයට සිමන්ස්‌' (S/m) ලෙසිනි. මේ සම්මතයෙන් බිඳී 'මීටරයට මිලි සීමන්ස්‌' (mS/m) ලෙස හෝ 'මීටරයට මයික්‌රෝ සීමන්ස්‌' (μS/m) ලෙස ද යෙදෙන අවස්‌ථා ඇත. 'ප්‍රතිරෝධකතාව' සන්නයකතාවයේ පරස්‌පරය වේ. කෙසේ වෙතත් අප හොඳින් සිහි තබාගත යුතු කරුණ වන්නේ සන්නායකතාව වැඩි වීම යනු කිසියම් හෝ ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රdවණයක්‌ හෝ තුළ විද්යුත් ශක්‌තිය ඒකරාශි වීමක්‌ නො වන බවයි. නැත හොත් වැඩි සන්නයකතාවකින් යුක්‌ත ද්‍රdවණ යනු විද්යුතය ගැබ් වූ ද්‍රdවණ නො වන බවයි. අත්‍යන්තයෙන් ම ඉන් හැඟවෙන්නේ එහි පවතින අයන හෝ ලවණ හෝ සාන්ද්‍රණය පිළිබඳ මිනුමක්‌ පමණි.

සංශුද්ධ ජලයේ සාමාන්‍ය සන්නායකතා අගය වන්නේ 5රැ5µSරැප වන අතර බීමට ගන්නා ජලයේ එය 5-50 පීරැප අතර පමණ වූ අගයක්‌ ගනී. එම ප්‍රමාණය සංශුද්ධ ජලයේ සන්නායකතාව මෙන් දහස්‌ ගුණයක්‌ වෙයි. මුහුදු ජලය සැලකූ විට සන්නායකතාව 5 Sරැප පමණ වන අතර එම ප්‍රමාණය සංශුද්ධ ජලයේ මෙන් මිලියන ගුණයක්‌ පමණ වේ. මුහුදු ජලයේ ද එක්‌ එක්‌ සාගරවල සන්නායකතාව වෙනස්‌ වෙයි. වැඩි ම සන්නායකතාවක්‌ පෙන්වන්නේ මළ මුහුදෙහි ය. ගංගාවල වුව ද සන්නායකතාව අඩු වැඩි වෙයි. ගංගාවක පටන් ගැන්මේ ඇති ජලයෙහි සන්නයකතාවට වඩා වැඩි සන්නායකතාවක්‌ එහි පහළට යත් ම නිරීක්‌ෂණය කළ හැකි වේ.

ගංගාවක ජල මට්‌ටම අඩු වන්නට නියඟය ප්‍රබල ලෙස බලපායි. එමෙන් ම ගඟෙහි ගැඹුර වැඩි වීම ද එම තත්ත්වය වර්ධනය කරන්නට හේතු වෙයි. මෙනිසා මුහුදු ජලය රට තුළට කාන්දු වීමේ හැකියාව වැඩි වෙයි. වර්තමානයේ ගංගාවල ගැඹුර වැඩි කරන්නට හේතු වී ඇත්තේ ද අධික ලෙස වැලි ගොඩ දැමීමයි. ඒ හා සමගාමීව ගංගා ජලයේ වේගය අඩු වීම ද මුහුදු ජලය රට තුළට ගෙන ඒමට හේතු වන බව පැවසිය යුතු ය. එපමණක්‌ නො ව දිගුකාලීන ව ගත් කල මුහුදු මට්‌ටම ඉහළ යැම ද මේ සදහා හේතු වෙයි. ඉඩෝරය නිසා ජලයේ සාන්ද්‍රගත වීම ද, ලවණ මිශ්‍රිත ඛනිජ නිධි ජලයේ දිය වීම ද මතුපිට සහ භූගත ජලයේ සන්නායකතාව වැඩි කිරීමට හේතු විය හැකි ය.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Tuesday 10 September 2019

විදුපත් ඉරුව
03.05.2017

'අවදානමට පෙර සූදානම' අද දිනයේ කෙතරම් ප්‍රායෝගිකව යෙදවෙනවා ද යන්න විමසා බැලිය යුතු ය. නො දන්වා පැමිණි සුනාමිය දහස්‌ ගණනක්‌ ජීවිත බිලිගත්තේ පෙර සූදානම නො තිබූ කාලයේ වුව වර්තමානයේ දිනෙක එලෙස වුව හොත් කිසිදු සමාවක්‌ හිමි නො වන බව ඔබ කියනු ඇත. එහෙත් වසරකට (අවම) අධික කාලයක්‌ තිස්‌සේ පැහැදිලි සාක්‌ෂි ඇස්‌ පනාපිට පෙනි පෙනී තිබිය දී අවදානම නො සලකා හැරීම මීතොටමුල්ලේ ජීවිත 32ක්‌ බිලි ගැනීමට ඉඩ හරින විට ඔය කියනා 'පෙර සූදානම' පෑල දොරින් පලා ගියා දැයි සිතේ.

සුනාමිය කරළියට පැමිණ ගත වී ඇත්තේ දශක දෙකකට අඩු කාලයක්‌ වුව නාය ආපදාව ගැන නම් අප බොහෝ කලක සිට දන්නා බව සැඟවිය නොහැකි කරුණකි. ගංවතුර ඊටත් වඩා හොඳින් අපට සමීප අත්දැකීමකි. සුළි සුළං ඉඳහිට වුව ආපදාවන් ඇති කරන බව අපි දනිමු. මෙලෙස හොඳින් දන්නා ආපදා අවම කරගැනීම උදෙසා අප ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගෙන ඇත් දැයි යන්න ගැටලුවකි.

