06.04.2016
වර්තමානයේ අප දරුවන් රටෙහි ඉතිහාසය, ශ්‍රී ලාංකික මානවයා ගේ පරිණාමය ගැන ඉගෙනගන්නේ මෙවැනි පසුබිමක ය. විද්‍යාත්මක තර්කණය පලා ගොසිනි. විද්‍යාත්මක ක්‍රමවේද භාවිතය සහ බහු විෂයාත්මක ප්‍රවේශය ගවු ගාණක් ඈත ය. එහෙන් මෙහෙන් අහුලාගත් කරුණු ගොනු කර නිගමනවලට එළඹෙති. මේ සදහා කදිම උදාහරණ බොහෝ ඇත. සමහර ඒවා මා ද අත්දැක ඇත. වසර කිහිපයකයට ප්‍රථම වර්තමානයේ මෙරට ප්‍රසිද්ධියට පත් පුරාවිද්‍යා පර්යේෂකයකු ගේ කැණීමක් බැලීමට අහඹු අවස්‌තාවක් මම ලදිමි. ඒ අප ගේ පර්යේෂණ කටයුත්තකට යන ගමනෙහි අතර මැද ය. මා භූ විද්‍යාඥයකු බැවින් එහි කැණීමෙන් ලද ද්‍රව්‍ය ගොනුවක් මා ඉදිරියේ තබා යමක් ප්‍රකාශ කළ හැකි දැයි ඔහු විමසා සිටියේ ය. බොහොමයක් ඉතා තදින් ජීර්ණය වී තිබූ අතර යම් යම් ඛනිජ ද පාෂාණ ද මට හැකි අයුරින් හඳුනා ගත්තෙමි. සරල පැහැදිලි කිරීමක් ද මා විසින් සිදු කරන ලදි. "බෝල" නැත හොත් "ගුලි" මෙන් වූ ඛනිජ විශේෂයක් එහි වූ අතර එම ගුලි ප්‍රදේශයේ මිනිසුන් "රාවණා ගුලි" ලෙස හඳුන්වන බව ඔහු පවසා සිටි අතර ඔහු ගේ වැඩි අවධානයක් එම ද්‍රව්‍ය කෙරෙහි යොමු වී තිබිණි. අධිකව ජීර්ණය වී තිබූ මේ ද්‍රව්‍යය හඳුනාගැනීමට තරමක් අසීරු වුව ද ප්‍රදේශයේ පාෂාණ සහ ඛනිජ පිළිබඳව තරමක අවබෝධයක් මා සතු ව තිබූ බැවින් එම ද්‍රව්‍යය බොහෝ විට "ගානට්" නැත හොත් "රබහ" නම් ඛනිජය විය හැකි බව ද එම ප්‍රදේශයේ "ඇල්මන්ඩින් ගානට්" නම් ඛනිජය තිබූ නිසා මේවා එම ඛනිජයේ ජීර්ණිත කොටස් විය හැකි බව ද මම තවදුරටත් පවසා සිටියෙමි. එහෙත් මේ කරුණු තහවුරු කරනු වස් තවදුරටත් භූ විද්‍යාත්මක පර්යේෂණ කළ යුතු බව ද මම පවසා සිටියෙමි. පුදුමයක මහත...ෘ කැණීම අවසාන වන්නට ද ප්‍රථම, එම ප්‍රදේශයේ එකල සිටි පැරැණි ජනතාව යකඩ නිෂ්පාදනය සදහා යොදාගෙන ඇත්තේ "ඇල්මන්ඩින් ගානට්" නම් ඛනිජ විශේෂය බවට සාක්‌ෂි හමු වූවා යෑයි කරුණු ප්‍රසිද්ධ විය. එය අසා සිටි මා බොහෝ පුදුමයට පත් වූ අතර එලෙස කරුණු ප්‍රසිද්ධ වීම සම්පූර්ණයෙන් ම සාවද්‍ය බව මා හට අමුතුවෙන් වටහාගැනීම අනවශ්‍ය නො වී ය. එනිසා ඔවුන් ගේ පර්යේෂණ නිගමන කොපමණ දුරට සත්‍ය දැයි ගැටලුවක් ඇත.
