Wednesday, 4 September 2019

විදුපත්ඉරුව
30.09.2016


පශ්චාත් ආපදා කළමනාකරණය ගැන පහුගිය මැයි මාසේ සිට ඉතා පුළුල් ව සහ සංකීර්ණ ව බොහෝ අය කථා බහට ලක්‌ කළා. පසුගිය වාරවල මෙන්ම මෙවරත් නිසි ප්‍රතිපත්තියක්‌ සහ කාර්යක්‌ෂම වැඩපිළිවෙළක්‌ සකස්‌ වී නො තිබීම ඇත්තෙන් ම අප සැවොම කණගාටුවට පත් කරන කරුණක්‌. පසුගිය කාලය තුළ දී ම (පසුගිය දශක තුන ගනිමු) ස්‌වාභාවික සංසිද්ධීන් නිසා ආපදාවන් බොහොමයකට ශ්‍රී ලංකාව වරින් වර හසු වුණා කිව්වොත් නිවැරැදියි. ඒ අතර නාය යැම් ආපදා ප්‍රමුඛයි. එයට අමතරව ගංවතුර, සුළිසුළං පමණක්‌ නො වෙයි, නියඟය ද අප රට ඉතා දුෂ්කර තත්ත්වයකට අද දැම්මා කියන එකට ඔබ කවුරුත් එකඟ වේ වි. එක්‌ වරක්‌ පමණක්‌ සිදු වුණත් 2004 සිදු වූ සුනාමි ෙ€දවාචකය අප රටේ ආපදා කළමනාකරණය කෙරෙහි ගැඹුරෙන් සහ වගකීමෙන් යුතු ව බලන්නට සියලු පාර්ශ්වයන් පෙලඹවූ බව සත්‍යයක්‌. එහෙත් අප කවුරුත් හොඳින් දන්නා පරිදි මේ සියල්ල කිසියම් ස්‌ථානයක නතර වී ඇති බවත් නැවත නැවත පසුපසට සහ ඉදිරියට යමින් හෝ එක තැනක කැරකෙමින් සිටින බවත් තමයි මට නම් හැඟෙන්නේ. කෙසේ වෙතත් මෙවර ලැබුණු අධික වර්ෂාපතනය නිසා, විශේෂයෙන් ම කෑගල්ල සහ රත්නපුර දිස්‌ත්‍රික්‌කවලට බලපෑ නාය අනතුර සහ ගංවතුර උවදුර, පශ්චාත් ආපදා කළමනාකරණය ගැන උනන්දුවෙන් සිතා බැලීමට අවස්‌ථාවක්‌ ලබා දුන්නා යෑයි කිවොත් නිවරැදියි.

අනෙකුත් ආපදා හා සැලකීමේ දී අධික වර්ෂාපතනය හේතු කොටගෙන නිතර නිතර සිදු වන නාය යැම් ආපදා මෙරටට සිදු කරන හානිය සුළුපටු නැහැ. එනිසා දෛනික රාජකාරිවලට මෙන්ම මෙරටෙහි ආර්ථිකයට එල්ල කරන්නේ දැඩි බලපෑමක්‌. සැම නාය යැමේ ආපදාවක්‌ සමග ම කිසියම් ප්‍රමාණයකට ජනතාව එම ස්‌ථානයෙන් ඉවත් කරන්නට සිදු වීම විශාල අභියෝගයක්‌ වාගේ ම මෙරට මුහුණපානා ක්‌ෂණික වූත් අවිනිශ්චිත වූත් එහෙත් අනිවාර්යයෙන් කළ යුත්තක්‌. මේ ඉවත් කිරීම්වල දී නාය උවදුරු ප්‍රබලව දැනෙනා ස්‌ථානවල පදිංචි ජනතාව ඔවුන් ගේ ආරක්‌ෂාව සදහා ස්‌ථිරව එම ස්‌ථානවලින් ඉවත් කිරීමට සිදු වනවා. ඒ වාගේ ම තාවකාලිකව කළ යුතු ඉවත් කිරීම් වුවත් අධික වියදම් සහිත කටයුත්තක්‌. එනිසා මේ සැම අවස්‌ථාවක දී ම ඉතා කල්පනාකාරීව සහ සුපරීක්‌ෂාකාරීව තීන්දු තීරණ ගැනීමට සිදු වන බව අප වටහාගත යුතුයි. පළමුව වැදගත් වන කරුණ වන්නේ ජනතාව ගේ ජීවිත ආරක්‌ෂා කිරීමයි. නාය යැම් ආපදාවල දී, නාය යැමේ අවදානම ඇතැයිs කිසියම් හෝ සැක සංකාවක්‌ පැනනගින්නේ නම් ඒ සදහා ගත හැකි සුදුසු ම ක්‍රියාමාර්ගය වන්නේ ජනතාව එම ස්‌ථානවලින් වහා ම ඉවත් කිරීමයි.

තාවකාලික ඉවත් කිරීම්වල දී කිසියම් ප්‍රමාණයකට පරිපාලනමය තීරණ ගැනීමේ පහසුවක්‌ වන්නේ නාය යැමේ අනතුර පහ ව ගිය පසු (මධ්‍ය අවදානම් අවස්‌ථාවල දී) නැවත ජනතාව ඔවුන් ගේ සුපුරුදු ස්‌ථානවලට යෑවිය හැකි බැවින්. එහෙත් මේ තත්ත්වය හාත්පසින් ම වෙනස්‌ වන්නේ ස්‌ථිර ඉවත් කිරීම්වලදී. මේ තත්ත්වයට ලක්‌ වන සැම අයකුට ම තමා ගේ සුපුරුදු වාසස්‌ථානවලින් සදහට ම ඉවත් වන්නට සිදු වීම එම ජනතාවට එක්‌තරා ආකාරයකට විශාල මානසික පීඩාවක්‌ ඇති කරන බව නොඅනුමානයි. විනාශ වූ හෝ නැවත පදිංචි වීමට නොහැකි වූ හෝ අවස්‌ථාවල දී නව වාසස්‌ථාන ලබා දෙන තෙක්‌ ඔවුනට සිදු වන්නේ තාවකාලික කඳවුරුවල ජීවත් වන්නටයි. පවුලක්‌ ලෙස තනි ව ජීවත් වූ ජන කොටසකට මහා පිරිසක්‌ සමග කිසියම් කාලයක්‌ හෝ එක්‌ ව ජීවත් වීමට සිදු වීම විවිධ සමාජමය ගැටලු ඇති කරන්නට හේතු වන බව අමුතුවෙන් විග්‍රහ කරන්නට අවශ්‍ය නැහැ. එපමණක්‌ නො වේ. මේ කඳවුරු ජීවිතය නිසා ආපදාවට ලක්‌ වූවන් ගේ ආර්ථික ස්‌ථාවරත්වය කෙරෙහි විවධ ගැටලු පැනනගින බව අප වටහාගත යුතුයි. පශ්චාත් ආපදා කළමනාකරණය සදහා නිශ්චිත කඩිනම් ව ක්‍රියාත්මක කළ හැකි වැඩපිළිවෙළක්‌ අවශ්‍ය වන්නේ මේ නිසයි. ස්‌වාභාවික සංසිද්ධියක්‌ නිසා මෙලෙස නාය ආපදාවන්ට ලක්‌ වීමේ ස්‌වරූපය දෙආකාර බව පිළිගත යුතුයි. කිසිත් නො දන්නා එමෙන් ම පරිසරයේ දීර්ඝකාලීන ස්‌වාභාවික ක්‍රියා නිසා ඇති වන නාය යැමේ ආපදාවන්ට ලක්‌ වීම ඉතා පැහැදිලිව සාධාරණීකරණය කළ හැකියි. එහෙත් අධි අවදානම් කලාපවල දැන දැන පදිංචි වූවන්, උපදෙස්‌ අවවාද නො තකා තම ඉදිකිරීම් කළ අය සහ උපදෙස්‌ සහ පරික්‌ෂා කිරීම් නො කරගෙන තම වාසස්‌ථාන ඉදි කළ අය කෙරෙහි කෙලෙසක ක්‍රියා කළ යුතු ද යන්න ගැන පැහැදිලි තීරණයක්‌ ගත යුතු ව තිබෙනවා. මන්ද යත් ඔවුන් ගේ නොමනා ක්‍රියා රටේ ආර්ථිකය සහ ජනජීවිතය අවුල් කරන්නට හේතු වන බැවිනි.