දිනෙන් දින වර්ධනය වන නාය ආපදා නිසා අනතුරට පත් වන ජනතාව ද ප්‍රමාණාත්මකව වැඩි වෙයි. අධි අවදානම් කලාප ඇතුළු මිනිසාට ජීවත් වන්නට අයෝග්‍ය භූමි හඳුනාගෙන ඇති මෙවැනි කලෙක ජනතාව නැවත නැවතත් අවදානමට ලක්‌ වන්නේ මන්ද? නාය අනතුරු ඇඟවීමේ පද්ධති ක්‍රියාත්මක වෙද්දී ද ජනතාව මේ ආපදාවන් පිළිබඳව නිරන්තරව ඉතා පුළුල් ලෙස දැනුවත් කරද්දී එවැනි ජීවිත හානි සිදු වන්නට හැකියාවක්‌ ඇත් ද? 'පෙර සූදානම' නම් වූ වට්‌ටියේ හිදැස්‌ ඇත්තේ කොහේ ද යන්න සොයා බැලිය යුතු ය.

ඉතා හොඳින් දැනුවත් වී ඇති ආපදාවන් කෙරෙහි පෙර සූදානම ක්‍රියාත්මක වන්නේ මෙලෙස නම්, නො දන්නා ආපදාවක්‌ ඇති වන කල ගැලවීම උදෙසා සුදුසු ක්‍රියාමාර්ග ගන්නේ කෙසේ ද යන්න කෙතරම් අපැහැදිලි ද යන්න සිහි වේ. මිනිසකු මරණයට පත් වීම සදහා ලොව වැඩි ම අවදානම ඇත්තේ උල්කාපාත වැටීමෙන් බව කියෑවේ. එහෙත් එයින් මිනිසුන් අනතුරට පත් නො වන්නේ පොළොවට පතිත වීමට පළමු ඒවා බොහොමයක්‌ ගිනිගෙන විනාශ වන හෙයිනැයි ද පැවසේ. උල්කාවක්‌ (ග්‍රහකයක්‌) වැටීම කලින් හඳුනාගැනීමට අපට නොහැකි වුව දියුණු තාක්‌ෂණික පහසුකම් ඇති ඇමෙරිකාව වැනි රටකට බොහෝ විට හැකි වේ. එසේ නම් හදිසියේ හෝ එවැනි තත්වයක්‌ ඇති වුව හොත් අප ගන්නා ක්‍රියාමාර්ග මොනවා ද යන්න පිළිබඳව මෙරට තවමත් කතාබහට ලක්‌ වී නොමැත.

විකිරණශීලී මූල¹ව්‍ය සහ කාර්මික රසායනික ද්‍රව්‍යයන් සාමාන්‍ය ජනතාව නිතර ම නො ගැටෙන වපසරියක පැවතිය ද ආපදා ඇති කිරීමේ දී පෙරගමන්කරුවන් බව අප අමතක නො කළ යුතු ය. වසර කිහිපයකට පෙර ජපානයේ සිදු වූ සුනාමි ෙ€දවාචකය අවසාන වන්නේ විකිරිණශීලී මූලද්‍රව්‍ය භාවිත වන විදුලි උත්පාදකාගාරයක්‌ අනතුරට පත් කරමින් බව ඔබට මතක ඇති. එහි දී ඔවුන් ගත්තා වූ ක්‍රියාමාර්ග මොනවා දැයි විමසිල්ලට ගත යුතු ය. මිලියන ගණනක ගේ යහපත උදෙසා විකිරණවලට නිරාවරණය වූවන් ගේ සංචරණය එරට සීමා කළ බව වාර්තා වෙයි. එය ඔවුන් ගේ පෙර සූදානමේ ප්‍රතිඵලයකි.

මහා පරිමාණයෙන් සිදු වන එවැනි ආපදා, ව්‍යසන පමණක්‌ නො ව ග්‍රාමීය සහ ස්‌ථානීය මට්‌ටමේ දී ද, පුද්ගල මට්‌ටමේ දී ද පෙර සූදානම ක්‍රියාත්මක විය යුතු බව සිහි තබාගත යුතු ය. සර්ප දෂ්ටනයන්, ගස්‌වලින් ඇද වැටීම්, බඹර, දෙබර ප්‍රහාර පමණක්‌ නො ව රිය අනතුරු ද, ජලයේ ගිලී අනතුරට පත් වීම් ද ආදි එකී නො කී සියලු ආපදා සැලකිල්ලට ගත යුතු ය. ඒ සදහා වූ පෙර සූදානම ගැන ජනතාව දැනුවත් කළ යුතු ය. මෙවැනි කාර්ය සම්පාදනයේ දී ජනතාව ගේ සාම්ප්‍රදායික දැනුම අතිශය වැදගත් වෙයි.

ව්‍යසනයට මුහුණ දීමට වඩා එය වළක්‌වාගැනීම යෝග්‍ය වේ. ගංගා අසබඩ ද, කඳුකරයේ ද අනවසර ඉදි කිරීම් ආපදා තත්ත්වය දෙගුණ තෙගුණ කරයි. විශේෂඥ උපදෙස්‌ පිළිපැදීම තත්ත්වය යහපත් කරගැනීමට විශාල පිටිවහලක්‌ ලබා දෙයි. වර්ෂාපතනයේ හිඟ බව කාලගුණ අනාවැකිවලින් සාර්ථකව ලබා දුන්න ද නියඟයට මුහුණ දෙන්නට කවරකු වත් සූදානම් වන්නේ නැත. ජලය නොමැති කල කෘෂිකර්මය බිඳ වැටෙන බවට අපට ඉහේ කෙස්‌ ගානට පමණ වූ අත්දැකීම් ඇත. ආහාර සුරක්‌ෂිතතාව පිළිබඳව හදිසියේ මතක්‌ වී පිටරටින් ආහාර ගෙන්වන්නට උපදෙස්‌ ලබා දෙන විට නියඟය හමාර ව වැසි කල ආරම්භ වී අස්‌වැන්න නෙළන කාලය වෙයි. එවිට මෙරට ගොවියාට තවත් ව්‍යසනයකට මුහුණ දෙන්නට සිදු වේ. තම අස්‌වැන්න තුට්‌ටුවකට වත් විකුණාගැනීමට නොහැකි වී වස බොන්නට ඔවුනට සිදු වෙයි.