පැරැණි යකඩ කර්මාන්තය පිළිබඳව අප කළ පර්යේෂණයකින් හෙළි වූයේ මෙතෙක් ශ්‍රී ලංකාවේ යකඩ නිෂ්පාදනය සදහා යොදාගෙන ඇත්තේ "හිමටයිට්" නම් වූ යකඩ ප්‍රතිශතය වැඩි ද්විතීයික ඛනිජයක් බවයි. යම් ද්‍රව්‍යයක් තම කැණීමෙන් හෝ පර්යේෂණයට භාජන වන භූමියෙන් හමු වූ පමණින් ම එවැනි නිගමනවලට එළඹීම කෙතරම් අනුවණ දැයි තේරුම්ගත යුතු ය. අප පර්යේෂණයට භාජන කළ ස්‌ථානවල සමහරක් අවස්‌ථාවල දී "මැග්නටයිට්" නම් වූ ඛනිජය ද හමු ව ඇති අතර එම ද්‍රව්‍ය යකඩ නිස්‌සාරණයට ගෙන නොමැති බව ඉඳුරා ම පැහැදිලි විය. එහෙත් මේ ක්‌ෂේත්‍රයේ සිදු කළ තවත් පර්යේෂණයක අවසාන නිගමනය වී ඇත්තේ ශ්‍රී ලංකාවේ යකඩ නිස්‌සාරණය සදහා යොදාගෙන ඇත්තේ මේ "මැග්නටයිට්" නම් ඛනිජය බවයි. එහෙත් එම නිගමනය ගැටලුකාරී ය. "මැග්නටයිට්" උණු කළ හැකි නිස්‌සාරණ තාක්‌ෂණයක් ලංකාවේ මෙතෙක් හමු වී නොමැත.
මහාවංශයට අනුව විජය ගොඩබසින්නේ තම්බපන්නි නම් වූ ස්‌ථානයකට ය. එය බොහෝ දුරට බස්‌නාහිර වෙරළෙහි එක් ස්‌ථානයක් විය හැකි බව සමහර පුරාවිද්‍යාඥයන් ගේ සහ ඉතිහාසයඥයන් ගේ මතයයි. ඇත්තෙන් ම එය කොපමණ දුරට සත්‍ය ද යන්න විද්‍යාත්මක පර්යේෂණ මඟින් තවමත් විසඳී නොමැත. තම්බපන්නි යන නම පටබැඳෙන්නේ තම අත්ල තඹ පැහැ ගත් හෙයිනැයි එහි තවදුරටත් කියෑවේ. ඇත්තෙන් ම ඔය කියනා ස්‌ථානයේ බොහෝ ප්‍රදේශයක් පුරා පැතිර ඇත්තේ රතු පැහැගත් පස් සහ වැලි ය. මේ බිහි වීම සදහා හේතු වන්නේ අතීතයේ එක් කලක දී ඇති වූ අධික සූර්ය තාපය හේතුවෙන් එහි වූ යකඩ ඔක්‌සිකරණය වීමයි. ඔක්‌සිකරණය වූ යකඩ රතු පැහැති ය. රතු සහ තඹ යනු පැහැයන් දෙකකි. අප රටෙහි දකුණු වෙරළෙහි බේරුවල ප්‍රදේශයේ මොනසයිට් නම් වූ කහ පැහැ ගත් ඛනිජ වැලි නිධි හමු වේ. මේ කහ පැහැය බොහෝ දුරට තඹ පැහැයට හුරු ය.
ඕනෑ ම අවස්‌ථාවක දී නිගමනවලට එළඹීම ඉතා පරෙස්‌සමෙන් කළ යුතු ය. ඒ සදහා බොහෝ කරුණු එක්‌රැස් කරගත යුතු ය. විටෙක නොවැදගත් යෑයි ඉවත දමන සාක්‌ෂි අතීතය විදහාපාන හොඳ ම සාක්‌ෂි විය හැකි ය. එනිසා තිබෙන කරුණු මුල් කරගෙන නිගමනවලට එළඹෙනවා මිස තම මතය තහවුරු කිරීම සදහා කරුණු ගොනු කිරීම සාවද්‍ය මත මුල් බැසගැනීම සදහා හේතු වේ. ශ්‍රී ලංකික පුරාවිද්‍යා ක්‌ෂේත්‍රය තුළ මෙවැනි මත බහුල ය. මෙරටෙහි අනාගත පුරාවිද්‍යාඥයන් මේ කරුණ ඉතා හොඳින් සිත්හි තබාගත යුතු ය. ඒ සදහා ක්‍රියාත්මක විය යුතු ය. ඉතිහාසය සැඟවීම සහ විකෘති කිරීම අනාගතයට අප කරන ඉතා දරුණු අසාධාරණයකි.
ආචාර්ය පත්මකුමාර ජයසිංහ