අප ලද අත්දැකීම් අනුව වර්තමානයේ සිදු වූ බොහොමයක්‌ නාය යැම් අනතුරුවලට හේතු වී ඇත්තේ මිනිසා ගේ නොමනා ක්‍රියාකලාපයන් බවත් ඒවා අතිශය ආත්මාර්ථකාමී බවත් කිව යුතුයි. බොහෝ විට තම තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමේ දී ස්‌වාභාවික පරිසරය තුට්‌ටුවකට වත් මායිම් නො කර ඇති බව සිදු ව ඇති සමහර ව්‍යසන අධ්‍යයනය කිරීමේ දී පෙනී යන කරුණක්‌. කඳුකර කලාපයේ, විශේෂයෙන් ම දැනට නාය යැම් ආපදා සිදු වේ යෑයි ප්‍රකාශිත කඳුකර දිස්‌ත්‍රික්‌කවල භුමි පරිහරණ රටාව කෙරෙහි ඉතා සුපරීක්‌ෂාකාරී විය යුතු බව මෙවර සිදු වූ ෙ€දවාචකයෙන් වත් ජනතාව සහ පාලකයන් ඉගෙනගත යුතුයි. (එහෙත් අප උගත් පාඩම් කිසිත් නැත). අඩි 3500කට වඩා ඉහළ කඳුකරය මිනිස්‌ බාධා කිරීම්වලට තහනම් වුවත් කඳුකරයේ විවිධ ස්‌ථාන සලකා බැලීමේ දී මේ ස්‌ථාවරය වෙනස්‌ කර වඩාත් සියුම් කරුණු සැලකිල්ලට ගෙන තහනම් කලාප නිශ්චය කළ යුතු ව තිබෙනවා. විශේෂයෙන් ම කඳුකරයේ පිහිටි යම් කන්දක්‌ හෝ කඳුවැටියක්‌ හෝ සැලකීමේ දී එම කන්දේ පහළ සිට කිසියම් උසකින් මෙවැනි සංවේදී කලාප සටහන් කළ යුතුයි. එමෙන් ම මෙවැනි කලාපවල වගා කරනා බව බෝග පිළිබඳව ද ඉතා සැලකිලිමත් විය යුතු අතර කෘෂිකාර්මික ක්‌ෂේත්‍රය හා එක්‌ ව නව නීති රීති මාලාවක්‌ සම්පාදනය කළ යුතු බව මෙහි ලා අවධාරණය කළ යුතු ව තිබෙනවා.

අවදානමට පෙර සූදානම ගැන වෙන ම කතා කළ යුතු වන්නේ එවැනි ලක ලැහැස්‌තිවීම්, ආපදා හේතුවෙන් සිදු වන රටෙහි ආර්ථිකයේ ක්‌ෂණික කඩාවැටීම් වළකාලන්නට මහඟු පිටිවහලක්‌ වන බැවින්.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Tuesday, 3 September 2019

විදුපත් ඉරුව
26.04.2017

පසුගිය කාලයේ අප කතා බහට ලක්‌ කළේ කඳු නාය යැම් ගැන ය. එනිසා අවතැන් වූවන් ගැන ය. ආපදාවට ලක්‌ වූවන් එම ස්‌ථානවලින් ඉවත් කර සුරක්‌ෂිත ස්‌ථානවල රැඳවීම ගැන ය. පුදුමයක මහතෘ මෙන්න කඳු නොමැති කොළඹ නාය යන්නට පටන්ගෙන. නාය යන්නේ කුණු කඳු ය. මීටර පනහක්‌ පමණ උසට ගොඩනැගුණ මීතොටමුල්ල කසළ කන්ද පසුගිය දා නාය ගියේ ය. ඒ මිනිස්‌ ජීවිත 32ක්‌ අහිමි කරමිනි. තවත් සිය ගණනකට උන්හිටි තැන් අහිමි කරමිනි. දේපළ විශාල ප්‍රමාණයක්‌ හානියට ලක්‌ කරමිනි.

'කුණු කන්ද නාය ගියා නම් මිනිස්‌සු මැරෙන්න ඇත්තේ කුණුවලට යට වෙලා නේ' බොහෝ දෙනෙක්‌ පැවසූ හ. එහෙත් පින්තූර රුප රාමුවල එවැනි දෙයක්‌ දිස්‌ වූයේ නැත. හානියට ලක්‌ වූ නිවාස පිහිටි ස්‌ථාන කුණුවලින් යට වී තිබුණේ නැත. එසේ නම් මිනිසුන් මැරුණේ, දේපළ හානි වූයේ කෙසේ ද? හානියට ලක්‌ වූ ප්‍රදේශය ස්‌වාභාවික භුමි මට්‌ටමෙන් බොහෝ එසවී තිබුණු බව ඉතා හොඳින් පැහැදිලි විය. මෙහි දී සිදු වූ භූ විද්‍යාත්මක ක්‍රියාවලිය කුමක්‌ විය හැකි ද? සමහරුන් පැවසුවේ මීතේන් වායුව නිසා සිදු වූ පිපිරීමක්‌ නිසා කුණු කන්ද නාය ගිය බවයි.

මේ කසළ බැහැර කර ඇත්තේ පැරැණි කුඹුරකට ය. පහත් බිම් වන මෙවැනි ස්‌ථානයන්හි පස ගසාගෙන අවුත් තැන්පත් වූ සමහර විට කාබනික ද්‍රව්‍ය වැඩි අවසාදිත වේ. කලකට ඉහත දී සිදු කළ පර්යේෂණවලින් පැහැදිලි වී ඇත්තේ මේ ස්‌ථානය නිර්මාණය වී ඇත්තේ ඉහත කී ආකාරයේ පසකින් බවයි. මෙවැනි පස්‌/අවසාදිතවලින් සකස්‌ වූ භූමියක දරාගැනීමේ හැකියාව අඩු නිසා අධික බර පැටවීමේ දී දෙපසට විස්‌ථාපනය වීමේ හැකියාව පවතී. මෙය ඇත්තෙන් ම මැටි ගොඩකට ගලක්‌ පැටවූවා වැනි ය.

කසළ ටොන් ගණනාවක්‌ වසර ගණනාවක්‌ තිස්‌සේ මේ ස්‌ථානයට බැහැර කිරීම නිසා, ඉතා විශාල කුණු කන්දක්‌ නිර්මාණය විය. තෙතමනය සහිත කසළ වෙන් කිරීමකින් තොර වීම නිසා සියලු කුණු මෙහි ගොඩගැසුණ අතර කුණු ප්‍රමාණය වැඩි වත් ම සමතුලිත ව තිබූ භුමිය යටට තෙරපෙන්නට විය. මේ තෙරපීම් සැම විට ම දුර්වල කලාප ඔස්‌සේ වර්ධනය වී ඇති අතර වසර ගණනාවකට ඉහත දී සිට මෙහි ප්‍රතිඵල සැමට දිස්‌ වන්නට විය. මේ ආසන්නයේ වූ ගෙවල්වල බිත්ති ඉරිතැලීම්, පොළෝ පිපිරීම් මෙන්ම එකිනෙක ආසන්නයේ වූ ගෙවල් ළං වන බව ද එහි දී ප්‍රදේශවාසීහු නිරීක්‌ෂණය කළ හ. කුණුවල බර වැඩි වීම හේතු කොටගෙන පහළට එල්ල වූ තෙරපුම පසෙහි ස්‌වභාවය හේතු කොටගෙන භූ අභ්‍යන්තරයෙන් පාර්ශ්විකව ද පැතිරෙන්නට හේතු වී තිබේ. (රූපය 1)

