Wednesday, 12 February 2020


සවි ශක්තියට නැතිවම බැරි යකඩ
This article is originally published on Divaina 12.02.2020


“අඟුරු කකා වතුර බිබී කොළඹ දුවන යකඩ යකා” පුංචි කාලේ අහපු අපි හැමෝටම මතක කවියක්. යකඩ යකා කියන්නේ කෝච්චිය. කෝච්චි හදලා තියෙන්නේ යකඩෙන්. කෝච්චි විතරක් නොවෙයි එදිනෙදා ජිවිතයේ අප නිතර භාවිතාවන බොහොමයක් දේ  නිමයලා තියෙන්නේ යකඩෙන්. එදිනෙදා ජිවිතයට නැතිවම බැරි යකඩ අපට බොහොම වැදගත් වන ලෝකයේ බහුලවම භාවිතා කරන ලෝහයක්.


ලෝහයක් ලෙස යකඩ වල ඇති භූ විද්‍යත්මක පසුබිම කුමක්ද යන්න අපි සොයා බලමු. යකඩ නිස්සරණය කරන්නේ යපස් වලින්. ඉන් අදහස් වෙන්නේ යකඩ අඩංගු ඛනිජ සහිත පස් යන්නයි. කොහොම වුනත් යකඩ, රත්‍රන් සහ රිදී වැනි මූලද්‍රවමය ලෝහ වාගේ අමිශ්‍ර මූලද්‍රව්‍යයක් ලෙස සොබාවික පරිසරයේ මුණ ගැහෙන්නේ නැහැ. සොබාවික පරිසරයේ යකඩ අපට මුණ ගැහෙන්නේ ඔක්සයිඩ, හයිඩ්රෝක්සයිඩ, සල්ෆයිඩ සහ කාබෝනේට වැනි ඛණිජ ලෙසයි. භූ පරිසරයේ හමුවන මොනවද මේ යකඩ අඩංගු ප්‍රධාන ඛණිජ?


හිමටයිට්, මැග්නටයිට්, ගොතයිට්, ලිමොනයිට්, සිඩරයිට්, පයරයිට්, ඉල්මනයිට් යනු යකඩ අඩංගු ප්‍රධාන ඛණිජ වර්ගයි. එයට අමතරව යකඩ අඩංගු වෙන තවත් බොහොමයක් ඛණිජ වර්ග භූ පරිසරයේ තියෙනවා. එම ඛණිජ දිරාපත් වීමෙන් අවසානයේදී හිම්ටයිට් යන ද්විතියික ඛණිජය බවට පත් වෙනවා. හිම්ටයිට් ඕනෑම පරිසරයක හමුවන යකඩ ඔක්සයිඩයක් වන අතර ඉතා පහසුවෙන් හඳුනාගත හැකි ඛණිජයක්. අපි කවුරුත් හොඳින් දන්නා “බොරැල්ල, එහෙම නැතිනම් බොරළු කැට” කියන්නේ මේ හිම්ටයිට් ඛණිජයට. සුදු පැහැති සෙරමික් කැබැල්ලක අතුල්ලා කුඩුවල වර්ණය නිරීක්ෂණයෙන් හිම්ටයිට් බොහොම පහසුවෙන් හඳුනාගන්නට පුළුවන. හිම්ටයිට් කුඩු රතු දුඹුරු පැහැති යි. 


භූ පරිසරයේ ඇති යකඩ ඔක්සයිඩයක් වන මැග්නටයිට් ඛණිජය ද බහුලව හමුවන අවස්ථා ඇත. කාන්දම් කැබැල්ලකට ආකර්ෂණය වීම මෙම ඛණිජයේ ඇති විශේෂත්වයයි. කුඩුවල වර්ණය බොහෝ විට තද දුඹුරු හෝ කළු දුඹුරු පැහැයක් ගන්නවා. මෙය හිමටයිට් වලින් පැහැදිලිව හඳුනාගත හැකියි. මැග්නටයිට් ඛණිජය සාපේක්ෂව තරමක් බරැති ඛණිජයක්. 


යපස් වල යකඩ ඛණිජ වලට අමතරව තවත් සිලිකාමය මැටි ඛණිජත් අඩංගු වෙනවා. යකඩ නිස්සාරණයේදී මෙම සිලිකා ඛණිජ ඉවත් කල යුතු අතර යකඩ ඛණිජයේ බන්ධන කඩා යකඩ ලෝහය වෙන්කර ගත යුතුයි.  මෙම ක්‍රියා දාමය ඔක්සිහරණ ක්‍රියාවලියක් වන අතර ඔක්සිහරණයේ සහයෝගය සඳහා කාබන් රසායනය යොදා ගනී. එමගින් යකඩ ඔක්සයියේ ඇති ඔක්සිජන් ඉවත් කරන්නේ කාබන් ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කිරීමෙනි. මේ සඳහා යපස් ඉහළ උෂ්ණත්වයකට රත්කළ යුතු අතර එම උෂ්ණත්වය සෙල්සියක් අංශක 1538  පමණ වෙයි. ඒ යපස් වල වැඩිපුරම අඩංගු වන්නේ හිමටයිට් වන විටයි. මැග්නටයිට් සඳහා එම උෂ්ණත්වය සෙල්සියක් අංශක 1597  පමණ වෙයි. 


යකඩ නිස්සාරණ ක්‍රියා දාමයේදී අදාළ උෂ්ණත්වය පැමිණි කල යකඩ ඛණිජය ඔක්සිහරණය වී බරැති යකඩ ලෝහය අඩියට බැස වෙන්වන අතර සැහැල්ලු සිලිකාමය පාංශු අපද්‍රව්‍යය යකඩ මිශ්‍රණයේ ඉහලින් පාවෙයි. එම සිලිකාමය පාංශු කොටස් හැදින්වෙන්නේ ‘යබොර’ (slag) ලෙසයි. යබොර අපද්‍රවය ලෙස වෙන්වුවත් ඉතිහාසයේ වාර්තා වන අන්දමට ඒවා වීදුරු පබළු නිර්මාණය සදහා යොදා ගෙන ඇත. ඔක්සයිඩ නොවන යකඩ ඛණිජ භාවිතා කරන්නේ නම් ඒවා පළමුව යකඩ ඔක්සයිඩය බවට පත්කර ගනී. ඒ සඳහාද එම ඛණිජ තදින් රත්කරන අතර ඉන්පසු සාමාන්‍ය ලෙස නිස්සාරණ ක්‍රියාදාමයට යොමු කරයි. 


ලෝකයේ බොහොමයක් රටවල ඉහත කී යකඩ ඛණිජ පැවතියත් මේ සෑම රටක්ම ආර්ථිකමය ආයෝජනයක් ලෙස යකඩ නිස්සාරණය කරන්නේ නැත. ලෝකයේ යකඩ නිස්සාරණය කරන ප්‍රමුඛ රටවල් වන්නේ ඔස්ට්‍රේලියාව, බ්‍රසීලය, චීනය ඉන්දියාව, රුසියාව, දකුණු අප්‍රිකාව සහ යුක්රේනය වැනි රටවල් ය. ශ්‍රී ලංකාවද අතීතයේ යකඩ නිස්සරණය අකර යම් යම් කර්මාන්ත සඳහා භාවිතා කළා පමණක් නොව ලෝක වෙළඳපොළට යකඩ අපනයනය කල රටකි. එවකට ලොව තිබූ ඉතා කදිම යකඩ නිපදවන රටක් ලෙස කීර්තියක් අත්කරගෙන තිබූ බව ඉතිහාසයේ සඳහන් වෙයි. 


ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Thursday, 6 February 2020

ගං පත්ලේ කළු වැල්ලෙන් පෙරා ගන්නා රත්රන්

පත්මෙ ගේ භූ සංචාරිතය; භූ විද්‍යාඥයෙකුගේ සංචාරක සටහන් 5
This article is originally published on Vidusara, 05.02.2020


මහා වංශය ඉතා අපූරු කෘතියක්. සමහරුන් කියනා පරිදි එය පබැඳුමක්. ඇත්ත එහි නොවේය යැයි සැලකෙන්නේ. කෙසේ වෙතත් භූ විද්‍යාඥයෙකු වන මා හට නම් මහාවංශය ඉතා කදිම භූ විද්‍යා තොරතුරැ උකහා ගත හැකි ග්‍රන්ථයකි.  


