අභාවයට යන පුලතිසි ශිලා උරුමය
භූ සංචාරය 48
This article is originally published on Vidusara.
ශ්‍රී ලංකාවේ අතීතයේ නිර්මාණය කරන ලද පාෂාණ නිර්මිත බොහොමයකි. අනුරාධපුර සහ පොළොන්නරු යුග වලදී පමණක් නොව මහනුවර යුගයේ දී පවා මෙවන් වූ පාෂාණ නිර්මිත කරවන ලද බව පෙනී යයි. සමාධි පිළිමය ඇතුළු බොහොමයක් පාෂාණ නිර්මිත මෙකල්හි ඇත්තේ කාලයක් තිස්සේ සිදුවන සොබාවික ජීර්ණ ක්‍රියාදාමයට නතු වෙමින් විනාශ මුඛයට යමිනි. මෙළොව පවතින කිසිම දෙයකට නොගලවිය හැකි ක්‍රියා දාමය වන්නේ ජීර්ණ ක්‍රියාවලියයි. එනිසා එය නැවතිය නොහැක. හැක්කේ පමා කිරීම පමණකි.
සොබාවික පරිසරයේ සොබාවික තත්වයන්හි පවතින මෙවන්
වූ අතීත මිනිසුන් විසින් නිර්මාණය කරන ලද පාෂාණ නිර්මිත ද මේ වන විට පවතින්නේ පාෂාණ
ජීර්ණ ක්‍රියාදාමයට ලක් වී බව අමතක නොකළ යුතුය. බොහෝදෙනෙකු සිතන පරිදි කළුගලින් කරන
ලද මෙම පිළිම ඇතුළු අනෙකුත් ගෘහ නිර්මාණ අනාදිමත් කාලයක සිට හොඳින් පැවතියත් මෙම පාෂාණ
සොබාවික පරිසරයට නිරාවරණය වූ දා පටන්ම තම ජීර්ණ ක්‍රියාවලිය පටන් ගෙන තිබේ. එනිසා එළියට
පෙනෙන පරිදි දැඩි ගතියකින් සහ බොහෝ කාලයක් පවතින සේ පෙනුනත් ඇත්තෙන්ම මෙම පාෂාණ නිර්මිත
විනාශ මුඛයට යමින් පවතී.
මෙවර භූ සංචාරිතයෙන් ඔබගේ අවධානය යොමුකරන්නට මා උත්සාහ
කරන්නේ අපගේ කදිම සංචාරක ස්ථානයක් වන ලෝක උරුම නගරයක් වන පොලොන්නරුව වෙතයි. ඉතා අපූරු පාෂාණ නිර්මිත රාශියක් දක බලා ගත හැකි
පොලොන්නරුව පුදබිම මෙරට ඉතිහාසයේ බොහෝ වැදගත් සන්ධිස්ථානයකි. පොලොන්නරුව ලෝක උරුම නගරයේ
සංචාරය කරන ඔබ ගල විහාරය වෙත යන බව නොඅනුමානය. ගල විහාරයේ ලොව විශිස්ටතම පිළිම වහන්සේලා
තුන් නමක් වැඩ සිටී. හිඳී පිළිම දෙකක්, හිටි පිළිමයක් සහ සැතපෙන පිළිමයක් ලෙස සඳහන්
කල හැකි ප්‍රධාන පිළිම වහන්සේලා සතර නමකින් මේ ස්ථානය වර්ණවත් වී ඇත.
පොළොවෙන් මතු වූ පිහිටි පාෂාණයේම නෙළන ලද මේ
අපූරු පිළිම සතර හොඳින් නිරීක්ෂණය කිරීමේදී අත්‍යන්ත ජිර්ණයේ ප්‍රතිඵල දැක බලා ගත හැකිය.
ඉතා සියුම්ව හටගත් පැලුම් සහ පිපිරුම් මිග්මටයිට් නයිස් පාෂාණයෙන් කරන ලද පිළිම දේහයන්හි
හට ගෙන ඇත. මෙම පිපිරුම් පාෂාණයේ සොබාවික පැලුම් රටාව අනුගමනය නොකරන බව පෙනී යන අතර,
සමහර ස්ථාන වල දී පාෂාණ කොටස් ගැල වී ගොස් ඇති බව ද දැක බලා ගත හැකිය.
මිග්මටයිට් පාෂාණයේ සොබාවික වර්ණ තීරු මේ වන
විටත් ජිර්ණයේ ප්‍රතිඵලයක් ලෙස අතුරුදහන් වී ගොස් ඇත. එනිසා ලා පැහැති බව මතු වී බොහෝ
විට පෙන්නුම් කරන්නේ ග්‍රැනයිට් පාෂාණයක ගති ලක්ෂණය. නමුත් සියුම් නිරීක්ෂණය කිරීමේදී
අපට නයිස් පාෂාණයේ වර්ණ තීරු වල ලක්ෂණ තවමත් දැක බලා ගත හැකිය. මේ වර්ණ තීරුවල වියැකී යාම පළමු හිඳී පිළිමයේ
වැඩියෙන් නිරීක්ෂණය කල හැකිය. නමුත් අනෙකත් පිළිමයන්හි තවමත් නයිස් පාෂාණයේ වර්ණ තීරු
කදිමට දැක බලා ගත හැකිය. කෙසේවෙතත් ඒ වර්ණ තීරු ද ක්‍රමයෙන් වියකෙන බව නිරීක්ෂණය කල
හැකිය.