මෙලෙස පාර්ශ්විකව පැතිරුණ තෙරපුමට එක්‌තරා දුරක දී සීමාකාරී වන්නට සිදු වන්නේ ඔබ්බෙන් පිහිටි කබොක්‌ භුමිය ආරම්භ වීමෙනි. කබොක ඉතා තද ශක්‌තිමත් ද්විතීයික පාෂාණයක්‌ වන අතර ඉතා කදිමට බර දරාගැනීමේත් තෙරපුම දරා ගැනීමේත් හැකියාව පවතී. දිගින් දිගට ම සිදු වූ කසළ පැටවීම නිසා පහළට ද පාර්ශ්විකව ද වැඩි වූ තෙරපුමට ලක්‌ වූ අවසාදිත කබොක්‌ තට්‌ටුවේ දරාගැනීම නිසා ක්‍රමයෙන් ඒ ආසන්නයෙන් ඉහළට එසවෙන්නේ ඒ සදහා පහසුවෙන් ඉහළට අවකාශය සකස්‌ කරගත හැකි නිසාවෙනි. වසරකට පමණ පෙර කාලය තුළ මේ තත්ත්වය නිරීක්‌ෂණය කළ බව ප්‍රදේශවාසීහු පවසති.

කාලයත් සමග වැඩි බර තුලනය කරගෙන සිටිය ද තවදුරටත් දරාගැනීමේ හැකියාව 14 වැනි දා පස්‌වරුව වන විට මේ අවසාදිත තට්‌ටුවලට හැකියාව තිබුණේ නැත. එනිසා ඉතා ක්‌ෂණයකින් මීටර 50ක්‌ පමණ උස කසළ කන්දෙහි බරෙන් තෙරපී මිරිකි මිරිකී තිබු අවසාදිත පාර්ශ්විකව තල්ලු වී තෙරපුම නිදහස්‌ කළේ කබොක ආසන්නයේ වූ භුමිය ඉහළට ඔසවා දමමිනි. ඉතා වේගයෙන් සිදු වූ මේ සිදුවීම නිසා භුමියේ ගොඩනගා තිබූ නිවාස සුන්බුන් බවට පත් විය. (රූපය 3)

කසළ අපජලය කළමනාකරණය නො කිරීමත්, කසළ ගොඩගැසීම ක්‍රමානුකුලව සිදු නො වීමත් භූ අභ්‍යන්තර ජල මට්‌ටම වැඩි වන්නට හේතු වෙයි. මෙනිසා තත්ත්වය තවදුරටත් අයහපත් කරන අතර භූ අභ්‍යන්තර අවසාදිත/පස්‌වල දරාගැනීමේ හැකියාව තව තවත් හීන කරයි.

ශ්‍රී ලංකාවේ මෙවන් ඇබැද්දියක්‌ සිදු වූ ප්‍රථම වතාව ය මෙය. මෙවැනි පරිසරවල බොහෝ විට සිදු වන්නේ මීතේන් වායුව නිසා ඇති වන ගිනි ගැනීම් ය. නැත හොත් අභ්‍යන්තර පිපිරීම් ය. එහෙත් සිදු ව ඇති සංසිද්ධිය හේතුවෙන් සටහන් වූ සාක්‌ෂි හොඳින් ග්‍රහණය කළේ නම් අප ඉහත කළ පැහැදිලි කිරීම මේ සදහා හේතු වූ කරුණ කුමක්‌ දැයි හෙළි කරයි.

මේ කරුණු කාරණා අධ්‍යයනය කිරීමෙහි ලා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ක්‍රියා කළ ආකාරය පැසසුම්සහගත ය. තම අවුරුදු නිවාඩුව පවා අහිමි කරගනිමින් ජාතික අවශ්‍යතාවක්‌ වෙනුවෙන් ඔවුන් සිදු කළ කැප කිරීම මෙරට සියලු විද්‍යා වෘත්තිකයන් හට කදිම ආදර්ශයකි. එහි අධ්‍යක්‌ෂ ජනරාල්තුමන් වන ආචාර්ය ආසිරි කරුණාවර්ධන, නාය යැම් පර්යේෂණ සහ අවදානම් කළමනාකරණ අංශයේ අධ්‍යක්‌ෂ, ආර්.එම්.එස්‌. බණ්‌ඩාර සහ භූ තාක්‌ෂණ ඉංජිනේරු අංශයේ අධ්‍යක්‌ෂ කේ. එන්. බණ්‌ඩාර යන මහත්වරුන් එහි අවදානම් තත්වය සමනය කිරීමට අවශ්‍ය තාක්‌ෂණික සහාය ලබා දීමෙහි ලා පෙරමුණ ගැනීම ඉතා අගය කළ යුතු ය. එමෙන් ම එම හදිසි අවස්‌ථාවේ සිට මේ වන තෙක්‌ ආරක්‌ෂක අංශ අමිල මෙහයක්‌ ඉටු කරමින් සිටින අතර ඔවුන් ගේ ඉවසීම, කැප වීම සහ නොපමාව කටයුතු සිදු කිරීම ඉතා ම ප්‍රශංසනීය ය.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Monday, 2 September 2019

විදුපත්ඉරුව
31.05.2017

හිටිහැටියෙ ම වැටුණ වැස්‌සට මෙච්චර විපතක්‌ වෙයි කියලා හිතුවේ නෑ මහත්තයෝ. නැතිනං අපිට අයින් වෙන්න කියලා කියලයි තිබුණේ."

මෙවැනි කථා සැම නාය ආපදාවකට පසු කිහිප තැනකින් ම අසන්නට ලැබෙන බව කිව යුතු ය. මෙහි ගැඹුරු අර්ථය නම් මෙරට වගකිවයුතු ආයතන ලබා දෙන උපදෙස්‌ මහජනතාව නො සලකා හරින බව නොවේ ද? වසර ගණනාවක්‌ තිස්‌සේ පර්යේෂණ කරමින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් දියුණු කරනු ලැබූ නාය ආපදා සිතියම් සැලකිල්ලට ගන්නේ මෙරට නාය අවදානමට ලක්‌ වන ජනතාව ගෙන් කොපමණ පිරිසක්‌ ද යන්න මෙවැනි ආපදාවක දී තේරුම්ගත හැකි ය.

වසරක දී ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සිදු කරන දැනුවත් කිරීම් ප්‍රමාණය සිය ගණනකි. මෙවැනි දැනුවත් කිරීමේ වැඩසටහන් දැනට දශක දෙක තුනක සිට ම සිදු කරනු ලැබේ. මේ දැනුවත් කිරීම්වල දී අදාළ ප්‍රදේශවල නාය යා හැකි ස්‌ථාන හඳුනාගනු ලබන අතර ව්‍යසනයක දී එම නාය යා හැකි ස්‌ථාන මගහැර ආරක්‌ෂිත ස්‌ථානවලට ළඟා විය හැකි මාර්ග පවා නම් කර ජනතාව පෙර සූදානම් කර ඇත. ග්‍රාමීය නාය ආපදා කමිටු බිහි කර නාය ආපදාවක දී ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව ද පැහැදිලිව දැනුම් දී ඇත. එපමණක්‌ නො ව සැම වර්ෂා කාලයක දී ම මාධ්‍ය හරහා පූර්ව අනතුරු ඇඟවීම් සිදු කරනු ලබන අතර මාධ්‍ය සාකච්ඡා බොහෝ ප්‍රමාණයක්‌ හරහා දැනුවත් කෙරෙන්නේ ද මේ මහජනතාව ම ය. ඉඳින් උපදෙස්‌ නො පිළිපැදීම නිසා මෙරටට අහිමි වන මිනිස්‌ ජීවත හා දේපළවලට වගකියන්නේ කවුරුන් ද?