මහාවංශයේ වැඩි පිටු ප්‍රමාණයක් වෙන් කර ඇත්තේ දුටුගැමුණු රජතුමා වෙනුවෙන්. දුටු ගැමුණු රජ එළාර පරාද කොට අනුරාධපුරයේ රජ වූ පසු ඔහුගේ ඊළඟ කාර්යය වූයේ රුවන්වැලි සෑය සාදා නිමා කිරීමයි. ඒ සඳහා රජු ජනයා පෙලීමට කැමැත්තක් නොදැක් වූ බවයි මහාවංශයේ සඳහන් වෙන්නේ. ඒ අතරේ අනුරාධපුරයට ඊසාන දිගින් එතැන් සිට යොදුන් තුනක් පමණ වූ දුරකින් පිහිටි “ආචාර වීදි” (ආකර විත්ති) නම් වූ ගමෙහි රන් නිධියක් මතු වූ බව මහාවංශය පවසයි. එහි වූ ජනයා වියතක් පමණ විශාල වූත් මෙම රන් බිජු (කැබලි) රජ හමුවට පමනුවා ලු බව මහාවංශයේ විසි අට වන පරිච්චේදයේ කිය වේ. 


ඒ ශ්‍රී ලංකවේ රන් නිධි පිළිබඳව කියවෙන පළමු ඓතිහාසික සාක්ෂිය බව මගේ හැඟීමයි. ඒ කොහොම වුවත් මින් පෙනී යන කරුණ නම් ශ්‍රී ලංකාව මුතු මැණික් යකඩ තඹ වලින් පමණක් නොවෙයි රන් වලින් පවා පොහොසත් ව තිබු බවයි. එහෙම නම් ඇයි දැන් රත්තරන් හම්බ වෙන්නේ නැත්තේ?


වසර 2002 දී මා සේවය කලේ රත්නපුර ප්‍රදේශයේ. ඒ මැණික් සම්පත හා බැඳුනු පර්යේෂණයක් සිදු කරමින්. ඒ පිළිබඳව විස්තර අප වෙනත් වතාවක කතා කරමු. මේ පර්යේෂණය සම්බන්ධයෙන් අවශ්‍ය කරුණු කාරණා ගොනු කර ගැනීම සඳහා බලන්ගොඩ කල්තොට ප්‍රදේශයේ ක්ෂේත්‍ර චාරිකාවක නිරත වූ අතර, ඒ සම්බන්ධව බොහෝ කරුණු කාරණා ගොනු කර ගැනීමට අපහට හැකි විය. කල්තොට ප්‍රදේශය බොහෝ සොබා සම්පත් වලින් අනූන ප්‍රදේශයක් බව එහිදී අපහට පසක් විය.  එක පසකින් ගලා යන වලවේ ගඟ එක් අවස්ථාවකදී හෙලකට ඇදහැලෙමින් ඉතා මනරම් අලංකාර දුවිලි අල්ල නිර්මාණය කරයි. මෙහි ඇති විශේෂත්වය වන්නේ බොහෝ දිය ඇලි අප නිරීක්ෂණය කරන්නේ එය පහල සිට වුවත් මේ සුවිශේෂී දිය අල්ල ඉහල සිට නැරඹීමේ අවස්ථාව හිමි වීමයි. 


මිණි කැට දියයට හංගා යන තවත් එක ගංගාවක් වන්නේ වලවේ ගඟයි. බොහොමයක් ප්‍රදේශවාසින් ගංගාවේ ඉවුරේ පතල් කැපීමේ කාරියේ නිරත වී සිටින බව අප කල සංචාරයේ දී දැක ගන්නට හැකි විය. සීතල ජල පහරේ පහස වින්ද පසු බඩකට පුරා කන්නට වාඩි බතක් ද සරි කර දෙන්නට තරම් දූවිලි ඇල්ලට ඉහලින් වූ ප්‍රදේශයේ මෙම පතල් කරනා ජනයා අපහට මහත් කාරුණික විය. මහදවාලේ තැනින් තැන ඉල්පී තිබු ගල් කුට්ටි මත රඟන්නට තරම් නොබිය වූ දියබල්ලන් දෙදෙනෙකු දැක ගැනීමේ වාසනාව ද එහිදී අපට හිමි විය. ඒ වසර විස්සකට පමණ පසු වීමත් දහවලේ ඔවුන් දැකීමත් ඇත්තෙන්ම පුදුම දනවන සුළු විය. 


“මහත්තයෝ අපි ඉතින් කීයක් හරි හොයාගන්නේ මේ කරුමාන්තේ කරලා තමයි” කුඩා රෙදි පැසක බහා තිබු මැණික් ගල් කිහිපයක් ගෙනහැර පාමින් තම හඬ අවදි කලේ පතලේ ප්‍රධානියායි. ඔහුගේ අතේ කුඩා ප්‍රමාණයේ නිල් සහ ගෙවුඩ ගල් කිහිපයක් විය. විශාල එකක් වූ අතර එහි පලුද්දක් තිබුණි. ඒ අතර ඔවුන් කියා සිටියේ එම පලුද්ද නොතිබුයේ නම් ඔවුන් ට විශාල මුදලක් ලබා ගත හැකිව තිබු බවයි. ඉතින් වෙන මොනවද හම්බ වෙන්නේ?


“ඇයි මහත්තයා දන්නේ නැද්ද, මේ ගඟේ රත්තරනුත් හම්බ වෙනවා නේ” ඉන් මා පුදුමයෙන් පුදුමයටත් මහත් සතුටටත් පත් වූයේ භූ විද්‍යාඥයකු ලෙස කලක පටන් මගේ හිතේ තිබූ ගැටලුවකට පිළිතුරු ලැබීම හේතුවෙන්.  “ගඟේ පහලට වෙන්න මිනිස්සු රත්තරන් ගරනවා මහත්තයෝ”.


ප්‍රධාන පාරෙන් ගොස් ගඟ මුණ ගැහෙන ඉස්සව්ව තෙක් ගිය අපහට ඒ කරුණ මනාව පසක් වූ අතර මේ පිලිබඳ තවත් කරුණු දැන ගැනීමේ අටියෙන් අපි ඔවුන් වෙතට ලං වූයෙමු. අප එහි යන නියා දැන් ගත් ඔවුන් (පිරිමි)  සියලු දෙනා හිස් ලූ ලූ අත දුවන්නට වූ අතර අප “දුවන්නට එපා” යැයි කී කල ඔවුන්ගේ වේගය තවත් වැඩිවිය. කෙසේ වෙතත් ගං ඉවුර වෙතට පැන ගත් අපට හමු වූයේ ගඟේ රෙදි සෝදමින් සිටිනා කාන්තාවන් පමණකි. “ එයාලා හිතලා තියෙන්නේ මහතැන්ලා සංස්ථාවෙන් කියලා ඒකයි දිව්වේ”. ටික වෙලාවකින් අපගෙන් කරදයක් නොමැති බව දැනගත් ඔවුන් අප වෙත පැමිණි අතර ඔවුන් සතු වූ රත්තරන් අපට පෙන්විය.

“කළු පාට වැල්ලක් තියෙනවා ගඟ පතුලේ. ඒ වැල්ලත් එක්ක තමයි රත්තරන් තියෙන්නේ. ඒවා හරියට වී පොතු වගේ” එක අයෙකු තමා සතු වූ රත්තරන් පෙන්නමින් විස්තර කරන්නට විය. කැරට් විසි හතරේ පිරිසිදු රත්තරන් වලවේ ගගෙන් හම්බවිම ම මොන තරම් අගනේ ද. මේ පිලිබඳ තවත් කරුණු සෙවීමේදී පැහැදිලි වූයේ දිනකට මංචාඩි දෙකත් තුනත් අතර ප්‍රමාණයක් මේ මිනිසුන් ගරා ගන්නා බවයි. හාල් ගරනා නෑම්බිලිය රැගෙන එන ඔවුන් එමගින් ගං පත්ලේ වූ කළු වැල්ල ගෙන එය නැම්බිලියේ ලා ගරා රත්තරන් වෙන් කර ගනී. එය කොතරම් සරල ක්‍රියා දාමයක් ද?


