21.09.2016
මේ වසර අවසාන වන විට ලෝක ජනගහනය බිලියන 7.4 සීමාව ඉක්‌මවා යනු ඇතැයි ද, 2024 වන විට එය බිලියන 8 සීමාවට ළං වනු ඇතැයි ද විශේෂඥයන් ගණනය කර ඇත. ආසන්න වශයෙන් සැම වසරක දී ම මිලියන 131ක් පමණ දරුවන් මෙලොවට බිහි වන අතර වැඩිහිටි පුද්ගලයන් මිලියන 55ක් පමණ වසරක දී මිය යන බව ය ලෝක ජනගහන දත්ත පෙන්වා දෙන්නේ. එනම් සැම තත්පරයක දී ම ආසන්න වශයෙන් දරුවන් හතර දෙනකු උපදින අතර පුද්ගලයන් දෙදෙනකු බැගින් මිය යයි. ලෝකයේ දියුණුවත් සමග ම මර්ත්‍යතාව (Mortality) අඩු වෙමිනුයි යයි. එනිසා දිනෙන් දින ලෝකයේ ජනගහනය ඉතා ශීඝ්‍ර ලෙස වැඩි වෙමින් ඇත. ඉහත දත්තවලින් ඒ බව ඉතා හොඳින් පැහැදිලි වේ.
ලෝකයේ වැඩි ම ජනගහනයක් ඇත්තේ චීනයේ බව අමුතුවෙන් ඔබට පැහැදිලි කරන්නට අවශ්‍ය නැත. අද වන විට එරට ජනගහනය බිලියන 1.38ක් වන අතර එම ප්‍රමාණය ලෝක ජනගහනයෙන් සියයට විස්‌සක් පමණ වේ. එහි තේරුම ලොව සැම පස් දෙනකු ගෙන් එක් අයකු ම චීන ජාතිකයකු වන බවයි. ලොව වැඩි ම සම්පත් ප්‍රමාණයක් පරිභෝජනය කරන රටක් හැටියටත් ඒ අනුව චීනය නම් කරන්න හැකි බව පෙනේ. එසේ වුව ද ඇමෙරිකාව පසු කරන්නට නම් චීනයට තවම හැකියාවක් ලැබී නැත. චීනය ජන ඝනත්වය අනුව වර්ග කිලෝමීටරයකට පුද්ගලයන් 150ක් පමණ සිටින රටක් වන අතර ලෝකයේ බොහෝ රටවල මෙන් වැඩි ප්‍රමාණයක් ජනතාව නගරාශ්‍රිත ව ජීවත් වේ. එහෙත් වර්තමානයේ චීන ජනගහන දත්ත පෙන්වන්නේ ජනගහන වර්ධනය ක්‍රමයෙන් අඩු වන බවයි. මේ වන විට එය 0.47%ක් වන අතර එනිසා ලෝකයේ රටවල ජනගහන වර්ධන රටා අනුව 159 වැනි ස්‌ථානය හිමි කරගනී.
ලෝකයේ රටවල් අතුරින් වැඩි ම ජනගහන වර්ධන වේගයක් මේ වන විට පෙන්නුම් කරන්නේ ලෙබනනය බව වාර්තා වේ. එය 9.37%කි. මිලියන 4.5කට ආසන්න ජනගහනයක් වෙසෙන ලෙබනනයේ ජන ඝනත්වය අනුව වර්ග කිලෝමීටරයකට පුද්ගලයන් 362ක් පමණ වෙසෙන බව පෙනී යයි. ඊළඟට වැඩි ම ජනගහන වර්ධනයක් ඇති රට වන්නේ සිම්බාබ්වේ රාජ්‍යය වන අතර එය 4.36%ක් පමණ වේ. තෙවනුව දකුණු සුඩානය වන අතර එහි වර්ධන වේගය 4.12% පමණ වේ.ඒ අනුව ලෙබනනයේ ජනගහන වර්ධනය කොපමණ වේගවත් දැයි ඔබට හොඳින් වැටහෙනු ඇත. හතරවැනි ස්‌ථානය හිමි කරගෙන ඇත්තේ ජෝදානයයි.