පොලොන්නරුව ප්‍රදේශය වර්ෂා පතනය අඩුවෙන් ලැබෙන
වසරේ වැඩි කාලයක් අව් රශ්මියෙන් පීඩා විඳින ප්‍රදේශයකි. අධිකව ලැබෙන හිරු රශ්මියෙන්
මේ බොහෝ දෑ අධික රත් වීමට සහ වේලීමට භාජනය වෙයි. දහවලදී සිදුවන මේ අධික රත් වීම සහ
වේලීම පාෂාණ තාපජ ප්‍රසාරණයට ලක් කරයි. එමගින් පාෂාණයේ ඛනිජ සංයුතිය භෞතික ජ්ර්ණයට
ලක් කරන්නට පෙළඹවන බව අමතක නොකළ යුතුය. මේ තත්වය රාත්‍රියේ හාත්පසින්ම වෙනස් වේ.
අධික තාපය පරිසරයෙන් ඉතා ඉක්මනින් බැහැර වන නිසා පාෂාණ නිර්මිත පරිසරයට වඩා වැඩි උෂ්ණත්වයකින් යුක්ත වේ.
පාෂාණ දහවලදී රත්වන්නේ සෙමින් නිසා පරිසරයට වඩා අඩු උෂ්ණත්වයකින් යුක්ත වේ. මෙනිසා
දහවලදී සහ රාත්‍රියේ දී ඇතිවන උෂ්ණත්වය වෙනස නිසා උද්ගතවන උෂ්ණත්ව අන්තරය පාෂාණය භෞතිකව
ජීර්ණය කරයි. මේ තත්වය පාෂාණයේ සියුම් පිපිරුම් ඇතිකරන්නට හේතුවෙයි.
එපමණක් නොව වර්ෂා කාලයේදී වායුගෝලයේ ජලවාෂ්ප
වැඩිකරමින් ආර්ද්‍රතාවය වැඩි කරයි. වර්ෂා කාලයේදී ඇතිවන හිරිකඩ මගින් මෙම පාෂාණ නිර්මිත
තෙමා දමයි. එය මගින් පරිසරයේ පමණක් නොව මෙම පාෂාණ නිර්මිත වලද තෙත ගතිය වැඩි කරයි.
එය පාෂාණයේ ඛණිජ රසායනිකව ජීර්ණය කරයි. එනිසා යකඩ වැනි ඛණිජ රසායනිකව ජීර්ණය වීම නිසා
යකඩ ඔක්සයිඩය ඇතිකරයි. එය පිළිම වහන්සේලාගේ මතුපිට පෘෂ්ටයේ දුඹුරු පැහැති පැල්ලම් ඇතිකරන්නට
හේතුවෙයි. මේ තත්වය වර්තමානයේ ඉතා හොඳින් මෙම පාෂාණ නිර්මිත වල දැක ගත හැකිය.
මෙවන් වූ පාෂාණ නිර්මිත වල ජීර්ණ ක්‍රියාදාමය
අධ්‍යනය කල යුතුය.නිරන්තරයෙන්ම නිරීක්ෂණය භාජනය කල යුතුය. මේ සඳහා පාෂාණයේ නියැදි ලබා
ගැනීම කල නොහැක්කේය. එනිසා වෙනත් ක්‍රමවේද මගින් තත්වය අධ්‍යනය කල යුතුය. මේ සඳහා ඇති
වී ඇති පිපිරුම් වල දිග පළල වැඩි වන්නේදැයි අධානයනය කල හැකිය. එපමණක් නොව ඇති වී ඇති
දුඹුරු පැහැති පැල්ලම් වල ප්‍රමාණය වැඩි වන්නේදැයි නිරීක්ෂණය කල හැකිය. දීර්ඝ කාලයක්
තතිස්සේ මේ අධ්‍යනය සිදු කිරීමෙන් ජීර්ණය වන්නා වූ වේගය පිළිබඳව යම් අදහසක් ලබා ගත
හැකිය. ඒ මත යම් සංරක්ෂණ ක්‍රියාදාමයක් ආරම්භ කිරීමෙන් මේ පිළිම විනාශ මුඛයට යාම වලක්වා
ගත හැකි වේ.
පාෂාණ නිර්මිත සංරක්ෂණය සඳහා මෙරට විද්වතුන්ගේ
අවධානය යොමු වී ඇත්තේ ඉතා අඩුවෙන් බව පෙනී යයි. නමුත් විද්‍යාත්මක ක්‍රමවේද අනුගමනය
කරමින් සංරක්ෂණ ක්‍රම වේද විද්වතුන්ගේ ද සහයෝගයෙන් කල හැකි වේ. ඒ සඳහා වැදගත් වන්නේ
යම් ක්‍රමවේදයක් ඇතිකිරීමයි. දීර්ඝ කාලයක් තිස්සේ සිදුවන මේ ජිර්ණ ක්‍රියාවලිය ගැන
අඩු අවධානයකින් ක්‍රියාකිරීම මගින් මේ අපූරු නිර්මිත විනාශ මුඛයට යාම වලක්වා ගැනීම
කල නොහැක.
මෙහිදී වැදගත් වන්නේ ප්‍රදේශයේ කාලගුණික තත්වයන්
පිලිබඳ මනා අවබෝධයක් ඇතිකරගැනීම සහ පාෂාණයේ ගති ලක්ෂණ අධ්‍යනය කිරීමයි. එමගින් ඇතිවී
ඇති සහ ඉදිරියේදී ඇතිවන්නා වූ තත්වය මනාව අවබෝධ කරගත හැකි වේ. ලෝක උරුම බවට පත් වී
ඇත්තා වූ මෙවන් වූ ස්ථාන වල ඇත්තා වූ පාෂාණ නිර්මිත පිළිබඳව වඩා හොඳ අවධානයක් ඇති විය
යුතු බවයි මාගේ අදහස වන්නේ.
ආචාර්ය පත්මකුමාර ජයසිංහ