දූරදර්ශී බව මෙරට ආපදා පෙර සූදානමේ නොමැති බව කිව යුතු ය. කොටින් ම ආපදා කළමනාකරණය තුළ ම එය නැත. අප මිනිසුන් ගලවාගැනීමට බෝට්‌ටු සොයන්නේ ගංවතුර ඇති වී මිනිසුන් ආපදාවට ලක්‌ වූ පසු ය. බැකෝ යන්ත්‍ර ඇති තැන් සොයන්නේ ඔවුන් වැළලී ගිය පසු ය. අප එතරම් ම හොඳින් සූදානම් වී ඇත.

මීතොටමුල්ලේ අහිමි වූ ජීවිතවලට නිලධාරීන් ගේ කඹ ඇදිල්ල ද හේතු වූ බව සමහර ජනමාධ්‍ය ගෙන ආ තොරතුරුවලින් පැහැදිලි වේ. දම්වැලක පුරුක්‌ සේ එකිනෙක බැඳෙන මේ ක්‍රියාදාමය ශක්‌තිමත් වන්නේ එක්‌ එක්‌ පුරුක්‌ තනිව ක්‍රියා කිරීමෙන් නො ව එක්‌ ව එකට බැඳීමෙන් බව අමුතුවෙන් විස්‌තර කළ යුතු නැත. මෙරට ආපදා කළමනාකරණයේ දී සිටින සියලු ආයතන තම කාර්යභාරය නියමාකාරයෙන් වැටහාගත යුතු බවයි අප ගේ හැඟීම වන්නේ. තම සේවය අවශ්‍ය වන්නේ කොතැනට ද, කෙදිනක ද, කුමන මොහොතක ද යන්න වටහාගෙන ක්‍රියාත්මක වීම එහි දී වඩා යෝග්‍ය වේ.

කෙස්‌ වෙතත් අවසානයේ දී සිදු වූ ව්‍යසනය ආපදාවක්‌ නො කරගැනීමට වගබලා ගන්නට අප තවත් බොහෝ දේ ඉගෙනගත යුතු යෑයි සිතේ.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Monday 9 September 2019

විදුපත් ඉරුව
10.05.2017


පරිසරය නිරතුරුව වෙනස්‌ වෙයි. සතුන් ද ගහකොළ ද පරිණාමයට ලක්‌ වෙයි. මිනිසා ද පරිණාමයට ලක්‌ වෙයි. එනිසා සමාජ සංස්‌කෘතීන් ද පරිණාමයට ලක්‌ වෙයි. එම පරිණාමය මෙකල්හි 'විපරිණාමයක්‌' නො වන්නේ යෑයි කාට කිව හැකි දැයි අපි නො දනිමු.

සංස්‌කෘතීන්හි පරිණාමය විපරිණාමයක්‌ වූ කල්හි මිනිස්‌ සංහතියේ විනාශය සනිටුහන් කරන බව අමතක නො කළ යුතු ය. පවතින පරිසරයට එරෙහි ව යන කල යම් සංස්‌කෘතියක්‌ වැඩි කල් නො පවතින බව සමාජ මතයයි. මුල් බැසගත් සමාජ නිර්මාණ යම් සමාජයක්‌ ස්‌ථාපනය කරන්නටත් එය මෙලොවින් තුරන් කරන්නටත් ඇතැම් විට සමත් වෙයි.

ආගමක්‌ අවැසි වන්නේ සමාජය හික්‌මවන්නට බව පැවැසේ. සැම ආගමක්‌ ම එසේ නොමැති යෑයි ඔබ තර්ක කරන්නට පුළුවන. ඒ කෙසේ වුවත් 'හික්‌මවීම' යන්න පවා බොහෝ සාපේක්‌ෂ බව පැවසිය යුතු ය. පවතින සමාජය තුළ හෝ බිහි වන නව සන්දර්භයන් හමුවේ විවිධ අරමුණු සමාජගත වන්නේ විවිධ ආකල්ප හරහා බව පෙනී යයි.

බෞද්ධාගම වැළඳගත් අපේ පැරැණි මිනිසුන් ඒ පාදක කරගෙන අපූරු සංස්‌කෘතියක්‌ බිහි කර ඇත්තේ ය. සාමය ද, අහිංසාව ද ප්‍රමුඛ කරගත් ඒ සමාජය කරුණාව ද මෛත්‍රිය ද තම මාවත එළිය කරන පහන් ටැඹ කරගත් බව, අතීත සිදුවීම් විමසන විට කදිමට තේරුම්ගත හැකි වේ. සතා සිවුපාවට ද, ගහ කොළට ද ඒ තුළ ඇත්තේ අත්‍යන්ත ආරක්‌ෂාවකි.

යම් ආගමක සත්‍යය, මූලික හරය, සමාජ පරිණාමයත් සමග කල් යත් ම අනාගතයට නිසි ලෙස නිවැරැදිව සම්ප්‍රේෂණය වන්නේ යෑයි කිසි ලෙසකින් වත් පැවසිය නොහැකි ය. වසර 2600කට පෙර බිහි වූ බෞද්ධ ධර්මය නිර්මලව පවතින්නේ යෑයි අද අපට පැවසිය නොහැකි ය. නළ දිගේ ජලය සුමටව ගලා යන්නා සේ එක්‌ එක්‌ සමාජ පරිවර්තනයන් හමුවේ ඕනෑ ම ආගමක අරමුණ ද හරය ද සුමටව ගලා යන්නේ නැත. එනිසා එහි නිර්මල අරමුණ ද හරය ද නොයෙක්‌ ලෙස වෙනස්‌ වීම්වලට භාජන වන බව අපට පැහැදිලි වෙයි. සමාජ ප්‍රගමනය කෙතරම් ප්‍රබල ද යන්න යම් ආගමක අපගමනය අනුව තේරුම්ගත හැකි ය. බෞද්ධ අපට ද මෙය වලංගු වෙයි.