ලෝකයේ වැඩි ම මර්ත්‍යතාවක් පෙන්වන්නේ දකුණු අප්‍රිකාවයි. වසරක දී සැම මිනිසුන් දහසකට ම 17 දෙනකු එහි මිය යන බව වාර්තා වේ. යුක්‌රේනයේ එය 16 දෙනකු පමණ වේ. තෙවැනි තැන ගන්නා ලෙසොතෝහි එය 15කි. චැද්, ගිනි බිසව්, බල්ගේරියාව, ඇෆ්ගනිස්‌තානය, මධ්‍යම අප්‍රිකානු ජනරජය, සෝමාලියාව යනාදී අප්‍රිකානු සහ සමහර මැදපෙරදිග රටවල් මෙහි දී පෙරමුණ ගන්නා බව වාර්තා අනුව පෙනී යයි. මේ මරණවලට ප්‍රධානව බලපාන්නේ කවර කාරණා යෑයි ඔබ සිතන්නේ ද? පළමුවැන්න වන්නේ ඒඩ්ස්, ඉබෝලා වැනි වසංගත ඇති වීමයි. දෙවැන්න අභ්‍යන්තර ආරවුල් නිසා ඇති වන යුද්ධයන් ය.
ඉහත කී එක් එක් රටවල් සම්බන්ධයෙන් එය සත්‍ය වුවත් සමස්‌තයක් වශයෙන් ගත් කල ඒ සදහා හේතු වන මූලික සාධක තරමක් වෙනස් බව වාර්තා වේ. වසර ගණනාවක් තිස්‌සේ එක් රැස් කරන ලද දත්තවලට අනුව පෙනී යන්නේ මේ සදහා ප්‍රධානව බලපාන අභ්‍යන්තර සාධකය වන්නේ මිනිසුන්ට සෑදෙන වසංගත නො වන ලෙඩ රෝග (බෝ නො වන රෝග) බවයි. වසංගත නො වන ලෙඩ රෝග ලෝක ජනගහනයෙන් සියයට පනහකට වැඩි ප්‍රමාණයක් වූ මරණවලට හේතු වී ඇත. එයින් ද හදිසි හෘදයාබාධ සහ ආඝාත ප්‍රමුඛ මාරකය වී ඇති බව පෙන්නුම් කරයි. ශ්වසන ආබාධ ද ඉදිරියට පැමිණෙමින් ඇත. ලෝකයේ මිනිසුන් ඉදිරියේ දී අනුගමනය කරන ආහාර රටා සහ ජීවන ක්‍රමවේද නිසා මේ තත්ත්වය තවත් උත්සන්න වනු ඇතැයි අපට අනුමාන කළ හැකි ය. එනම් තව කාලයක් යද්දී මනුෂ්‍ය මරණය තවදුරටත් සවාභාවික නො වනු ඇත.
මානසික ආතතතිය බොහෝ දියුණු රටවල බොහෝ මිනිසුන් අතර පවත්නා රෝගී තත්ත්වයකි. ඒ සදහා හේතු වන්නේ අධික ලෙස රාජකාරිවල නිරත වීම බව ද එහි දී ඇති වන විවිධ ගැටලුකාරී තත්ත්වයන් බව ද සොයාගෙන ඇත. විශේෂයෙන් ම බොහොමයක් පෞද්ගලික අංශවල රාජකාරියේ නිරත වූවන් මේ තත්ත්වයෙන් බොහෝ පීඩා විඳින බව හෙළි වී ඇත. අධික ලෙස නිදිවැරිම ද මේ තත්ත්වය උග්‍ර කරන තවත් සාධකයකි. හිතවතුන් ගෙන් සහ ඥාතීන් ගෙන් වෙන් වී කාලයක් තනි ව විසීම ද මේ තත්ත්වයට හේතු විය හැකි බව නවතම පර්යේෂණවලින් පැහැදිලි කර ඇත. තම ගැටලු සදහා නිසි පිළිතුරු නො ලැබීම සහ වැඩකටයුතුවල දී නිරතුරුව ම අසාර්ථක වීම ද දිගුකාලීනව මේ තත්ත්වය ඇති කරයි. ආතතියේ අවසානය සියදිවි හානි කරගැනීමයි. සියදිවි හානි කරගැනීම් වැඩි ම ප්‍රමාණයක් වාර්තා වන්නේ ගයනාවෙනි. ඒ ප්‍රමාණය වසරක දී පුද්ගලයන් ලක්‌ෂයකට 44ක් පමණ වී ඇත. දකුණු අප්‍රිකාවේ දී එය 29ක් පමණ වී ඇත. මෙහි දී තෙවැනි වන්නේ ශ්‍රී ලංකාවයි. ඒ ප්‍රමාණය ආසන්න වශයෙන් 28ක් පමණ වේ. මෙවැනි තත්වයකට ශ්‍රී ලංකාව පත් වූයේ මන්දැයි යන්න ඉතා විමසිල්ලෙන් සොයා බැලිය යුතු ය.
ආචාර්ය පත්මකුමාර ජයසිංහ