ශ්‍රී ලංකේය භූ තලයේ රත්තරන් නිර්මාණය වී ඇත්තේ නිධිගත වීමෙන් නොව පවතින විපරිත පාෂාණ ගොනුවේ තැන තැන විසිරී පැතිරී ය. එනිසා නිධියක් ලෙස ලබා ගැනීමට නොහැකි වී ඇති අතර පර්යේෂණ තුලින් පවා තාමත් රත්තරන් නිධියක් පිලිබඳ ඉඟියක් ලැබී නොමැති බවයි පැහැදිලි වෙන්නේ. කෙසේවෙතත් විසිරුණු රත්තරන් ඇති පාෂාණ දිරා පත් වීමේ දී පසට රත්තරන් එකතුවන අතර ඛාදනය මගින් ජලපහරවලට එකතු කෙරේ. වලවේ ගඟේ පමණක් නොව කැළණි, කළු සහ මහවැලි ගඟේ ද මෙලස රත්තරන් හමුවන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තුමේන්තුවේ මහාචාර්ය නවරත්න මහතා විසින් සිදුකල අධ්‍යන වලින් පෙන්වා දී තිබේ. රත්නපුර ප්‍රදේශයේ මැණික් පතල් වලින් ද  මෙලස රත්තරන් ලැබෙන බව පසුගිය කාලයේ තොරතුරු වාර්තා වී අත. 


කොහොම වුනත්, රන් පිළිබඳව සිදුකල ඇති පර්යේෂණ ප්‍රමාණවත් නොවන බවයි මාගේ හැඟීම වන්නේ. දිනක රන් සෙවීම සඳහා වලවේ ගඟේ ගත කරන කාල සීමාව ආර්ථික අතින් කොතරම් වටනේ ද යන්න සොයා බැලිය යුතුව ඇත. ඒ සඳහා විධිමත් පර්යේෂණ සිදුකර ආර්ථිකමය වශයෙන් ගංගා පතුල හැරීම ප්‍රායෝගිකදැයි සොයා බැලිය යුතුය. මන්ද යත් සැමවිටම ගංගාවේ කළු වැල්ලේ ඔය කියනා රන් හමු නොවන බැවිනි.  එපමණක් නොව එය ද තවත් පාරිසරික ගැටලුවකට මුල් පිරීමක් ම විය හැක.



ආචාර්ය පත්මකුමාර ජයසිංහ


පාවෙන ටයිටේනියම්

This article was originally published on Divaina, 05.02.2020.

ගුවන් යාන නිෂ්පාදනය ගැන කතා කරන කොට අමතක කළ නොහැකි ලෝහය තමයි ටයිටේනියම් කියන්නේ. ටයිටේනියම් සුදු පැහැතියි, ඒ වාගේම අපුරු දිලිසීමක්‌ ඇති සැහැල්ලු ලෝහයක්‌. ඒ සැහැල්ලු භාවය තුළ ඇති ශක්‌තිය, අධික උෂ්ණත්වයට ඔරොත්තු දීමේ ගුණය, ඉරිතැලුම් සහ පිපිරුම්වලට අඩුවෙන් ලක්‌ වීමේ ගුණය, සහ මළකඩ නොකෑමේ ගුණය යනා දී ගුණ කිහිපයක්‌ හේතුවෙන් ගුවන් යානා නිෂ්පාදනයේ ඉතා වැදගත් කාරියක්‌ මේ ටයිටේනියම් ලෝහය කරනා බව සැබෑවකි. මේ කියන ලෝහය ගුවන් යානා නිර්මාණයට පමණක්‌ නොව අභ්‍යවකාශ යානා නිෂ්පාදනයට, වෙඩි නොවදින ආරක්‌ෂක ඇඳුම්, නාවික යාත්‍රා සහ මිසයිල වැනි යුද උපකරණ සෑදීම සඳහා ද යොදා ගන්නා බව කියෑවේ.
 
 ටයිටේනියම් ලෝහය ලබා ගන්නේ කොහොමද? භූ විද්‍යාත්මකව සැලකූ කල ටයිටේනියම් ලෝහය මූලද්‍රව්‍යක්‌ ලෙස ඛනිජයේ ඇත්තා වූ ඛනිජ වර්ග ගණනාවක්‌ ප්‍රධාන වශයෙන් භූ පරිසරයේ හමුවේ. ඉන් කිහිපයක්‌ වන්නේ, ඇනාටේස්‌ (anatase), බ්රූකයිට්‌ (brookite), ඉල්මනයිට්‌ (ilmenite), රූටයිල් (rutile) සහ ටයිටනියම් (titanite). ටයිටේනියම් නිස්‌සාරණය සඳහා ලෝකයේ බහුල ලෙසම භාවිතා කරන්නා වූ ඛනිජ වන්නේ ඉල්මනයිට්‌ සහ රූටයිල් යන ඛනිජ ද්විත්වයයි. බහුලත්වය සැලකූ කල නව වැනියට ස්‌ථානයට මේ ඛනිජය පත්වන අතර ලෝහ අතුරින් හත්වැනියට බහුල ලෝහය වෙයි. පසෙහි 0.5% සිට 1.5% දක්‌වා පරාසයක මේ ලෝහය තිබිය හැකි බව පර්යේෂණ මගින් සනාථ කර ඇත. ශ්‍රී ලංකාව තුළ නම් ටයිටේනියම් ලෝහය අඩංගු වන්නාවූ ඛනිජ වර්ග දෙකක්‌ ඇත. ඒ ඉල්මනයිට්‌ සහ රූටයිල් වේ.
 
 ඔබට මතක ඇති කුඩා කල ඔබ එකතු කළ කළු පාට වැල්ල, ඒ වැස්‌ස හමාර වූ පසු වැසි දියෙන් සේදි යන වැලි සමග එහි මතුපිට එකතුවන කළු පාට වැල්ල. එහි ඛනිජ වර්ග ගණනාවක්‌ම ඇති අතර එහි ඇති එක්‌ ඛනිජ වර්ගයක්‌ වන්නේ ඉල්මනයිට්‌ය. ඉල්මනයිට්‌ ඛනිජය කළු පැහැති ලෝහමය දිලිසීමක්‌ ඇති ඛනිජයක්‌ වන අතර රූටයිල් ගැඹුරු පැහැ දිලිසුමක්‌ පෙන්වයි. මේ දෙකම ඔක්‌සයිඩ වෙයි. ඉල්මනයිට්‌ යනු ටයිටේනියම් ඔක්‌සයිඩය හා මිශ්‍ර වූ යකඩ ඔක්‌සයිඩයයි. එතකොට රූටයිල් කියන්නේ ටයිටේනියම් ඔක්‌සයිඩයයි. මෙම ඛනිජ බොහොමයක්‌ අගනේය පාෂාණවල අඩංගු වන බව සොයා ගෙන ඇති අතර එනිසාම විපරිත පාෂාණ බොහොමයක්‌ මුණ ගැහෙන බව තහවුරු කළ හැක. ඉහත කී ඛනිජ අඩංගු ටයිටේනියම් නිධි ලෝකයේ ඔස්‌ටේ්‍රලියාව, කැනඩාව, චීනය, ඉන්දියාව, නවසීලන්තය, මොසැම්බික්‌ රාජ්‍යය, යුක්‌රේනය වැනි රටවල ඇත්තේය. පාෂාණවල ඇති මෙම ලෝහ ඛනිජය ජීර්ණයට ප්‍රතිරෝධිතාවක්‌ දක්‌වන නිසාත් තරමක්‌ අධික බරකින් යුක්‌ත නිසාත් පාෂාණ ජිර්ණයේ ප්‍රතිඵලයක්‌ ලෙස පස්‌වලට එක්‌ වී, ඛාදනය නිසා බොහොම පහසුවෙන් ඇළ, දොළ, ගංගාවලට එකතු වී නිම්නයන් කරා ගමන් කරයි. එහිදි ඇතිවන අවසාදනය නිසා නිධි ගත වන මෙම ලෝහ ඛනිජ තැන්පතු ද්විතියික තැන්පතු ලෙස හැඳින් වේ. බොහෝවිට මෙවැනි නිධි වෙරළෙහි ද හමුවේ. ශ්‍රී ලංකවේ පවතින ප්‍රධාන ඉල්මනයිට්‌ නිධිය ඇත්තේ පුල්මුඩේ මුහුදු වෙරළෙහිය.
 