විදුසර ඔබ අත පත් වන අද දින බෞද්ධ ජනතාවට අතිශය වැදගත් දිනයයි. එහෙත් අද දිනයේ ලහි ලහියේ බොහෝ දෙනකු ලක ලැහැස්‌ති වන්නේ කුමන පරමාර්ථයක්‌ සරි කරගන්නට ද යන්න ගැටලු සහගත බව ඔවුන් සිදු කරන යම් යම් කටයුතුවලින් පැහැදිලි වේ. බෞද්ධ සාරධර්මවලට සහ මූලික හරයට පටහැනි ව කොපමණ දෙනා මේ වෙසඟේ ක්‍රියාත්මක වන්නේ ද යන්න මඳක්‌ සිතා බලන්න.

සමාජ විද්‍යාත්මක විග්‍රහයන් මඟින් පැහැදිලි වන්නේ නූතනයේ ප්‍රතිපත්තියට අඩු තැනක්‌ දෙමින් ආමිසය කෙරෙහි ම ඇති බෞද්ධයන් ගේ නැඹුරුවයි. දන්සල් පවා සැබෑ දානයක තිබිය යුතු ගැඹුරු අරමුණු පෙරදැරිව ක්‍රියාත්මක වන්නේ ද නැතිනම් හුදෙක්‌ ප්‍රචාරණ හෝ වෙනත් එවැනි මතුපිට අරමුණක්‌ ඇති ව සිදු කරන්නේ ද යන සැකය එහි යෙදෙන ඇතැමුන් ගේ ක්‍රියා කලාප දෙස බලන කල මතු වේ. මනස මූලික කරගත් දහමක මෙවැනි අපගමනයක්‌ අනුමත කරන්නේ කෙසේ ද? වෙසක්‌ කූඩු ද, පහන් ද, ඉටිපන්දම් ද දල්වමින් ඔබ සිහි කළ යුත්තේ කුමක්‌ දැයි නිකමට හෝ සිතුවා ද? බොහෝ අලංකාර පුෂ්පයන් පූජා කරමින් ඔබ මතකයට නගන්නේ කුමක්‌ ද? දැල්වෙන නිවෙන විදුලි බුබුළු පිරිවරාගත් තොරණ රාජයා ගෙන එන පණිවිඩය කුමක්‌ දැයි ඔබ මොහොතකට හෝ සිතුවා ද? වෛවර්ණ අලංකරණය පමණක්‌ ම මූලික කරගත් වෙසක්‌ සැරසිලිවලින් සමන්විත "කලාප" සහ ඒ නරඹන්නට සැණකෙළි සිරියෙන් සැදී පැහැදී විවිධ ඝෝෂා නගමින් සෙසු අයටත් කරදරයක්‌ වෙමින් ගමන් කරන නඩ අපට කියාපාන පණිවිඩය කුමක්‌ ද? මෙකල වෙසක්‌ දිනයේ බාගෙට බාගයක්‌ අංග, ආධ්‍යාත්මය දියුණු කරන ප්‍රතිපත්ති වසාලමින් ලෞකික බැඳීම් කෙරෙහි ම මිනිසා නැඹුරු කරන සහ එනයින් චිත්ත ඒකාග්‍රතාවට නැවතත් බාධා පමුණුවන සියුම් උගුල් පමණක්‌ වී ඇති අයුරු ඉතා සුපැහැදිලිව දක්‌නට ඇත.

මනසෙහි ප්‍රගමනය වර්තමානයේ සිදු වන්නේ ආපස්‌සට බව මෙරට පමණක්‌ නො ව මෙලොව සිදු වන බොහෝ ක්‍රියාකලාපයන් විශ්ලේෂණයෙන් උගත හැකි කරුණයි. විය යුත්තේ මනසෙහි සන්සුන් බව රැකගැනීම නම් මෙතරම් විච්චූරණ මන්දැයි යමකුට අසන්නට හැකියාව ඇත. එම පැනය වර්තමානයට ඉතා අපූරුවට සබැඳේ. තම ආගමෙන් කියවෙන බොහෝ කරුණු දැන් දැන් මිනිස්‌ සිත් සතන් තුළින් ගිලිහී ගොස්‌ ඇති බව විපරිණාමය වෙමින් පවතින මේ සමාජය විග්‍රහ කිරීමෙන් පැහැදිලි වේ.

මනසෙහි පරිණාමය ක්‌ෂණිකව සිදු වන්නක්‌ නො වේ. සුබදායි වෙනසකට වඩා අසුබවාදී වෙනසකට මනස පෙරළෙන්නට ගත වන කාලය ඉතා අඩු ය. දිගුකාලීනව පුරුදු පුහුණු වූ මනසකට සමාජ පෙරළීම් හමුවේ නො සැලී සිටිය හැකි වුවත් දැන් දැන් සිදු වන විවිධ පෙරළීම් හමුවේ වත්මන් බෞද්ධයන් කෙතරම් කැළඹිලිසහගත ද යන්න ඔවුන් යම් යම් සිදුවීම්වලට දක්‌වන ප්‍රතික්‍රියා අනුව පැහැදිලි වේ. සියලු අන්තගාමී ආගමික කල්ලි මේ සමාජය රැගෙන යන්නේ විනාශය කරා බව සියුම් ව මේ සිදුවීම් විග්‍රහ කරන්නකුට පැහැදිලි වෙයි.