කඳුකර ප්‍රදේශවලට අමතරව කොළඹ, ගම්පහ සහ කුරුණෑගල දිස්‌ත්‍රික්‌ක ද නාය ආපදා සිදු වන ප්‍රදේශ ලෙස නම් කර ඇත්තේ සුවිශේෂී හේතුවක්‌ නිසා ය. ඒ මෙම ප්‍රදේශවල අධිකව සිදු වන ජනතාව ගේ අනවශ්‍ය සහ අපරීක්‌ෂාකාරී මැදිහත්වීම් හේතුවෙන් අස්‌ථාවර වන භූ ස්‌කන්ධයන් ය. භූ තාක්‌ෂණ උපදෙස්‌ නො පිළිපදිමින් සිදු කෙරෙන සංවර්ධන කටයුතු නිසා මේ ප්‍රදේශවල බොහෝ ස්‌ථාන අස්‌ථාවර වී ඇති බව සත්‍යයකි. නව නිවාස ඉදි කිරීම, ඒ සදහා අවශ්‍ය මහා මාර්ග ද ඇතුළු අනෙකුත් යටිතල පහසුම් වැඩි දියුණු කිරීම පමණක්‌ නො ව තම ගෙවතුවල සිදු කරන වගා කටයුතු පවා නාය ආපදා සක්‍රිය කිරීම සදහා දායකත්වය සපයන බව සිදු කර ඇති අධ්‍යයනවලින් පෙනී ගොස්‌ ඇත.

නාය ආපදා සමීක්‌ෂණ, විමර්ශන, පර්යේෂණ සහ නාය ආපදා අවම කිරීමේ භූ තාක්‌ෂණ ශිල්පීය ව්‍යාපෘති මගින් ජනතාව ගේ සුරක්‌ෂිතතාව තහවුරු කරන්නට වෙහෙසෙන කලක එවැන්නක්‌ තුට්‌ටුවකට මායිම් නො කරමින් හිතුමනාපයට ක්‍රියා කිරීම ජාතික වශයෙන් රටක්‌ අගාධයට හෙළන්නක්‌ බව අප කවුරුත් තේරුම්ගත යුතු ය. නාය ආපදා සිදු වන හෝ සිදු ව ඇති ස්‌ථානවලට ගොස්‌ භූ විද්‍යාඥයන්/භූ ඉංජිනේරුවන් ලබා දෙන නියෝග සහ උපදෙස්‌ විටෙක අවඥාවෙන් බැහැර කෙරෙන අවස්‌ථා ගැන ඔවුනට බොහෝ අත්දැකීම් ඇත. ආපදාවක්‌ සිදු වූ විට තමනට නිසි උපදෙස්‌ නො ලැබුණ බවට කරන චෝදනා නම් එමට ය. තම වටපිටාව පිළිබඳව අවබෝධයෙන් නො සිටීම ම ආපදාවට ලක්‌ වීමට හේතුවක්‌ බව අප තේරුම්ගත යුතු ය.

අවම මානව සම්පත් මත යෑපෙමින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දිස්‌ත්‍රික්‌ක 13ක සිදු වන නාය ආපදා ආවරණය කරන බව සැලකිය යුතු ය. ක්‍රමවත් භූමි පරිහරණ රටාවකට හුරු කිරීම උදෙසා කඳුකරයේ සිදු කරන සංවර්ධන කටයුතු යාමනයට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ගෙන ඇති පියවර ගණනාවකි. තම ඉඩම තෝරාගැනීමේ දී හෝ නිවස ඉදි කිරීමට යැමේ දී එම ස්‌ථානය නාය ආපදාවලින් මුක්‌ත දැයි නිර්ණය කිරීම සදහා අවශ්‍ය විශේෂඥ උපදෙස්‌ ලබා දීමට පියවර ගෙන ඇත. ඒ සදහා සුළු ගෙවීමක්‌ කිරීමට සිදු වුව ද දිගුකාලීනව ජනතාව ලබාගන්නා ලාභයක්‌ බව සිතට ගත යුතු ය. මේ ක්‍රියාවලිය පවා නීතිගත නො වූයේ නම් භූමි අපහරණය මීට වැඩි විය හැකි ය. ඒ වුව ද බොහෝ දෙනකු එම කර්තව්‍යය පවා සිදු කරවාගැනීමට මැළිකමක්‌ දක්‌වන බව පෙනී යයි.

නාය ආපදා පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් සිදු කිරීම අසීරු බව අප තේරුම්ගත යුතු ය. ඒ මන්ද යත් මේ සිදුවීම Rජු ව ම භූ ක්‍රියාකාරිත්වයන් හා බැඳී පවතින නිසාවෙනි. වැටෙන වර්ෂාව ද පාංශු ස්‌තර නිර්මාණය වීම මත ද එලෙස නිර්මාණය වූ පාංශු ස්‌තර මත ඇති වන වන වැස්‌ම ද මිනිස්‌ ක්‍රියාකාරකම් නාය ආපදා ඇති කිරීම කෙරෙහි බලපාන බව දැනගත යුතු ය. ගතික ක්‍රියාදාමයක ස්‌ථාවර දත්ත පැවතිය නොහැකි ය. එනිසා කාලීනව සිදු වන වෙනස්‌කම් ග්‍රහණය කරගැනීම ඉතා අපහසු අතර පූර්වයේ ලබාගන්නා දත්ත යාවත්කාලීන කරගැනීම සඳහා ද විශාල ප්‍රාග්ධනයක්‌ පමණක්‌ නො ව මානව සම්පතක්‌ ද අවශ්‍ය වෙයි.

කෙසේ වෙතත් නාය ආපදා නිසා සිදු වන මිනිස්‌ ජීවිත හානි අවම කරගැනීම සඳහා මෙරට ජනතාව ගේ අත්‍යන්ත සහාය අවැසි බව සියල්ලන් ම වටහාගත යුතු ය. නැරඹීමේ කුතුහලයෙන් පෙළෙන ජනයාට නායක්‌ යැම ද සංචාරක ස්‌ථානයක්‌ බවට පත් කරගැනීමට ගත වන්නේ සුළු මොහතකි. රොත්ත පිටින ඇදෙන මේ අය තමන් පා තබන්නේ මරණය කරා බව තේරුම්ගත යුතු ය. වර්ෂා කාලයේ දී සක්‍රිය වන නාය යැම්, ඇති වන තෙත් සහිත බව නිසා නැවත නැවත ඇති විය හැකි ය. ඒ බැව් පසුගිය වසරේ අරණායක සිදු වූ නාය ආපදාවෙන් පැහැදිලි වෙයි. එවැනි ස්‌ථාන නැරඹීමට ගොස්‌ අනතුරට ලක්‌ වූ මිනිසුන් ගැන මෙවර වාර්තා වන්නේ ඇහැලියගොඩ ප්‍රදේශයෙනි. මෙනිසා වගකීමෙන් වැඩ කරන නිලධාරීන් සහ රාජ්‍ය සේවකයන් පමණක්‌ නො ව මහජනතාවක්‌ ද අවැසි බව තරයේ ම කියා සිටිමු.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Sunday, 1 September 2019

විදුපත් ඉරුව

02.08.2017

නව නිපැයුම් සහ නවෝත්පාදන නොමැති නම් ලෝකයේ ඉදිරි ගමනක්‌ ගැන සිතිය නොහැකි ය. මුනිදාස කුමාරතුංගයන් 'අලුත් අලුත් දේ නො තනන ජාතිය ලොව නො නගී' යෑයි පැවසුවේ ඒ බව ය. රටක ජාතියක අභිවෘද්ධිය සඳහා නම් නව නිර්මාණ අවශ්‍යයෙන් ම කළ යුතු වන බව අප පිළිගත යුතු ය. ලෝකය ජයගැනීමේ කලාවේ කොඳු නාරටිය වන්නේ නව නිපැයුම් බව කිව යුතු ය.