 ඉහත කී ඵල ප්‍රයෝජනවලට අමතරව, ටයිටේනියම් තීන්ත නිෂ්පාදනයේ ද වැල්ඩින් කටයුතුවලදීද, කඩදාසි කර්මාන්තයේ දී ද, කාර් සහ මෝටර් සයිකල් නිෂ්පාදනයේ දීද , ආභරණ නිර්මාණයේ දීද සෞඛ්‍ය ක්‌ෂේත්‍රයේ දීද යොදා ගනී. විෂ රහිත මූලද්‍රව්‍යයක්‌ වන ටයිටේනියම් සත්ත්ව දේහ තුළ දී අනතුරුදායක තත්ත්වයක්‌ ඇති නොකළ ද ශාක ප්‍රජාව තුළ මේ ජෛව නිධි ගත වීමට නැඹුරුතාවයක්‌ දක්‌වයි.\

 ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Thursday, 30 January 2020



පුරාවිද්‍යා පර්යේෂණ සඳහා යාවත්කාලින භූ විද්‍යාත්මක දැනුම යොදා නොගැනීම

පත්මෙ ගේ භූ සංචාරිතය; භූ විද්‍යාඥයෙකුගේ සංචාරක සටහන් 3

කිරිගරුඬ පාෂාණය එහෙමත්  නැතිනම් ‘මාබල්’ (Marble or Crystalline limestone) ගැන අපි පසු ගියේ සතියේ කතා කළා. ඔබ මෙම පාෂාණය දැක ඇති බවට කිසිම සැකයක් නැහැ. අනුරාධපුරේ ගිහින් ඇත්නම්, ඔබ සමාධි බුද්ධ ප්‍රතිමාව වැඳ පුදා ගෙන ඇති. සමාධි බුද්ධ ප්‍රතිමාව නිර්මාණය කරලා තියෙන්නේ කිරිගරුඬ පාෂාණයකින්. එපමණක් නොවෙයි බොහෝ ස්ථාන වල පඩි පෙළවල්, සඳ කඩ පහනවල් වැනි අලංකරණයක් අවැසි තැන්වලට මෙම කිරිගරුඬ පාෂාණය යොදා ගෙන තියෙනවා. ශ්‍රී ලංකවේ පුරාවිද්‍යාත්මක ස්ථාන බොහොමයක මේ ආකාරයේ නිර්මාණ අපිට දැක ගන්නට පුළුවන්. මගේ හැඟීමේ හැටියට ධවල පැහැති මෙම පාෂාණය අතීතයේ ගෞරවනීය මෙන්ම උසස් තැන්වලට භාවිතා කල පාෂාණයක්.

කිරිගරුඬ වාගේම වූ තවත් පාෂාණයක් තමයි නීල ගරුඬ පාෂාණය. නිල්කොල පැහැයක් තමයි ඇත්තේ. කිරිගරුඬ වාගේම නීල ගරුඬ පාෂාණයත් අතීතයේ උසස් සහ ගෞරවනීය නිර්මාණ සඳහා යොදාගෙන තියෙනවා. නමුත් මෙම පාෂාණය බහුලව භූ පරිසරයේ මුණු ගැහෙන්නේ නැහැ. බොහොම දුර්ලභ පාෂාණයක්. මෙවැනි පාෂාණයක් නිල්දන්ඩාහින්න රූපහ ප්‍රදේශයේ තියෙනවා. අදටත් ප්‍රදේශයේ ජනතාව එහි ඖෂධීය වටිනාකමක් ඇතැයි සලකා භාවිතා කරනවා. මේ ස්ථානයේ ඇති පාෂාණ උද්ගතය සුළු ප්‍රදේශයක තමයි ඉස්මතු වෙලා තියෙන්නේ. නමුත් පොළොව අභ්‍යන්තරයට විහිදිලා ඇති. කිරිගරුඬ පාෂාණයේ ඇති කැල්සයිට් නමැති ඛණිජයට අමතරව සර්පන්ටීන් (Serpantine) නැමති ඛණිජයත් මෙහි අඩංගු වෙනවා. එනිසා තමයි නිලකොල පැහැයක් පාෂණයට ලැබෙන්නේ. සර්පන්ටීකරණයට ලක් වූ කිරිගරුඬ පාෂාණය ලෙස ද මෙය හඳුන්වා දිය හැකියි. ඔබ වලපනේ ප්‍රදේශයේ සංචාරය කරනවා නම් මෙතනට ගොස් මෙම අපූරු පාෂාණ උද්ගතය දැකබලා ගන්නට අමතක කරන්න එපා.  

දුර්ලභ පාෂාණ සහ ඛණිජ වලින් නිර්මාණ කිරීම එකල බොහෝ වටිනා දෙයක් වෙන්නට ඇති. ඔබ ජේතවනය කෞතුකාගාරයට ගොස් ඇත්නම් එහි මෙමගින් කරන ලද නිර්මාණ කිහිපයක් දැක ගන්නට පුළුවන්. හැබැයි එහි සඳහන්ව ඇත්තේනම් මේ නිර්මාණ ඉන්දියාවේ කඩප්පා ප්‍රදේශයෙන් ගෙනෙන ලද ඒවා ලෙසයි. හඳුනාගෙන ඇත්තේ කඩප්පා ප්‍රදේශයේ ඇති අවසාදිත පාෂාණයකින් කරන ලද බවයි. නමුත් මවිසින් සිදුකරන ලද භූ විද්‍යාත්මක පරීක්ෂණවලින් තහවුරු වනුයේ එම පිළිම නිර්මාණය කරන ලද්දේ විපරීත පාෂාණයකින් බව. කෙසේ නමුත් මෙම නිර්මාණවල නිල්කොල පැහැයක් දැකගන්නට ලැබෙන්නේ නැහැ. එයට හේතුව වන්නේ කාලාන්තරයක් තිස්සේ වැළලී තිබීම නිසා දිරාපත් වීමට ලක්වෙලා. පාෂාණයේ දිරාපත් වූ බාහිරය පෙනෙන්නේ සුදු පැහැයෙන්. නමුත් බොහොම අපූරුවට විපරිත පාෂාණයක දක්නට ලැබෙන ව්‍යුහයන් දක්නට ලැබෙනවා. ඒ වාගේම කැබලි වූ පිළිම කොටස් වලින් අභ්‍යන්තරයේ නිල්කොල පැහැය අපූරුවට හඳුනාගන්නට පුළුවන්.

මෙම පාෂාණ වලින් කරන ලද ඉතා අලංකාර බුද්ධ ප්‍රතිමා දෙකක් තිස්සමහාරාම පන්සලේ දැක ගන්නට පුළුවන්. ඒවා කැණීමකින් ලැබුන පුරාවස්තු ලෙසයි සඳහන් වන්නේ. මෙම පිළිම දෙකහිත් ඉතාම කදිමට විපරීත පාෂාණ වල ලක්ෂණ සටහන් වෙනවා. නමුත් බාහිරයෙන් සුදු පැහැති ජීර්ණිත කොටස දැකගන්නට පුළුවන්. නීල ගරුඬ පාෂාණය භාවිතයට ගත් කාලවකවානු ගැන නම් නිශ්චිත අවබෝධයක් නැහැ. බොහෝ විට පාෂාණ තාක්ෂණය ඉතා දියුණු මට්ටමක තිබු අනුරාධපුර යුගයේම වෙන්නත් ඇති. අනුරාධපුර පූජා නගරය එහෙමත් නැතිනං පැරණි රාජධානි පුරවරය ආසන්නයේ කොතනකවත් කිරිගරුඬ හෝ නීල ගරුඬ පාෂාණය දැක ගන්නට නැහැ. තිබෙන සාක්ෂි අනුව පිට ප්‍රදේශයකින් ගෙන එන්නට ඇති.