සුබදායි පරිසරයක්‌ පවත්වාගැනීමට මනසෙහි සන්සුන් බව විශාල පිටිවහලක්‌ බව අමුතුවෙන් පැවසිය යුතු නො වේ. සන්සුන් මනස විද්‍යාඥයකුට ද අත්‍යවශ්‍ය සාධකයක්‌ වෙයි. චිත්ත ඒකාග්‍රතාව ලබා දෙන ආගමක්‌ වේ නම් එය සමාජයේ ඕනෑ ම යහපත් කටයුත්තක්‌ සාක්‌ෂාත් කරගැනීම සඳහා ද ආශිර්වාදයකි. එනිසා ආගම එහි අන්තර්ගත හරයට අනුකූලව, බුද්ධිමත්ව, අවිහිංසාවාදී ව පරිශීලනය නො වේ නම් එතන බිහි වන්නේ සමාජ ප්‍රගමනයට අනුචිත වටපිටාවක්‌ බව අප වටහාගත යුතු ය.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Thursday 5 September 2019

විදුපත්ඉරුව
20.01.2016

පසුගිය අවුරුද්දේ එක්‌තරා වැඩමුළුවකට සහභාගී වීමට සිදු වූ අතර එහි දී ද කතාබහට ලක්‌ වූයේ ස්‌වාභාවික අනතුරුවලට මුහුණපාන මිනිසුන් ගේ ම අභිවෘද්ධිය උදෙසා ගත යුතු ක්‍රියාමාර්ග සහ සංවිධානය විය යුතු ආකාරය පිළිබඳවයි. එය වඩා සාර්ථක විය යුතු ආකාරයත් බිම් මට්‌ටමට එවැනි ක්‍රියාමාර්ග ගෙන යා යුතු බවත් කෙලෙස එය සිදු කළ යුතු ද යන්නත් එහි දී සංවාදයට තුඩු දුන්නා. එහි දී එයට සහභාගී වූ එක්‌ පුද්ගලයකු ගේ අදහස වූයේ කිසිදු පොදු කර්තව්‍යයක්‌ ශ්‍රමදාන මාර්ගයෙන් සිදු නො විය යුතු බවත් ඒ සියල්ල රජය විසින් ඉටු කරනු ලැබිය යුතු බවත්. එසේ කළ යුත්තේ සියලු රට වැසියන් රජයට බදු ගෙවන බැවින් බවයි ඔහු හේතුව ලෙස පැවසුවේ. එය ප්‍රථම වතාවට එවැනි අදහසක්‌ මා කන වැකුණ අවස්‌ථාව වූ අතර එනිසා ම එය මා අතිශයින් ම විමතියකට ද කලකිරීමකට ද පත් කරන්නක්‌ ද වුණා. කෙසේ වෙතත් එලෙස අදහස්‌ ප්‍රකාශ කළ තැනැත්තා රාජ්‍ය නො වන සංවිධානයක සේවය කරන තැනැත්තකු බවයි පසුව හෙළි වූයේ. මෙවැනි අදහස්‌ සහ එම අදහස්‌ දරන තැනැත්තන් ඇත්තෙන් ම ඉතා භයානක ලෙස අප සමාජයට හානියක්‌ කරන බවයි මගේ අදහස. එපමණක්‌ නො වේ. ජාත්‍යන්තරය හා ඔවුන් නිරතුරු ගැටෙන බැවින් ජාත්‍යන්තරයට ගෙන යන්නේ ද ඔවුන් ගේ මෙවැනි විකෘත අදහස්‌. එය සැම විට ම රටෙහි පොදු දැක්‌ම නො වුවත් ජාත්‍යන්තරයේ එවැනි දුර්මතයන් පොදු මත ලෙස පිළිගැනෙන්නට එනිසා ම බොහෝ ප්‍රස්‌ථා සැලසෙනවා.

මා කුඩා කාලයේ ගමේ බොහෝ පොදු වැඩ ඉටු වූයේ ශ්‍රමදාන මාර්ගයෙන්. ගමේ වැඩිහිටියන් ගේ එකමුතුව එමගින් පිළිබිඹු වුණා. ගමට පාර කැපුණේත් ශ්‍රමදානයෙන්. පසුව පාරවල් පිරිසිදු කළේත් ශ්‍රමදානයෙන්. පාසලේ මෙන්ම පන්සලේ සිදු කළ බොහෝ කාර්යයන්, පින්කම් සිදු වූයේත් ශ්‍රම දායකත්වයෙන්. දෙන්නට පුරුදු පුහුණු වූ ශ්‍රී ලාංකිකයන් සිය ශ්‍රමයත් ඒ අයුරින් පොදු වැඩ සදහා දෙන්නට පුරුදු වී සිටියා. එපමණක්‌ නො වේ. පෞද්ගලික වැඩ සිදු වුණේත් මේ ආකාරයෙන් මයි. ගොයම් කයිය වැනි කුඹුරු කර්මාන්තයේ විවිධ අවස්‌ථා ගමේ මිනිසුන් ගේ දායකත්වයෙන් තමයි සිදු වුණේ. එනිසා වැඩි අපහසුවකින් තොර ව ගමේ බොහෝ කාර්යයන් ඉටු කරගැනීමට හැකි වුණා. සුළු පරිමාණයේ පොදු වැඩ කටයුතු, පවතින රජයෙන් සිදු වන තුරු බලා සිටීමක්‌ එකල දක්‌නට තිබුණේ නැහැ. මහා පරිමාණයේ කටයුතුවලට පමණයි රජයේ අනුග්‍රහය පැතුවේ. ශ්‍රමදානය අප නො සිතන ලෙස ගමෙහි එකමුතුව වගේ ම අයකු ගේ අමනාපය ද අමතක කරවන ඉතා කදිම මනෝවිද්‍යාත්මක මෙන්ම සමාජ විද්‍යාත්මක සන්දර්භයක්‌ බව වර්තමානයේ බොහෝ දෙනකුට නො වැටහීම ඉතා කණගාටුවට කරුණක්‌.