නව නිපැයුම් සහ නවෝත්පාදන යනු නිර්මාණශීලී බවේ සංකේතයයි. රාමුවෙන් ඔබ්බට සිතීම ද, දැකීම ද, නව නිර්මාණ සඳහා හේතු වන බව මතකයේ රඳවාගත යුතු ය. මේ සඳහා බොහෝ උදාහරණ ඇත. තම ඔළුවට වැටුණු ඇපල් ගෙඩිය කා දමන්නේ නැතිව ඒ ඔස්‌සේ තම මනස මෙහෙයවූ නිව්ටන් ලොවට ගුරුත්වාකර්ෂණ සිද්ධාන්තය ඉදිරිපත් කළේ ය. කතෝලික පල්ලියේ දර්ශනයට අනුගත නො වූ ලුවී පාස්‌චර් රෙදි කැබැලිවලින් මීයන් බෝ නො වන බව හෙළි කළේ ය.

නව නිපැයුම් සඳහා හේතු වන තවත් කරුණක්‌ වන්නේ යම් කිසි ගැටලුවකට පිළිතුරක්‌ සෙවීමට අවැසි බවයි. එම ගැටලුවෙන් මිදීම ප්‍රමුඛ වීම තරගකාරී ප්‍රවේශයකට මගපාදයි. කාලීන අවශ්‍යතාවන් මෙහි දී කැපී පෙනෙන අවස්‌ථාවන් ලබා දෙයි. උදාහරණයක්‌ ලෙස ගත හොත් දෙවැනි ලෝක යුද සමයේ හිට්‌ලර් ගේ අවශ්‍යතාව වූ පහසුවෙන් කාන්තාරයේ ගමන් කළ හැකි රථයක්‌ නිපදවීමෙහි ප්‍රතිඵලය 'වොක්‌ස්‌වැගන්' කාරයයි. 'යුරේකා' යෑයි හඬ නඟමින් ආකිමිඩිස්‌ නිරුවතින් දිව යැමට හේතු වූයේත් ඔහු පෙළුE රජ ගැටලුවට විසඳුමයි.

බොහෝ දෙනකු නව නිපැයුම් ගැන කතා කරන විට සිහියට නගාගන්නේ රොබෝවරුන් තැනීම වැනි දේ ගැන ය. ඇත්තෙන් ම එය එසේ ම විය යුතු ද? නව නිපැයුම් සහ නවෝත්පාදන යනු එවැනි භෞතික දෑ ම විය යුතු ද? මා සිතෙන්නේ එය එසේ විය යුතු නැති බවයි. මයිකල් ජැක්‌සන් නමැති ලො ප්‍රකට සංගීතවේදියා නව ආරක සංගීතයක්‌ ලොවට ඉදිරිපත් කළේ ය. ලොකු කුඩා කවුරුත් හොඳින් හඳුනන බෲස්‌ලි ඉතා අපූරු සටන් කලාවක්‌ ලොවට දායාද කර ඇත. පිකාසෝ ගේ චිත්‍ර ලොව පවතින අපූරු නිර්මාණ බව කවුරුත් පිළිගනිති. මුත්තයියා මුරලිදරන් ක්‍රීඩා ලොව ජයගත්තේ නිර්මාණශීලී පන්දුකරණය නිසා ම ය. මේ ඔබ අප හොඳින් දන්නා උදාහරණ කිහිපයක්‌ පමණි.

නවොත්පාදකයකු වූ නිකොලා ටෙස්‌ලා ගැන මෙහි දී කතා නො කර ම බැරි ය. ඒ ඔහු නව නිපැයුම් ලොවෙහි, ප්‍රබල චරිතයක්‌ වන බැවිනි. විද්යුත් ලෝකය කණපිට පෙරළුE නව නිපැයුම් රාශියක්‌ ලොවට හඳුන්වා දෙන්නට ඔහු සමත් විය. පේටන්ට්‌ බලපත්‍ර හය සිය ගණනකට උරුමකම් කියන්නට ඔහුට හැකියාව ලැබිණි.

රැහැන් නොමැති විද්යුත් සම්ප්‍රේෂණ ක්‍රමවේදය ලොවට හඳුන්වා දීමේ ගෞරවය හිමි වන්නේ ද ටෙස්‌ලාට ය. මෙහි දී තවත් වැදගත් වන කරුණක්‌ නම් 'ලොවෙන් එකෙක්‌ එක දෙයකට වෙයි සමත' යන කියමන ඔහුට නම් කෙසේ වත් අදාළ නො වීමයි. ඒ ඔහු ගේ දක්‌ෂතාව විෂය ක්‌ෂේත්‍ර ගණනාවක්‌ කරා විහිදී පැතිරී තිබූ නිසා ම ය. වඩා වැදගත් වන්නේ ටෙස්‌ලා ගේ නව නිර්මාණ මානව සංස්‌කෘතියේ ප්‍රගමනය සඳහා ප්‍රබල දායකත්වයක්‌ ලබා දීමයි.

කවුරුන් සිදු කළ ද නව නිපැයුම් හෝ නවෝත්පාදන හෝ මානව සංස්‌කෘතියේ ප්‍රගමනයට හේතු නො වන්නේ නම් නිර්මාණශීලී බවෙහි අගයක්‌ නො රැෙදනු ඇත. ඇල්µ්‍රඩ් නොබෙල් ගේ නව නිපැයුම වූයේ 'ඩයිනමයිට්‌' ය. එහෙත් එහි නරක ප්‍රතිඵල තවත් අප විඳිමින් සිටින බව කිව යුතු ය. දුරදිග නො බලා, නො සිතා කරන නිර්මාණවලට යම් තැනක්‌ ලැබුණ ද, නොබෙල් ගේ හෘදය සාක්‌ෂියට එකඟ නො වූවා සේ කෙදිනක හෝ අදාළ නිර්මාණකරුට පසුතැවෙන්නට සිදු වන බව අමතක නො කළ යුතු ය.

අධිෂ්ඨානශීලී බව සහ තම අරමුණ අත් නො හැරීම නවෝත්පාදකයකු සතු ව තිබිය යුතු ප්‍රධාන ම ගුණාංගය වන්නේ ය. තෝමස්‌ අල්වා එඩිසන් ගේ මව ගේ වූ නොපසුබට කැප වීම නො වන්නට මානසික ආබාධිත දරුවකු ලෙස පාසලෙන් නෙරපූ ඔහුට ලොව ජයගන්නට සමත් අධ්‍යාපනික පසුබිමක්‌ නො ලැබෙනු ඇත. එඩිසන් බොහෝ වතාවක්‌ උත්සාහ නො කරන්නට ලොවට ආලෝකය ලබා දිය හැකි උපකරණයක්‌ බිහි නො වන්නේ ම ය. දුර්ලභ දරුණු ස්‌නායු රෝගයකින් පීඩා විඳින භෞතික විද්‍යාඥයකු වන ස්‌ටීවන් හොව්කින් ගේ අප්‍රතිහත ධෛර්යය ඉතා අගය කළ යුතු ය. ඔහු විශ්වයේ සම්භවය පිළිබඳ නව සිද්ධාන්ත ලොවට ඉදිරිපත් කරන්නේ එක්‌තැන් ව සිට එක්‌සිත් ව කල්පනා කර බලමිනි.