මෙමගින් පැහැදිලිවන්නේ සුළු සුළු සහ විශේෂ නිර්මාණ සඳහා පමණක් මෙම සුවිශේෂී පාෂාණ වර්ග ගෙන එන්නට ඇති බවයි.  නමුත් අනුරාධපුරයේ ඇති නයිස් පාෂාණ වලින් කරන ලද මහා විසල් නිර්මාණ සහ ගොඩනැගිලි සදහා නම් කිසි ලෙසකත් පිටතින් පාෂාණ නොගෙනාව බවයි මගේ තර්කය. ඒ සඳහා බොහෝ සාධක එම භූමියේම විවිධ ස්ථානවල හමු වෙනවා. විශේෂයෙන්ම පාෂාණ නෙලාගත් තැන්. එවැනි තැනක් තමයි වෙස්සගිරිය. මෙහි පාෂාණ නෙලාගත් ස්ථාන ගණනාවක් ම හමුවෙනවා. එමගින් අපට පාෂාණ නෙලීමේ තාක්ෂණය පිළිබඳව මනා අවබෝධයක් ලබා ගන්නට පුළුවන්. කොහොම වුනත් මා කරන ලද පර්යේෂණ වලින් එළිවූයේ අනුරාධපුරයේ භාවිත තාක්ෂණයට වඩා වෙනස් තාක්ෂණයක් පොලොන්නරු යුගයේ දී පාෂාණ නෙලීම සඳහා භාවිත කල බවයි. පොළොන්නරු යුගයේ තාක්ෂණය බොහෝවිට පාෂාණ නෙලීම සඳහා රසායනික භාවිතය පිළිබඳව යම් ඉඟියක් දෙන බවයි මට සිතෙන්නේ. මේ පිළිබඳව තව දුරටත් භූ විද්‍යත්මක පර්යේෂණ සිදුකල යුතුයි.

ශ්‍රී ලංකව තුල පුරාවිද්‍යාවේ පර්යේෂණ සඳහා භූ විද්‍යාවේ ආධාර උපකාර ලබා ගන්නේ ඉතාම අඩුවෙන්. එනිසා සමහර අර්ථකතන සහ පැහැදිලි කිරීම් නිවැරදි නැහැ. ඉහත දැක් වූ දේ උදාහරණයකට ගන්නට පුළුවන්. පුරාවිද්‍යාඥයින් බොහෝ දෙනෙකු තාමත් භාවිතා කරන්නේ ඉතාම පැරණි භූ විද්‍යා ලිපි ලේඛන. ඒවා බොහොමයක් අද වෙනවිට වෙනස් වෙලා. විශේෂයෙන්ම ශ්‍රී ලංකවේ භූ විද්‍යත්මක පසුබිම වාගේ කරුණු. ඒ දවස්වල භාවිතා කල ‘ශ්‍රේණි’ අද ‘සංකීර්ණ’ බවට පත් වෙලා. වන්නි සංකීර්ණය, විජයානු සංකීර්ණය ආදී ලෙසයි දැන් රටේ භූ බෙදුම් කලාප හඳුන්වන්නේ. ඒ නවතම අධ්‍යනයන් නිසා. ඒ වාගේම බොහෝ දෙනෙකු සිතන්නේ පුරාවිද්‍යා ස්ථාන වල හමුවන බොහොමයක් ශිලා නිර්මාණ ග්‍රැනයිට් නම් පාෂාණයෙන් කරන ලද බවයි. ග්‍රැනයිට් යනුවෙන් හඳුන්වන්නේ ආගනේය පාෂාණ වර්ගයකට. නමුත් ශ්‍රී ලංකවේ පාෂාණ බහුතරයක් විපරීත පාෂාණ. අනුරාධපුරය ප්‍රදේශයේ ඇත්තෙත් විපරීත පාෂාණ ව්‍යාප්තියක්. ග්‍රැනයිට් පාෂාණ යොදාගත් බවට සාක්ෂි හමුවන්නේ නැහැ.

වැරදි හඳුනාගැනීම් වැරදි අර්ථකතන වලට හේතුවක්. එමගින් අදාළ ක්ෂේත්‍රයේ ප්‍රගමනයක් සිදුවන්නේ නැහැ. අද වන විට ලෝකයේ බොහෝ රටවල ඉතා ගැඹුරෙන්ම භූ විද්‍යා විෂය පුරාවිද්‍යාව සඳහා යොදාගන්නවා. ඒ සඳහා වෙනම විෂය ක්ෂේත්‍රයක් ලෝකයේ සකස් වී අවසන්. එය හඳුන්වන්නේ භූ පුරාවිද්‍යාව (Geoarchaeology) නමින්.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ


Wednesday, 29 January 2020

වෛවාරණ කුරුවින්ද මැණික්‌... 
This article was originally published on Divaina, 29.01.2020.
 
රතු මැණික්‌, නිල් මැණික්‌, කහ මැණික්‌ විතරක්‌ නොවෙයි අපූරු තාරුකා රටා මවන්නත් ශ්‍රී ලංකාවේ තියෙන එක්‌ වර්ගයක මැණික්‌ වලට පුළුවන්. ඔය කියන විවිධ පැහැයන් පමණක්‌ නොවෙයි විවිධ රටා මවන මැණික්‌ වර්ග බිහිවන්නේ එක මැණික්‌ කුලයකින්. ඒ කුලය අපි හඳුන්වන්නේ 'කොරන්ඩම්' (කුරුවින්ද) කුලය කියලා. මේ කුලයෙන් ඉහත කී එක්‌ එක්‌ වර්ගවල මැණික්‌ බිහිකරනවා. එනිසා ඉතා අපූරු විවිධත්වයක්‌ ඒ තුළින් දැක ගත හැකියි.
 
 කුරුවින්ද වල රසායනය වෙන්නේ ඇලුමිනියම් ඔක්‌සයිඩ් (Al2O3). කුරුවින්ද කියන්නෙත් භූ විද්‍යාත්මකව ඛනිජයක්‌. කුරුවින්ද කුඩුවල වර්ණය (ලේඛාව) සුදු. දැඩියාව 9ක්‌. ලොව දෙවැනියාට වැඩිම දැඩියාවක්‌ ඇත්තේ කොරන්ඩම් වලට. විශිෂ්ට ගුරුත්වය 4ක්‌ පමණ වෙනවා. ද්‍රව වීමේ උෂ්ණත්වය සෙන්ටිගේ්‍රඩ් අංශක 2044 ක්‌ පමණ වෙනවා. එනිසා බොහොම අධික උෂ්ණත්ව වලට ලක්‌වුණාට ස්‌ඵටිකයේ වෙනස්‌කම් සිදුවෙන්නේ නැහැ. කොරන්ඩම් වල පැති හයකින් යුක්‌ත ස්‌ඵටික හැඩය හරිම සුවිශේෂී.
 
 කුරුවින්ද කුලයේ මැණික්‌ වල වර්ණය ගෙන එන්නේ ඒවායේ තියෙන අපද්‍රව්‍ය. එක්‌ එක්‌ අපද්‍රව්‍ය එක්‌ එක්‌ වර්ණයන් ගෙන එනවා. අපද්‍රව්‍ය වෙන්නේ බොහෝ විට යකඩ, ටයිටේනියම්, වැනේඩියම් සහ ක්‍රෝමියම් වැනි බර ලෝහ. ඊට අමතරව රූටයිල් කියන ඛනිජය කොරන්ඩම් ස්‌ඵටික තුල වර්ධනය වීමේ ප්‍රවණතාවය ඉතා බහුලව දැකගත හැකියි.
 
 කුරුවින්ද මැණික්‌ වලට රතු පැහැය ගෙන එන්නේ ක්‍රෝමියම් ලෝහය අපද්‍රව්‍යක්‌ ලෙස ඇතිවිට. කුරුවින්ද කුලයේ ජනප්‍රියම මැණික්‌ වර්ගය තමයි නිල් මැණික්‌. කුරුවින්දයේ නිල හදන්නේ අපද්‍රව්‍ය දෙකක මිශ්‍රණයෙන්. ඒ තමයි යකඩ සහ ටයිටේනියම් ලෝහය. මේ අපද්‍රව්‍ය දෙක මිශ්‍ර නොවුණොත් අපට ගෙවුඩ මැණික්‌ තමයි ලැබෙන්නේ. ගෙවුඩ වර්ග ගණනාවක්‌ තියෙනවා. ඩිසල් ගෙවුඩ, සිල්කි ගෙවුඩ, මිල්කි ගෙවුඩ යනාදී වශයෙන්. මෙවැනි විවිධත්වයක්‌ ඇතිකරන්නෙත් ඒවායේ තියෙන අපද්‍රව්‍ය නිසා. ගෙවුඩ වල තියෙන දුඹුරු පැහැති පැල්ලම් හැදෙන්නේ යකඩ ඔක්‌සයිඩය (මලකඩ) නිසා. කුරුවින්ද ස්‌ඵටිකයේ කෙලින් අතට සිටවූ විට එම අක්‌ෂයට ලම්බාකාරව ටයිටේනියම් ඇති රූටයිල් ඛනිජ ස්‌ඵටික පිහිටි විටයි කුරුවින්දයේ තාරුකා රටා මැවෙන්නේ. කහ මැණික්‌ වලට කියන්නේ පුෂ්පරාග කියලා. පුෂ්පරාගවල පැහැය නිර්ණය කරන්නේ ඒ තුළ ඇති යකඩ ඔක්‌සයිඩය.
 