ගමේ පොදු ප්‍රශ්නවලට පිළිතුරු, එකමුතු වූ ගමේ සමාජය පොදුව එක්‌ ව සෙවූ අතර එනිසා ඉතා සාර්ථකව ගැටලු මැඩපවත්වන්නට ඔවුනට හැකි වුණා. ගමේ වැඩිහිටියන් තම තමන් ගේ ජීවිත අත්දැකීම් තුළින් අනාගතය දුටු අතර බොහෝ කාර්යවල දී පෙරමුණ ගත්තා. පොදු වැඩවල දී ජවය සැපයුවේ ගමේ තරුණ පිරිසයි. ඔවුන් ගේ සහභාගිත්වයේ අරමුණ ජවය සැපයීම ම පමණක්‌ නො වෙයි. අනාගත නායකත්වය සදහා ඔවුන් වැඩිහිටියන් ඇසුරෙන් පුරුදු පුහුණු වුණේත් මෙවැනි පොදු වැඩවලට සහභාගී වීමෙන්. එනිසා අග්‍රගණ්‍ය වූ ප්‍රත්‍යක්‌ෂ වූ අතීත දැනුම අනාගත පරම්පරාවට සම්ප්‍රේෂණය කරන්නට අපේ මුතුන් මිත්තන්ට ආයාසයකින් තොර ව හැකි වුණා. ජීවිත අත්දැකීම් ලබාගන්නටත්, අවවාද අනුශාසනා ලබන්නටත් කුඩා දරුවන්ට මෙවැනි ස්‌ථාන තෝතැන්නක්‌ වුණා. "ශ්‍රමදාන" සංකල්පය පැරැණි ඉතා වටිනා සංකල්පයක්‌ වන්නේ සියල්ලන් ගේ ම අදහස්‌ සදහා අවස්‌ථාවක්‌ මෙන්ම වඩාත් සුදුසු ම පිළිතුරට, විකල්පයට, ක්‍රියාවලියට එමගින් ඉඩ ලැබෙන බැවින්. වඩාත් උචිත සංකල්ප බිහි වන්නට අගනා සාරභූමියක්‌ එමගින් බිහි වුණා.

වර්තමානයේ විද්‍යා ලෝකය තුළත් විවිධ විද්‍යාත්මක ගැටලුවලට එක්‌ ව පිළිතුරු සෙවීම වඩාත් ප්‍රචලිත වෙමින් පවතින බවයි පෙනෙන්නේ. විද්‍යා පර්යේෂණයක්‌ කළත් එයට ද බහු විෂයාත්මක ප්‍රවේශයක්‌ ලබා දීම සදහා බොහෝ විද්‍යාඥයින් උත්සුක වන බවයි පෙනෙන්නේ. බහු විෂයාත්මක ප්‍රවේශය විද්‍යාත්මක ගැටලු විසඳීමේ දී ඉතා සාර්ථක වී තිබෙනවා. සමහර ක්‌ෂේත්‍රවල දී බහු විෂයාත්මක ප්‍රවේශය අත්‍යවශ්‍ය වනවා. ඉතා සරල උදාහරණයක්‌ වන්නේ පුරාවිද්‍යාත්මක පර්යේෂණයි. තවත් එවැනි ක්‌ෂේත්‍රයක්‌ වන්නේ අධිකරණ විද්‍යාව. එහි දී බොහෝ විද්‍යාත්මක විෂයන්වල සහයෝගය අත්‍යවශ්‍ය වනවා. බහු විෂයාත්මක ප්‍රවේශය මගින් පටු අදහස්‌ ඉතා පුළුල් ලෙස විග්‍රහ කරවීමට අවස්‌ථාව එළඹෙන අතර එමගින් වඩාත් සුදුසු සහ නිවැරැදි තීරණ සදහා අවස්‌ථාව උදා වීම එහි ඇති විශේෂ වාසියක්‌.

මේ සැම අවස්‌ථාවක දී ම සැම ගේ අදහස්‌ උදහස්‌ නිති සාකච්ඡාවට බඳුන් වනවා. අභියෝගයට ලක්‌ වනවා. එනිසා සාර්ථක බව සැම විට ම ඉතා ළං වනවා. බහු විෂයාත්මක ප්‍රවේශයක දී එකිනෙකා ගේ අදහස්‌ ඉතා වැදගත් වන්නේ එබැවිනුයි. වඩාත් සුදුසු අදහස්‌ සහ තීරණ ගැනීම සදහා තම අදහස්‌ ප්‍රකාශ කිරීම ඉතා වැදගත්. විද්‍යාත්මක සාකච්ඡාවල දී අප බොහෝ දෙනකු තම අදහස්‌ ප්‍රකාශ නො කරන බවයි පෙනෙන්නේ. එය රටේ සංවර්ධන ප්‍රගමනයට කරන අසාධාරණයක්‌ බවයි හැඟෙන්නේ. තම ජීවිත කාලය තුළ දී අයකුට බොහෝ ඉතා වටිනා අදහස්‌ පහළ විය හැකියි. නමුත් එම අදහස්‌ ක්‍රියාත්මක කිරීම අයකු ගේ ජීවිත කාලයේ දී කෙසේ වත් සාර්ථක කරගැනීමට තනි ව හැකි වන්නේ නැති වන්නට පිළිවන්. අදහස්‌ ප්‍රකාශනය, වටිනා අදහස්‌ ක්‍රියාත්මක කළ හැකි අයකුට හෝ කණ්‌ඩායමකට හෝ දක්‌වන සහයෝගයක්‌. අප සමග ම වටිනා සංකල්ප වැළලී යැමට ඉඩ නො දිය යුතුයි. සංකල්ප අප ගේ වුවත් ඒවා ක්‍රියාත්මක කළ හැකි අයකු හෝ කණ්‌ඩායමක්‌ හෝ වෙයි නම් වැදගත් වන්නේ එයයි. කවුරු කෙසේ ක්‍රියාත්මක කළත් රටට හෝ ලෝකයට හෝ වැදගත් වන්නේ නම් එයයි අවශ්‍ය කරන්නේ.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Wednesday 4 September 2019