කොපමණ නව නිපැයුම් සිදු කළ ද ඒවා වෙළෙඳපොළට සංක්‍රමණය නො වන විට ප්‍රතිඵලදායි ලාභය යම් රටකට නො ලැබෙනු ඇත. එනිසා වඩා වැදගත් වන්නේ ආර්ථිකමය ලාභය වැඩි කරගැනීම පිණිස නව නිපැයුම් වෙළෙඳපොළට යෑවීමට විධිමත් වැඩපිළිවෙළක්‌ සකස්‌ කිරීමයි. ස්‌වර්ණමය අවස්‌ථාවන් වන එවැනි නව නිපැයුම් සහ නවෝත්පාදන අප වෙතින් ගිලිහී නො යන්නට වගබලාගත යුතු ය. රේ විජයවර්ධන ගේ අපූරු නිර්මාණය මෙරට වෙළෙඳපොළට නො යෑවීමට එකල මෙරට රජය ගත් ඊර්ෂ්‍යාකාර තීන්දුව මෙරටට අහිමි කරන ලද්දේ ඩොලර් මිලයන ගණනක අනාගත ආයෝජනයක්‌ බව අමතක නො කළ යුතු ය. තවමත් මෙරට ඉහ නිකට පැහුණ මිනිසුන් ගේ කුහකකම ද ඊර්ෂ්‍යාව ද ප්‍රභලව ඇති කලෙක මෙරට නවෝත්පාදන සහ නව නිපැයුම්වලින් ආර්ථික ලාබ ලබන්නට නොහැකි බව අප තේරුම්ගත යුතු ය.

මානව ගෙනෝම ව්‍යාපෘතිය ඇමෙරිකානුවන් විසින් දියත් කරන ලද්දේ බොහෝ දෙනකු ගේ අකැමැත්ත ගණනකට නො ගෙන ය. ඒ සඳහා වැය වූ මුදල ඩොලර් බිලියන 2.7කි. එහෙත් අද වන විට ඉතා සාර්ථකව මුදල් උපයන උල්පතක්‌ වී ඇති බව පෙනෙන්නේ එයින් ලබන ලාභය කොපමණ දැයි ගණනය කරන විට ය. එම ව්‍යාපෘතිය උදෙසා වැය කළ මුදලේ සැම ඩොලරයකින් ම ඩොලර් 141ක්‌ අද උපයන බව සැළ වෙයි.

නිර්මාණශීලී අදහස්‌ සහ උත්පාදන ඇති වීම සහ ක්‍රියාත්මක කිරීම උදෙසා මෙරට වගකිවයුත්තන් වත්මනට වඩා සුබදායි පරිවර්තනයක්‌ සිදු කළ යුතු ව ඇත. ඉහත කතා කළ දෑ සැලකිල්ලට ගන්නේ නම් එය එතරම් ගැටලුවක්‌ නො වන බව තේරුම්ගත හැකි ය.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Sunday, 25 August 2019

විදු පත් ඉරුව19.04.2019

සිදු වන ව්‍යසනය ද එය සිදු වන්නේ කවර දා දැයි පැවසීම ද වරෙක ආපදාවක්‌ මවන්නේ නියපොත්තෙන් කඩන්නට ඇති දේ පොරොවෙන් කපන්නට ඉඩ හැරීමෙන් පමණක්‌ නො ව පය බරවායට පිටිකර බෙහෙත් බැඳීමෙන් ලෙඩ ඔඩු දිවීම නිසා ද බව මීතොටමුල්ල ෙ€දවාචකය අපට පැහැදිලි කර දෙන සත්‍යයයි. ඩිමෝ බඩියකට අලියකු පැටවීම කොහෙත් ම කළ හැක්‌කක්‌ නො වේ. එවිට සිදු වන්නේ කුමක්‌ දැයි අපට හොඳින් පැහැදිලි වේ. කෙසේ නමුත්, මේ ලියන මොහොත වන තුරු ද සිද්ධියෙන් මිය ගිය සංඛ්‍යාව කොපමණ දැයි නිශ්චිතව ගණනය කළ හැකි වී නොමැත. මෙවන් අවස්‌ථාවක ආපදා කළමණාකරණය සංවිධානගත වී දැයි ගැටලුවක්‌ ද පැනනගියි. දහවල ද නැවත නැවතත් වළේ වැටෙන්නේ නම් එය එළිය පිළිබඳ ප්‍රශ්නයක්‌ නො ව දැක්‌ම පිළිබඳ ගැටලුවක්‌ බව අප තේරුම්ගත යුතු ය.

මෙරට කුණු ගැන කථා කරන්නේ දශක ගණනාවක සිට ය. විසදුම් සොයන්නේ විද්වතුන් නො ව දේශපාලකයන් ය. විද්වතුන් දේශපාලකයන් වීම කෙතරම් කදිම දැයි අප කල්පනා කළ කාලයක්‌ විය. එහෙත් එවැන්නන් ගෙන ආ අඳුරු ආදර්ශ නිසා අප ගේ සිතිවිල්ල පුස්‌සක්‌ වී ඇති බව මේ වන විටත් පැහැදිලි වී හමාර ය. විද්වතුන් දේශපාලකයන් වීමෙන් සැම විට ම පලක්‌ වන්නේ ද නැත.

කොළඹ කුණු ප්‍රශ්නයට පැහැදිලි පිළිතුරක්‌ මේ වන තුරුත් ලැබී නොමැත. මෙරට විශ්වවිද්‍යාල බොහෝ පර්යේෂණ සිදු කරමින් කසළ කළමනාකරණයට අවැසි මහඟු සහායක්‌ මේ වන විටත් ලබා දී ඇත. ඒවා ප්‍රායෝගිකව යෙදවීමේ හැකියාවක්‌ ඇති දැයි බැලීමට කුමන හෝ කලක මෙරට බලයට පත් වන රජයක්‌ උත්සාහ කර ඇත් දැයි ඔබට මතකයට නැගිය හැකි ද?

මීතොටමුල්ලට සිදු වූ ෙ€දවාචකය මෙරට තවත් කොහේ හෝ තැනක ගොඩගැසෙන කුණු කන්දකට සිදු විය හැකි ය. එනිසා කුණු ගොඩ ගැසීමට වඩා ගොඩ අඩු කරගන්නා ක්‍රමවේදයන් ගැන සිතිය යුතු ය. මෙරට විවිධ හේතුන් නිසා භාවිතයට ගත හැකි භූමියේ ඉඩ සීමා වෙමින් පවතී. ඉදිරියේ දී එය ද බරපතළ කාරණයක්‌ වනු ඇත. ඉදිරි අනාගතයේ දී ජනගහනය වැඩි වීම නිසා පවතින සැම අස්‌සක්‌ මුල්ලක්‌ නෑර ඔවුන් ගේ පදිංචිය තහවුරු වෙයි. එය මෙරට පම්පෝරි ගසනා නගර නිර්මාණකරුවන් ගේ පිළුණු වූ සංකල්පවල ප්‍රතිඵලයක්‌ වනු ඇත. මෙවැනි තත්ත්වයක්‌ යටතේ ඔවුන් නාමිකව ගෙන එන ආපදා ප්‍රත්‍යස්‌ථ නිවාස ඉදි කරන්නේ කොහේ දැයි කල්පනා කර බැලිය යුතු ය.

නො දිරන කසළ බොහොමයක්‌ නැවත වාරයක්‌ භාවිතයට ගත හැකි ය. විශේෂයෙන් ම වීදුරු සහ යකඩ අත්‍යශ්‍යයෙන් ම නැවත භාවිත නො කරන්නේ නම් නිෂ්පාදනය සදහා අවැසි අමුද්‍රව්‍ය දිනෙක හිඟ වනු ඇත. විවිධ වර්ගවල පොලිතින් ද නැවත භාවිතයට ගත හැකි ය. මේ සදහා නම් මහජනතාව ගේ සහාය අවශ්‍ය වේ. ඉදින් ඔවුන්ට පිරිසිදුවට පොලිතින් ලබා දිය හැකි නම් ප්‍රතිචක්‍රීකරණය කිරීම මොන කඡ්ජක්‌ දැයි සිතේ. කඩදාසි ඉවත ලන්නේ නැවත නිෂ්පාදනයට කැපෙන වෘක්‌ෂ මෙපමණ ප්‍රමාණයක්‌ දැයි අවබෝධයක්‌ ඇති ව නම් නො වේ. ඉතා පහසුවෙන් ප්‍රතිචක්‍රීකරණය කර කඩදාසි නැවත භාවිතයට ගත හැකි ය. මෙය ගෘහස්‌ථ කර්මාන්තයක්‌ ලෙස වුව පත්වාගෙන යා හැකි ය. ඉදින් ඔබත් මේ ගැන අවධානය යොමු කරන්නේ නම් ගොඩ ගැසෙන කසළ ගොඩ අඩු කරන්නට කුඩා හෝ දායකත්වයක්‌ හෝ ලබා දිය හැකි ය.