 ගෙවුඩ වල ඇති මිශ්‍ර නොවූ අපද්‍රව්‍ය කෘත්‍රිමව මිශ්‍ර කිරීමේ ක්‍රමයක්‌ හොයාගෙන තියෙන නිසා ගෙවුඩ නිල් කිරීමේ හැකියාව තියෙනවා. ශ්‍රී ලංකාව තුළ මේ ක්‍රියාවලිය බොහොම සාර්ථකව සිදුවෙනවා. රූටයිල් ඇතුලේ තියෙන ටයිටේනියම් කුරුවින්ද ස්‌ඵටිකයේ ඇති යකඩ සමග මිශ්‍ර කරන්න අවශ්‍යයි. එවිටයි නිල් පැහැය ඇතිවෙන්නේ. ඒ සඳහා රූටයිල් ස්‌ඵටික ද්‍රව කරන්නට ඕනේ. රූටයිල් වල ද්‍රවාංකය සෙන්ටිගේ්‍රඩ් අංශක 1800ක්‌ පමණ වෙනවා. එනිසා කුරුවින්ද ස්‌ඵටිකය විනාශ නොකර මේ රසායනික ප්‍රතික්‍රියාව පහසුවෙන් කරගන්නට පුළුවන්. ගෙවුඩ පුච්චනවා (heat treatment) කියන්නේ මේ ක්‍රියාවලියට තමයි. මේ ක්‍රියාවලිය තරමක්‌ සංකීර්ණ ක්‍රියාදාමයක්‌. වැඩිපුර මිශ්‍රණය ඇතිවුණොත් නිල් පැහැය වැඩිවෙලා කළු පැහැයක්‌ තමයි ලැබෙන්නේ. එතකොට ඒක කාක නිලක්‌, බවට පත්වෙනවා. කාක නිල් වැඩිපුරම පළඳින්නේ අපල උපද්‍රව නැති කරගන්න.
 
 කුරුවින්ද ඛනිජය ප්‍රධන වශයෙන් ආග්නේය පාෂාණ සහ විපරිත පාෂාණවල දක්‌නට ලබෙන අතර ඒවා ප්‍රාථමික නිධි ලෙස හඳුන්වයි. අවසාදිත සමග එකතුවන කුරුවින්ද ගොනු ද්විතියික තැන්පතු ලෙස හැඳින්වෙයි. ශ්‍රී ලංකාව තුළ ප්‍රධාන වශයෙන් කැණීම් කටයුතු කරන්නේ ද්විතියික තැන්පතු වලයි.
 
 මැණික්‌ ලෙස කරන භාවිතයට අමතරව කුරුවින්ද වල තියෙන තද ගතියත් ද්‍රවාංකය ඉහළ වීමත් නිසා විවිධ කර්මාන්ත සඳහා යොදා ගැනීමේ හැකියාව තියෙනවා. කුරුවින්ද උල්ලේඛයක්‌ ලෙස යොදාගැනීමේ හැකියාව ඇත. මේ ගුණය නිසා වීදුරු සහ යකඩ ඔප දැමීමේ කාර්යයන් සඳහා යොදාගන්න අතර වැලි කඩදාසි නිෂ්පාදනයට ද යොදාගන්නා බව වාර්තා වෙනවා.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Tuesday, 28 January 2020

භූ පැල්මවල් සහ ගිලා බැසීම්....!!!

පත්මෙ ගේ භූ සංචාරිතය; භූ විද්‍යාඥයෙකුගේ සංචාරක සටහන් 3.

Orginally publlished on Vidusara, 22.01.2020.


මෙවර අපේ සංචාරය යාපනයට. යාපනේ අච්චුවේලි ප්‍රදේශයේ සිදු වූ භූ අස්ථාවරත්වයක් නිරීක්ෂණය කිරීමයි අපේ අරමුණ වුනේ. අච්චුවේලි ප්‍රදේශයේ කුඹුරක කොටසක් ගිලා බැහැලා. ඒ අසල වූ ගෙයක් මැදින් තමයි පැල්ම ඇතිවෙලා තිබුනේ. ඒක හින්දා ගේ දෙකට මැදින් කැඩිලා. අඟල් කිහිපයක් ඈත් වෙලා. රතු පාට පස් පිරුණ කුඹුරේ මීටර් 70 ක විතර ලොකුවට රවුමට පැල්මක් වැටිලා. අඟල් කිහිපයක් පැල්ම ආසන්නයේ ගිලා බැහැලා. 

භූ පැල්මවල් සහ ගිලා බැසීම් වෙන්නේ කොහොමද කියලා ගොඩ දෙනෙකුට පැහැදිළි නැහැ, විශේෂයෙන්ම යාපනේ. යාපනය අර්ධ ද්වීපය නිර්මාණය වෙලා තියෙන්නේ හුණු ගල් වලින්. මේ හුණුගල් භූ විද්‍යාත්මකව අවසාදිත පාෂාණ වර්ගයක් ලෙස හඳුන්වන්න පුළුවන්. හුණුගල් රසායනිකව කැල්සියම් සහ මැග්නීසියම් සහිත කාබොනේටයක් ලෙසයි ගැනෙන්නේ. යාපනයේ හුණුගල් හදුන්වන්නේ මයෝසීන හුණුගල් ලෙසයි. ඒ මොකුත් නිසා නෙවෙයි, මේ හුණු ගල නිර්මාණය වෙන්නේ මයෝසීන කාලයේ හින්දා. 
  
මයෝසීන කාලය දිග්ගැහැන්නේ වසර මිලියන 23 විතර ඉඳලා වසර මිලියන 5 පමණ කාලය වෙනකම්. ඔය කාලය තුල දී අවසාදනය වන්නට ඇතැයි සිතන මේ හුණුගල් ව්‍යාප්තිය යාපනයේ සිට පුත්තලම් ප්‍රදේශය දක්වාම බටහිර වෙරළ තීරය දිගේ හීනි පටියක් වගේ දැක ගන්නට පුළුවන්. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇතිවුන අපසාරී තල මායිම හරහා දෙපසට මේ භුමි භාගයන් වෙන් වෙන්නට පටන් ගත්තට පස්සේ ඇතිවුන මුහුදු කලාපය හඳුන්වන්නේ කාවරී ද්‍රෝණිය කියලා. කාවරී ද්‍රෝණියේ තමයි මුලින්ම මේ හුණුගල් අවසාදනය වන්නට ඇත්තේ. මෙහි සිදු වූ අවසාදනය බොහෝ විට රසායනික ක්‍රියාවලියක්. අධික උෂ්ණත්වය නිසා කාවරි ද්‍රෝණියේ සාගර ජලයෙහි කාබොනේට සාන්ද්‍රණය වැඩි වීම නිසා මුහුදු පත්ලේ හුණු තැන්පත්වන්නට ඇති. ඒ සමග මුහුදු ජිවින්ගේ කවච මිශ්‍ර වන්නට ඇති. ඒ හින්දා තමයි යාපනේ හුණුගල් වල මුහුදු බෙල්ලන්ගේ කවච බහුලව දැක ගන්නට පුළුවන් වෙන්නේ. මේ කවචත් මයොසීන කාලයට ම අයිති ඒවා. ඒ කියන්නේ අඩුම තරමින් වසර මිලියන පහක්වත් පරණයි. පැරණිම ඒවා නම් වසර මිලියන 23ක් වත් පරණ වෙන්න ඕනෙනේ.
මයෝසීන කාලයේ තමයි මුලින්ම සුනඛයන්, හයිනාවන්, මුවන්, ජිරාෆයන් සහ වලසුන් ලෝකයට බිහිවන්නේ. අශ්වයන්ගේ පරිණාමය සිදුවන්නේත් මේ කාලයේමයි. ඒ වගේම නූතන අලින්ගේ මුතුන් මිත්තන් බිහිවන්නේත් මයෝසීන කාලයේ දීම තමයි. උකුස්සන්, කොකුන්, කපුටන්, ගේ කුරල්ලන් පමණක් නොවෙයි බකමූනොත් මේ කාලයේ තමයි එලි බහින්නේ. උසස් රුක්වාසීන්ගේ පරිණාමයත් මේ කාලයේ සිදුවන අතර මයෝසීන කාලයේ අවසානය වන විට මානවයන්ගේ ආදීතමයන් බිහිවන්නට ඇති බව සිතිය හැක. මේ හා බැඳුන අනේක වර්ග වල ප්‍රාග් ජීව ධාතුන් (fossil) ලෝකයේ විවිධ රටවලින් වාර්තා වේ. 