විදුපත්ඉරුව
30.09.2016


පශ්චාත් ආපදා කළමනාකරණය ගැන පහුගිය මැයි මාසේ සිට ඉතා පුළුල් ව සහ සංකීර්ණ ව බොහෝ අය කථා බහට ලක්‌ කළා. පසුගිය වාරවල මෙන්ම මෙවරත් නිසි ප්‍රතිපත්තියක්‌ සහ කාර්යක්‌ෂම වැඩපිළිවෙළක්‌ සකස්‌ වී නො තිබීම ඇත්තෙන් ම අප සැවොම කණගාටුවට පත් කරන කරුණක්‌. පසුගිය කාලය තුළ දී ම (පසුගිය දශක තුන ගනිමු) ස්‌වාභාවික සංසිද්ධීන් නිසා ආපදාවන් බොහොමයකට ශ්‍රී ලංකාව වරින් වර හසු වුණා කිව්වොත් නිවැරැදියි. ඒ අතර නාය යැම් ආපදා ප්‍රමුඛයි. එයට අමතරව ගංවතුර, සුළිසුළං පමණක්‌ නො වෙයි, නියඟය ද අප රට ඉතා දුෂ්කර තත්ත්වයකට අද දැම්මා කියන එකට ඔබ කවුරුත් එකඟ වේ වි. එක්‌ වරක්‌ පමණක්‌ සිදු වුණත් 2004 සිදු වූ සුනාමි ෙ€දවාචකය අප රටේ ආපදා කළමනාකරණය කෙරෙහි ගැඹුරෙන් සහ වගකීමෙන් යුතු ව බලන්නට සියලු පාර්ශ්වයන් පෙලඹවූ බව සත්‍යයක්‌. එහෙත් අප කවුරුත් හොඳින් දන්නා පරිදි මේ සියල්ල කිසියම් ස්‌ථානයක නතර වී ඇති බවත් නැවත නැවත පසුපසට සහ ඉදිරියට යමින් හෝ එක තැනක කැරකෙමින් සිටින බවත් තමයි මට නම් හැඟෙන්නේ. කෙසේ වෙතත් මෙවර ලැබුණු අධික වර්ෂාපතනය නිසා, විශේෂයෙන් ම කෑගල්ල සහ රත්නපුර දිස්‌ත්‍රික්‌කවලට බලපෑ නාය අනතුර සහ ගංවතුර උවදුර, පශ්චාත් ආපදා කළමනාකරණය ගැන උනන්දුවෙන් සිතා බැලීමට අවස්‌ථාවක්‌ ලබා දුන්නා යෑයි කිවොත් නිවරැදියි.

අනෙකුත් ආපදා හා සැලකීමේ දී අධික වර්ෂාපතනය හේතු කොටගෙන නිතර නිතර සිදු වන නාය යැම් ආපදා මෙරටට සිදු කරන හානිය සුළුපටු නැහැ. එනිසා දෛනික රාජකාරිවලට මෙන්ම මෙරටෙහි ආර්ථිකයට එල්ල කරන්නේ දැඩි බලපෑමක්‌. සැම නාය යැමේ ආපදාවක්‌ සමග ම කිසියම් ප්‍රමාණයකට ජනතාව එම ස්‌ථානයෙන් ඉවත් කරන්නට සිදු වීම විශාල අභියෝගයක්‌ වාගේ ම මෙරට මුහුණපානා ක්‌ෂණික වූත් අවිනිශ්චිත වූත් එහෙත් අනිවාර්යයෙන් කළ යුත්තක්‌. මේ ඉවත් කිරීම්වල දී නාය උවදුරු ප්‍රබලව දැනෙනා ස්‌ථානවල පදිංචි ජනතාව ඔවුන් ගේ ආරක්‌ෂාව සදහා ස්‌ථිරව එම ස්‌ථානවලින් ඉවත් කිරීමට සිදු වනවා. ඒ වාගේ ම තාවකාලිකව කළ යුතු ඉවත් කිරීම් වුවත් අධික වියදම් සහිත කටයුත්තක්‌. එනිසා මේ සැම අවස්‌ථාවක දී ම ඉතා කල්පනාකාරීව සහ සුපරීක්‌ෂාකාරීව තීන්දු තීරණ ගැනීමට සිදු වන බව අප වටහාගත යුතුයි. පළමුව වැදගත් වන කරුණ වන්නේ ජනතාව ගේ ජීවිත ආරක්‌ෂා කිරීමයි. නාය යැම් ආපදාවල දී, නාය යැමේ අවදානම ඇතැයිs කිසියම් හෝ සැක සංකාවක්‌ පැනනගින්නේ නම් ඒ සදහා ගත හැකි සුදුසු ම ක්‍රියාමාර්ගය වන්නේ ජනතාව එම ස්‌ථානවලින් වහා ම ඉවත් කිරීමයි.