ජීව වායු උත්පාදනය සදහා අපූරු අමුද්‍රව්‍ය කාබනික කසළ මඟින් සැපයෙන බව අමුතුවෙන් විස්‌තර කිරීම අවශ්‍ය නැත. ධන උල්පතක්‌ පාදාගන්නට මේ කදිම අවස්‌ථාව ප්‍රයෝජනයට ගන්නකු නම් නැත. ඒ සදහා මහඟු අවස්‌ථා මෙරට විද්වතුන් එළිදක්‌වා ඇත. මොරටුව විශ්ව විද්‍යාලයයේ මහාචාර්ය අජිත් ද අල්විස්‌ මහතා ඇතුළු පර්යේෂකයන් පිරිසක ත්‍රී රෝද රථ ධාවනය සදහා ජීව වායු භාවිතය ගැන අත්හදා බැලූ හ. එය ඉතා සාර්ථක බව පර්යේෂණ ප්‍රතිඵලවලින් පැහැදිලි වී ඇත. එහෙත් මේ ඉවත ලන ටොන් ගණන් වූ කාබනික කසළ භාවිතයෙන් ජීව වායු උත්පාදනය ගැන, පවතින එකදු හෝ රජයක්‌ සලකා නො බලන්නේ මන්දැයි යන්න ගැටලුවක්‌ නො වන්නේ ද?

කුණු ප්‍රශ්නය මෙරටට පමණක්‌ ආවේනික වූ ගැටලුවක්‌ නො ව අනෙක්‌ රටවල ද ඇත්තා වූ ගැටලුවක්‌ බව පවසමින් සමහර උදවිය මෙය තනුක කරන්නට උත්සාහ කරන බව පෙනී යයි. ඒ ඔවුන් ගේ නොහැකියාව වසා ගැනීමට බව ය අපට නම් සිතෙන්නේ. ලෝකයේ අනෙක්‌ රටවල එසේ වුව ද මේ සදහා විසදුමක්‌ සොයා නො ගන්නේ නම් ශ්‍රී ලාංකිකයන් ලෙස අප පැරදුණු ජාතියක්‌ වනු ඇත. මේ සදහා ක්‍රියාත්මක වීම බිම් මට්‌ටමේ සිට ම සිදු විය යුතු බව ය අප ගේ හැඟීම වන්නේ.

තම තමන් ගේ නිවාසවල සහ කාර්යාලවල දිනෙක දී ඉවත ලන කෑම ප්‍රමාණය කොපමණ දැයි කල්පනා කර බලන්න. මේ උත්සව කාලයේ ගොඩ ගැහෙන කඳු ගණන් උස ඉවත ලන කෑම කියා පාන්නේ අනවශ්‍ය ගොඩ ගැසීමක ප්‍රතිඵල නො වේ ද? බුදු දහමේ කියා දෙන සංකල්ප ්‍රsaක්‍රියාත්මක කරන්නට සිහි තබාගන්නේ නම් මෙලෙස නො වනු ඇත. තමනට අවැසි ප්‍රමාණය බෙදා ගැනීමට නිතර සිහි තබාගත යුතු ය. 'ඉවතලෑම' අඩු කිරීමට සිහිතබාගත යුතු ය. එය අංක එක විය යුතු ය. සැම විටක ම එම සංකල්පය පිළිපැදීමට සිහි තබාගත යුතු ය.

කෙසේ වෙතත් කොළඹ කුණු සදහා වගකිවයුතු වන්නේ කොළඹ ජනතාව පමණක්‌ නො වේ. දිනකට කොළඹට එන ලක්‌ෂ ගණනක ගේ කුණු ද මේ ගොඩට ම එකතු වේ. එනිසා සුපුරුදු රාජකාරි සදහා කොළඹට පැමිණෙන්නන් ගෙන එන කුණු කොළඹ ඉතිරි නො කරන්නට වගබලාගත යුතු ය.

වල්මත් වූ දේශපාලන පක්‌ෂවල පුද්ගලයන් ගේ උද්ඝෝෂණවලට ද කන් දෙන්නට සිදු වුව හොත් සිදු වන්නේ නිසි තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමට නොහැකි වීම ය. විද්වත් මතිමතාන්තර සැලකිල්ලට ගෙන නිසි දේ ක්‍රියාත්මක කරන්නේ නම් මෙවැනි විපත් තව දුරටත් සිදු නො වනු ඇත.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Saturday, 24 August 2019

විදු පත් ඉරුව
12.04.2017

බක්‌ මහේ විශේෂත්වය ශ්‍රී ලාංකික අනන්‍යතාව පිළිබිඹු කරන සිංහල අලුත් අවුරුද්දයි. කවරකු කෙසේ කීවත්, කවර අර්ථකතන දුන්නත් සිංහලයා ගේ නිර්මාණශීලිත්වය සහ අදීනත්වය හඬ ගා කියන්නේ මෙමගින් බව බොහෝ දෙනකු තේරුම් ගන්නේ නැත. ඉතා කදිම අනන්‍ය වූ චාරිත්‍ර වාරිත්‍රවලින් පිරිපුන් සිංහල අලුත් අවුරුද්ද ගෙවී යන වසරේ අවසානයත් එළඹෙන වසරේ ආරම්භයත් සනිටුහන් කරයි.

සිංහල අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර අතර ජලයට ලැබෙන්නේ ද ඉහළ ප්‍රමුඛතාවකි. සැම සුබ කටයුත්තක්‌ ද පටන් ගැන්මේ දී ඉදිරියට එන ජලය පිරි කළය ගෙන එන්නේ සුබ පණිවිඩයකි. ජීවයේ අඛණ්‌ඩතාව රඳා පවත්නේ ජලය මත බව හොඳින් තේරුම්ගත් අපේ මුතුන් මිත්තෝ ජලයට ගෞරව කළ හ. එමෙන් ම එය රැකගැනීම සදහා කදිම සංරක්‌ෂණ ක්‍රමවේද නිර්මාණය කළ හ. ජලය රැස්‌ කර, නැති කල ප්‍රයෝජනයට ගැනීමට උපාය උපක්‍රම ලෙස ඉතා කදිම විස්‌මයජනක වාරි තාක්‌ෂණයක්‌ බිහි කළ හ. සැමට භාවිතයට ගත හැකි ලෙස දියුණු භෞතික මෙන්ම සමාජ ක්‍රමවේද ද ඇති කළ හ. ඒ එතරමට ජලයේ වටිනාකම හඳුනාගෙන තිබූ බැවිනි.

නා නා අයුරින් අපට පිහිට වන ජලයට ප්‍රතිඋපකාර කරන්නට සිංහලයාට වැදගත් වූ සිංහල අලුත් අවුරුද්දේ ඔවුන් අමතක කරන්නේ නැත. සිංහලයා, ඉතා වැදගත් චාරිත්‍රයක්‌ වූ සැමට පළමු සිදු කරන ගනුදෙනු චාරිත්‍රයේ, ප්‍රමුඛතාව දෙන්නේ ජලයත් සමග කරන ගනුදෙනුවට ය. කළයත් රැගෙන යන ගෘහ මූලික කාන්තාව (අම්මා) කළය ජලයෙන් පුරවා ගන්නේ ළිඳට කාසියක්‌ ද අඟුරු කැබැල්ලක්‌ ද එක්‌ කරමිනි. කාසිය මුදල් ගනුදෙනුව පිළිබිඹු කරන අතර අඟුරු කැබැල්ල ප්‍රතිඋපකාරය සංකේතවත් කරයි. අඟරු කදිමට විෂ උරා ජලයෙන් එම විෂ ඉවත් කරන බව මා ඔබට අමුතුවෙන් විස්‌තර කරන්නට අවැසි වන්නේ නැත.