යාපනයේ ප්‍රදේශය ගොඩනැගුන මේ හුණුගල් පාෂාණයේ විවිධ වර්ගවල මුහුදු බෙල්ලන් දක්නට ලැබෙනවා. ඔවුන්ගේ කවච අද වෙනකොට අපිට දක්නට ලැබෙන්නේ ඒවා ඉතා හොඳින් සංරක්ෂණය වුන හින්දා. ජෛව විශේෂ සංරක්ෂණය, එහෙම නැත්තන් ප්‍රාග් ජීව ධාතුකාරණය, ඉතා අපූරු ක්‍රියාදාමයක්. දිගු කාලයක් ගතවන භූ රසායනික ක්‍රියාදාමයක්. මල සතුන් මුහුදු පත්ලේ වැලලුන විට ඒ මත ගොඩ ගැහෙන මුහුදු කලිල (මඩ) නිසා තමයි සංරක්ෂණ ක්‍රියාදාමය සිදුවන්නේ. සුමට මාංශමය කොටස් කුණු වී යද්දී විවිධ රසායන්ගෙන් සපිරි කලිල කුහරය තුලට රිංගා ස්ඵටීකීකරණය වෙනවා. මුහුදු කලිල වල හුණු බහුල අවස්තාවලදී එමගින් ප්‍රතිඛණිජකරණය සිදුවන අතර සිලිකා  බහුල අවස්තාවලදී සිලිකා මගින් ප්‍රතිඛණිජකරණය සිදුවෙයි. හුණුගල් නිර්මාණය වීමේදී මුහුදු පත්ලේ ඇති හුණු සහ සිලිකා කලිලත් මුහුදු සතුන්ගේ කවචත් මිශ්‍රව පාෂාණීභූත වී තමයි මෙම අවසාදිත පාෂාණය බිහිවෙන්නේ. 

යාපනයේ හුණුගල් උද්ගතයන් යම් යම් ස්ථාන වල ඉතා හොඳින් දැක බලා ගැනීමට පුළුවන. නමුත් හුණුගල් ඉතා ඉක්මනට ජීර්ණයට සහ ඛාදනයට ලක් වෙන අතර පාෂාණයේ සංයුතියේ ඇති වෙනස්කම් මේ සඳහා හේතු වෙනවා. සිලිකා වැඩි ස්ථාන ජීර්ණයට යම් ප්‍රතිරෝධී තත්වයක් දක්වන නිසා උද්ගතයන් ඇති කරන්නට හේතුවෙනවා. හුණු වැඩි තැන් ඉතා වේගයෙන් ජීර්ණයට ලක්වන්නේ (වර්ෂා ජලය තරමක් ආම්ලික) ජලයේ ඉතා පහසුවෙන් දියවෙන නිසා. පාෂාණයේ ඇති කුස්තූර සහ පැලුම් අතරින් රිංගන මතුපිට ගලායන වතුර හුණු දිය කරන නිසා අභ්‍යන්තරයේ කුහර ඇති කරන්නට හේතුවෙනවා. මේ කුහර ක්‍රමයෙන් විශාල වෙමින් මතුපිටට ලං වූ විට, ඉහලින් වූ බර දරාගන්නට නොහැකි වී මතුපිට ගිලා බහිනවා. අච්චුවේලි සිදුවීමට හේතු වී ඇත්තේ ද මෙයමයි. සිදුකරනු ලැබූ භූ භෞතික පරීක්ෂණ වලින් ද අභ්‍යන්තරයේ කුහර ඇති බව තහවුරු වෙලයි තියෙන්න. මේ ප්‍රදේශයේම තියෙන ‘මංඩපායි’ ගල් ගුහාව එලෙස නිර්මාණය වූවක්.    

කෙසේනමුත් යාපනයේ ගොඩනැගිලි ඉදිකිරීමේදී භූ ස්ථාවරත්වය පිළිබඳව ඉතා විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්නට ඕනේ. ගොඩනැගිලි ඉදිකිරීමට ප්‍රථම භූ අභ්‍යන්තයේ ස්ථායිතාවය පිළිබඳව යම් අවබෝධයක් ලබා ගැනීම ඉතාම අවශ්‍ය කාරණයක්. මේ තත්වය භයානක වෙන්නේ ක්‍රමයෙන් ඉදිකරන ගොඩනැගිලි ප්‍රමාණය වැඩි වෙනකොට. ශ්‍රී ලංකවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් භූ අභ්‍යන්තරයේ ස්ථායිතාවය පිලිබඳ එතරම් සැලකිලිමත් වෙන්නේ නැහැ. මේ සඳහා යන වියදම අනවශ්‍ය වියදමක් ලෙසයි බොහෝ දෙනා සිතන්නේ. නමුත් මේ පරීක්ෂණ ඉතා වැදගත්. විශේෂයෙන්ම හුණුගල් ඇති ප්‍රදේශ වලට. 

හුණුගල් විපරීතකරණයෙන් තමයි කිරිගරුඬ (මාබල්) පාෂාණය හැදෙන්නේ. ඒත් රසායනික සංයුතිය වෙනස් වෙන්නේ නැහැ. දෙකේම තියෙන්නේ කැල්සියම් සහ මැග්නීසියම් කාබොනේට ය. ශ්‍රී ලංකාවේ බහුතර ප්‍රදේශයක් පුරා පැතිරී තියෙන්නේ විපරීත පාෂාණ. ඒඅතර කිරිගරුඬ පාෂාණයත් බොහොමයක් අවස්තාවලදී හමුවෙනවා. මාතලේ, දිගන, නිල්දන්ඩාහින්න, ඇලහැර, හිඟුරක්ගොඩ ආදී ප්‍රදේශවලින් යම් යම් ගිලා බැහීම් වාර්තා වෙනවා. ශ්‍රී ලංකාවේ ඇති බොහොමයක් ගල්ගුහා නිර්මාණය වන්නටත් මූලික හේතුව වෙන්නේ මෙම විපරීත හුණුගල් පාෂාණ දියවී සෑදෙන භූ අභ්‍යන්තර කුහර. 

 ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Friday, 24 January 2020

රන් නොවන මිනිරන්.... 
This article was originally published on Divaina (22.01.2020)

භූ විද්‍යාත්මක පර්යේෂණ වලදී ඛණිජ හඳුනාගැනීම සඳහා ඛණිජ සතු භෞතික ගුණාංග අධ්‍යනය කරන අතර ඒ අතුරින් ඛණිජයක ලේඛාව (streake) පරීක්‌ෂා කිරීම වැදගත් වෙයි. ලේඛාව යනු ඛණිජයක කුඩුවල පැහැයයි. කුඩුවල පැහැය බොහෝවිට ඛණිජයේ පැහැයම වන්නේ නැහැ. ලේඛාවේ පැහැය මගින් ඉතා පහසුවෙන් සමහර ඛණිජ හඳුනා ගත හැකියි. ලේඛාව බැලීම සඳහා ඛණිජය කුඩු නොකර දැඩියාවෙන් තරමක්‌ වැඩි සෙරමික්‌ වැනි දෙයක ඇතිල්ලීමෙන් පහසුවෙන් කුඩුවල වර්ණය ලබා ගත හැක.
 