තාවකාලික ඉවත් කිරීම්වල දී කිසියම් ප්‍රමාණයකට පරිපාලනමය තීරණ ගැනීමේ පහසුවක්‌ වන්නේ නාය යැමේ අනතුර පහ ව ගිය පසු (මධ්‍ය අවදානම් අවස්‌ථාවල දී) නැවත ජනතාව ඔවුන් ගේ සුපුරුදු ස්‌ථානවලට යෑවිය හැකි බැවින්. එහෙත් මේ තත්ත්වය හාත්පසින් ම වෙනස්‌ වන්නේ ස්‌ථිර ඉවත් කිරීම්වලදී. මේ තත්ත්වයට ලක්‌ වන සැම අයකුට ම තමා ගේ සුපුරුදු වාසස්‌ථානවලින් සදහට ම ඉවත් වන්නට සිදු වීම එම ජනතාවට එක්‌තරා ආකාරයකට විශාල මානසික පීඩාවක්‌ ඇති කරන බව නොඅනුමානයි. විනාශ වූ හෝ නැවත පදිංචි වීමට නොහැකි වූ හෝ අවස්‌ථාවල දී නව වාසස්‌ථාන ලබා දෙන තෙක්‌ ඔවුනට සිදු වන්නේ තාවකාලික කඳවුරුවල ජීවත් වන්නටයි. පවුලක්‌ ලෙස තනි ව ජීවත් වූ ජන කොටසකට මහා පිරිසක්‌ සමග කිසියම් කාලයක්‌ හෝ එක්‌ ව ජීවත් වීමට සිදු වීම විවිධ සමාජමය ගැටලු ඇති කරන්නට හේතු වන බව අමුතුවෙන් විග්‍රහ කරන්නට අවශ්‍ය නැහැ. එපමණක්‌ නො වේ. මේ කඳවුරු ජීවිතය නිසා ආපදාවට ලක්‌ වූවන් ගේ ආර්ථික ස්‌ථාවරත්වය කෙරෙහි විවධ ගැටලු පැනනගින බව අප වටහාගත යුතුයි. පශ්චාත් ආපදා කළමනාකරණය සදහා නිශ්චිත කඩිනම් ව ක්‍රියාත්මක කළ හැකි වැඩපිළිවෙළක්‌ අවශ්‍ය වන්නේ මේ නිසයි. ස්‌වාභාවික සංසිද්ධියක්‌ නිසා මෙලෙස නාය ආපදාවන්ට ලක්‌ වීමේ ස්‌වරූපය දෙආකාර බව පිළිගත යුතුයි. කිසිත් නො දන්නා එමෙන් ම පරිසරයේ දීර්ඝකාලීන ස්‌වාභාවික ක්‍රියා නිසා ඇති වන නාය යැමේ ආපදාවන්ට ලක්‌ වීම ඉතා පැහැදිලිව සාධාරණීකරණය කළ හැකියි. එහෙත් අධි අවදානම් කලාපවල දැන දැන පදිංචි වූවන්, උපදෙස්‌ අවවාද නො තකා තම ඉදිකිරීම් කළ අය සහ උපදෙස්‌ සහ පරික්‌ෂා කිරීම් නො කරගෙන තම වාසස්‌ථාන ඉදි කළ අය කෙරෙහි කෙලෙසක ක්‍රියා කළ යුතු ද යන්න ගැන පැහැදිලි තීරණයක්‌ ගත යුතු ව තිබෙනවා. මන්ද යත් ඔවුන් ගේ නොමනා ක්‍රියා රටේ ආර්ථිකය සහ ජනජීවිතය අවුල් කරන්නට හේතු වන බැවිනි.

අප ලද අත්දැකීම් අනුව වර්තමානයේ සිදු වූ බොහොමයක්‌ නාය යැම් අනතුරුවලට හේතු වී ඇත්තේ මිනිසා ගේ නොමනා ක්‍රියාකලාපයන් බවත් ඒවා අතිශය ආත්මාර්ථකාමී බවත් කිව යුතුයි. බොහෝ විට තම තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමේ දී ස්‌වාභාවික පරිසරය තුට්‌ටුවකට වත් මායිම් නො කර ඇති බව සිදු ව ඇති සමහර ව්‍යසන අධ්‍යයනය කිරීමේ දී පෙනී යන කරුණක්‌. කඳුකර කලාපයේ, විශේෂයෙන් ම දැනට නාය යැම් ආපදා සිදු වේ යෑයි ප්‍රකාශිත කඳුකර දිස්‌ත්‍රික්‌කවල භුමි පරිහරණ රටාව කෙරෙහි ඉතා සුපරීක්‌ෂාකාරී විය යුතු බව මෙවර සිදු වූ ෙ€දවාචකයෙන් වත් ජනතාව සහ පාලකයන් ඉගෙනගත යුතුයි. (එහෙත් අප උගත් පාඩම් කිසිත් නැත). අඩි 3500කට වඩා ඉහළ කඳුකරය මිනිස්‌ බාධා කිරීම්වලට තහනම් වුවත් කඳුකරයේ විවිධ ස්‌ථාන සලකා බැලීමේ දී මේ ස්‌ථාවරය වෙනස්‌ කර වඩාත් සියුම් කරුණු සැලකිල්ලට ගෙන තහනම් කලාප නිශ්චය කළ යුතු ව තිබෙනවා. විශේෂයෙන් ම කඳුකරයේ පිහිටි යම් කන්දක්‌ හෝ කඳුවැටියක්‌ හෝ සැලකීමේ දී එම කන්දේ පහළ සිට කිසියම් උසකින් මෙවැනි සංවේදී කලාප සටහන් කළ යුතුයි. එමෙන් ම මෙවැනි කලාපවල වගා කරනා බව බෝග පිළිබඳව ද ඉතා සැලකිලිමත් විය යුතු අතර කෘෂිකාර්මික ක්‌ෂේත්‍රය හා එක්‌ ව නව නීති රීති මාලාවක්‌ සම්පාදනය කළ යුතු බව මෙහි ලා අවධාරණය කළ යුතු ව තිබෙනවා.

අවදානමට පෙර සූදානම ගැන වෙන ම කතා කළ යුතු වන්නේ එවැනි ලක ලැහැස්‌තිවීම්, ආපදා හේතුවෙන් සිදු වන රටෙහි ආර්ථිකයේ ක්‌ෂණික කඩාවැටීම් වළකාලන්නට මහඟු පිටිවහලක්‌ වන බැවින්.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

  පත්මෙගේ භූ විද්‍යා අන්දර  04 2024 සැප්තැම්බර මස  18 දින විදුසර පුවත්පතේ පල වූ ලිපියකි.  ශ්‍රී ලංකාවේ අවධානය දේශගුණ විපර්යාස කෙරෙහි යොමුවීම...