 අපට අපගේ කුඩා කල සිටම මෙවැනි එක්‌ ඛණිජ වර්ගයක කුඩුවල වර්ණය ඉතා සමීප බව කිව යුතුය. ඒ කුමන ඛණිජය දැයි ඔබට කිව හැකිද? අප කුඩා කල අකුරු ලියන්නට භාවිතා කළේ පැන්සලය. පැන්සලෙන් ලියනවා යනු පොතෙහි එය අතුල්ලනවා යන්නයි. එමගින් පැන්සලෙහි ඇති ඛනිජයේ වර්ණය පොතෙහි ඇතිල්ලෙන අතර එමගින් අපට අකුරු රටා මැවීමට හැකියාව ලැබී ඇත. දැන්නම් ඔන්න ඔබට මේ ඛණිජය කුමක්‌දැයි මතකයට නැගේවි. ඒ තමයි මිනිරන්.
 
 මිනිරන් භූ විද්‍යාත්මකව සැලකු කල ඛණිජයකි. ඛණිජයක්‌ සතු ලක්‌ෂණ සියල්ලම මෙහි ඇති අතර රසායනය වන්නේ අප කවුරුත් හොඳින් දන්නා කාබන් වෙයි. ස්‌ඵටිකමය ස්‌වරූපයක්‌ ඇති අතර දැඩියාව එකත් දෙකත් අතර වෙයි. ඒ කියන්නේ මිනිරන් කැල්ලක්‌ අපේ නිය පොත්තෙනුත් හූරන්න පුළුවන් කියන එක. ලේඛාවේ පැහැය වෙන්නේ කළු පැහැය.
 
 මිනිරන් නිර්මාණය වීමේ භූ විද්‍යාත්මක පසුබිම කුමක්‌ද යන්න අප සොයා බලමු. කාබන් රසායනය මූලික කරගත් මේ අපූරු ඛණිජය බිහිවෙන්නේ ආකාර කිහිපයකට. මිනිරන් බොහොමයක්‌ විපරීත පාෂාණ වල අමතර ඛණිජයක්‌ ලෙස හමුවෙනවා. ඒ බොහෝ වෙලාවට අවසාධිත වල පවතින කාබනික ද්‍රව්‍යය විපරීතකරණයේ දී ඔක්‌සිහරණයට පත් වීමෙන්. නමුත් මිනිරන් නිධි ලෙස අපට මේ පාෂාණ වල දක්‌නට ලැබෙන්නේ නැහැ. පාෂාණය පුරා මිනිරන් විසිරිලා තමයි තියෙන්නේ.
 
 බෝගල වැනි මිනිරන් නිධි නිර්මාණය වීම වෙන්නේ මෙලෙසයි. අපි දන්නවා නේ පොළොවේ ඇති පාෂාණවල කුස්‌තුර සහ පැලුම් තියෙනවා කියලා. මේ පොළොවේ ඇති කුස්‌තුර සහ දැදුරු ඔස්‌සේ භූ අභ්‍යන්තරයේ වූ අධිකව උණුසුම් වූ කාබන් ඩයොක්‌සයිඩ් සහිත ජලය වාෂ්ප ඉහළට පැමිණ ඔක්‌සිහරණයෙන් පසු එම කුස්‌තුර සහ දැදුරු තුළම ස්‌ඵටිකිකර්ණය වී ධමනි මිනිරන් නිර්මාණය වෙයි. මේ එක්‌තරා ආකාරයකට ආග්නේය ක්‍රියාවලියක්‌ කියලා කියන්නත් පුළුවන්.
 
 ශ්‍රී ලංකාවේ නම් අප දන්නා පරිදි බෝගල තමයි විශාලතම මිනිරන් නිධිය මුණ ගැහෙන්නේ. කාබන් ප්‍රතිශතය සලකා බැලූ විට සාපේක්‌ෂව ඉතා ඉහළ මට්‌ටමක ඇති සුපිරිසිදු මිනිරන් තමයි මේ පතලෙන් ලැබෙන්නේ. එය බොහෝවිට 99.5% කියලා තමයි සඳහන් වෙන්නේ. එනිසා තමයි ලෝකේ පුරාම ශ්‍රී ලංකාවේ මිනිරන් ප්‍රචලිත වෙලා තියෙන්නේ. බෝගලට අමතරව කහටගහ සහ කොලොන්ගහ කියලා තවත් පතල් දෙකක්‌ අපට තියෙනවා. එයට අමතරව වරකාපොල අත්තනගල්ල ප්‍රදේශයේ තැනින් තැන පැරණි මිනිරන් පතල් දැක ගන්නට පුළුවන්. එවැනි පතල් කළුතර ප්‍රදේශයෙනුත් වාර්තා වෙනවා.
 
 ලෝකේ මිනිරන් නිෂ්පාදනය කරන්නේ අපි විතරක්‌ නොවෙයි. එවැනි රටවල් අතර ලෝකේ ප්‍රමුඛම නිෂ්පාදකයා වෙන්නේ චීනය. ඉන්දියාව දෙවැනි තැන ඉන්නවා. බ්‍රසීලය, කැනඩාව, මොසැම්බික්‌ රාජ්‍යය සහ රුසියාවත් ප්‍රධාන පෙලේ නිෂ්පාදකයෝ.
 
 මිනිරන් භාවිතය ඈත අතීතයටම ඇදිලා යන දෙයක්‌. ක්‍රිස්‌තුපූර්ව හතරවෙනි සියවසේ ගිනිකොණ දිග යුරෝපයේ නියෝතිලික යුගයේ මරිටා සංස්‌කෘතිය තුළ සෙරමික්‌ වර්ණ ගැන්වීම සඳහා භාවිත කළ බවට සාක්‌ෂි තියෙනවා. ශ්‍රී ලංකාවේත් අතීත මානවයා මිනිරන් භාවිත කළ බවට අලවල ගල් ගුහාවේ සිදුකළ කැණීමෙන් සාක්‌ෂි ලැබෙනවා. ඒ අවම වශයෙන් අදින් අවුරුදු හත්දාහකට පමණ පෙර මිනිරන් භාවිත කළ බවට යි. බොහෝවිට ඔවුන් ශරීර වර්ණ ගැන්වීම වාගේම යාග හෝම වලදී හිස්‌කබල් වර්ණ ගැන්වීම උදෙසා වෙන්න පුළුවන්.
 
 මිනිරන් කියන්නේ ඉතා හොඳ තාප සහ විදුලි සන්නායකයක්‌. ඒ වාගේම මිනිරන් වල ස්‌ඵටිකමය ස්‌වරූපය නිසා ඉතා හොඳ ලිහිස්‌සි ද්‍රව්‍යයක්‌ ලෙස යොදා ගන්නට පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ වාගේම ඉතා අධික තාපයක්‌ දරා ගැනීමේ හැකියාව ඇති නිසා අධිකව තාපය භාවිතා වන උඳුන් නිෂ්පාදනයේ දී යොදා ගන්නවා. එයට අමතරව ප්‍රධාන වශයෙන් බැටරි වර්ග නිෂ්පාදනයේ දී ප්‍රධාන අමුද්‍රවයක්‌ ලෙස යොදා ගන්නා බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. යකඩ නිෂ්පාදනයේදී ද යොදාගන්නා බව සඳහන් වෙනවා. මේ අතර ග්‍රැෆීන් (graphene) නම් වූ නැනෝ තාක්‌ෂණයෙන් බිහිවන නවතම කාබන් නිෂ්පාදනය සඳහාද යොදා ගත හැකියි. කෙසේ වුවත් ශ්‍රී ලංකව තුළදී නම් මෙමගින් නිසි ප්‍රයෝජන නොගන්නා බවයි මාගේ අදහස වන්නේ.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

පත්මෙගේ භූ විද්‍යා අන්දර   07 කිරින්ද  එතිහාසික වශයෙන් පමණක් නොව භූ විද්‍යාත්මකවත් වැදගත් වන ස්ථානයකි. කිරින්ද විහාරය ස්ථානාපනය වී ඇත්තේ ග...