එවැනි සංස්‌කෘතියක්‌ තුළ ජීවත් වූ අප අද ජලයට කෙතරම් කුරිරු ලෙස සලකන්නේ ද යන්න කතා කළ යුතු ය. අධිරාජ්‍යවාදී පාලන කාලයේ පටන් සිදු වූ සමාජ පෙරළිය මෙරට සංස්‌කෘතිය උඩු යටිකුරු කර ඇති අයුරු රුසියානු ලේඛකයකු වූ මෙරට සංචාරය කළ ඉවාන් බූනින් කදිමට සිය නිර්මාණවල සඳහන් කරයි. පළමුව සිදු වූ මෙරට නාගරික ජනතාව ගේ පෙරළිය ඔහු ගේ නිර්මාණවල පැහැදිලි කර ඇති අයුරු ආකර්ෂණීය ය. පරිසරය තම ජීවයේ කොටසක්‌ ලෙස සලකමින් තිබූ ජාතියක්‌ විනාශ මුඛයට ඇද දමා ඇති අයුරු දැන් දැන් සිදු කරන පාරිසරික දූෂණය අපට පසක්‌ කර දෙන බව පැවසිය යුතු ය.

එලෙස විකසනය වූ කොළඹ අද වන විට නාගරීකරණයේ උච්චතම අවස්‌ථාව පසු කරන බව හොඳින් පැහැදිලි වේ. මතුපිට ජල මූලාශ්‍ර සියල්ල නැවත භාවිතයට ගත නොහැකි ලෙස දරුණු ලෙස දූෂණයට ලක්‌ වී ඇති බව බේරේ වැව දෙස බැලීමේ දී පැහැදිලි වේ. කොළඹ ජනතාව ගේ සියලු කුණු කන්දල් කිසිදු වග විභාගයකින් තොර ව එක්‌ කිරීම නිසා අඳුරු පැහැති ජලයෙන් පිරි බේරේ වැව ද ඒ ආශ්‍රිත ඇළ මාර්ග පද්ධතිය ද අද අපට කියාපාන්නේ අපූරු ජලසංස්‌කෘතියක අවසානයයි. මෙතරම් වටිනාකමකින් යුක්‌ත ජල සම්පත භාවිතයට ගැනීමට නොහැකි වීම තුළ පිටස්‌තර ජල සැපයුම මත ම යෑපෙන්නට අද අපට සිදු වී ඇත. හදිසි ජල විසන්ධි වීම් නිසා නාගරික ජනතාව කෙතරම් අපහසුතාවට පත් වන්නේ ද බව කිව යුතු නො වේ.

දිනෙන් දින වර්ධනය වන ජල දූෂණය නවතාලිය නොහැකි වේ යෑයි අප සිතිය යුතු නැත. මේ සදහා අවැසි වන්නේ ක්‍රමවත් වැඩපිළිවෙළක්‌ පමණි. ඒ තුළ ජල සංරක්‌ෂණයේ වැදගත්කම අවබෝධ කරගත යුතු ය. කොළඹ ඇල වේලි තුළින් ගලා යන ජලය සුපිරිසුදු විය යුතු බව ය අප ගේ හැඟීම.

මේ සදහා ක්‍රියාත්මක වන්නේ කෙසේ ද? මෙහි දී නීතිරීති තදින් ක්‍රියාත්මක කළ යුතු ය. දූෂිත වූ ජලය එකතු කිරීම වහා නතර කළ යුතු ය. නිවෙස්‌වල මෙන්ම ආපන ශාලා ඇතුළු සියලු වෙළෙඳසල්වල එකතු වන අප ජලය පිරිපහදු නො කර බේරේ වැව සහ ඒ අවට ජල මූලාශ්‍රවලට එකතු කිරීම නො කළ යුතු ය. ඒ සදහා පිරිපහදු ක්‍රමවේදයන් හඳුන්වා දිය යුතු ය. ඉතා පහසුවෙන් ක්‌ෂුද්‍ර පෙරහන් මගින් ජලයෙන් දූෂකකාරක පෙරා වෙන් කළ හැකි ය. නැත හොත් වෙනත් ක්‍රමවේදයක්‌ උත්පාදනය කළ යුතු ය. නාවෝත්පාදකයන්ට මෙය කදිම අවසථාවක්‌ මෙන්ම අභියෝගයක්‌ ද වනු ඇත.

නැවත නැවත දූෂිත ජලය එකතු වීම නැවැත්වීම තුළ තවදුරටත් මේ ජල නිධිවලට දූෂකකාරක එකතු වීම නවතිනු ඇත. දැන් කළ යුත්තේ එහි වූ දුෂිත ජලය පිරිසිදු කිරීමයි. මේ සදහා විවිධ ස්‌ථානවල සවි කළ හෝ පා වන ජල පෙරණයන් භාවිත කළ හැකි ය. මූලිකව කිසියම් ආකාරයකට බලශක්‌ති වැය වීමක්‌ සිදු වන මුත් එයට වඩා වැදගත් වන්නේ කොළඹ මතුපිට ජල නිධිවල සුපිරිසිදුභාවයයි. ජල පිරිපහදුව සදහා ජෛවීය ක්‍රමවේද වුව භාවිත කළ හැකි ය. මෙරට නවොත්පාදකයන් ගේ දෙවැනි අභියෝගය වන්නේ මෙයයි. දූෂිත මතුපිට ජලය පිරිසිදු කළ හැකි ක්‍රමවේදයක්‌ යෝජනා කර ක්‍රියාත්මක කිරීමයි.

කොළඹ මතුපිට ජල නිධි නැවත යථා තත්ත්වයට පත් වන දවස ගැන අදහසක්‌ නොමැති වුවත් එවැනි සිහිනයක්‌ ගැන වත් අප සිතිය යුතු ය. මෙරට විවිධ පර්යේෂණ ආයතනවල අයාලේ යන පර්යේෂණ සහ මෙරට මරි මෝඩ පාලකයන් ගේ කෙස්‌ පැලෙන තර්ක කිරුළු පළඳින තාක්‌ මෙන්ම මුදල ද, තම පෞද්ගලික අවශ්‍යතාවල ද පමණක්‌ ප්‍රමුඛ කරගත් මෝඩ ඡන්දදායකයන් ද සිටින තාක්‌ මෙය කළ නොහැකි බව පසු ගිය කාල වකවානුව පුරා ම ඉතා කදිම උදාහරණ දෙමින් නැවත නවතත් අප හට ඔප්පු කර ඇත.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Friday, 23 August 2019

විදු පත් ඉරුව
29.03.2017

පෘථරිවිය බිහි වූයේ මින් වසර බිලියන 4.6 කට පෙර ය. මහා පිපිරුම නිසා විසිරුණු දුහුවිලි වලාවක්‌ ක්‍රමයෙන් සංකෝචනය වීමෙන් පෘථරිවිය සහිත මේ සූර්යග්‍රහ මණ්‌ඩලය නිර්මාණය විය. එහි ජීවයේ නියමුවා වූයේ පෘථරිවියයි. දසත පැතිර තිබූ දුහුවිලි අධික තාපයක්‌ සමග සංකෝචනය වූයේ ඝනැති පාෂාණ නිර්මාණය කරමිනි. ක්‍රමයෙන් සිසිලනයට ලක්‌ වූ පාෂාණ තට්‌ටු වරෙක එක්‌ වෙමින් ද නැවත වෙන් වෙමින් ද නො නවතින ගමනක නිරත වෙමින් පවතී. මේ අතර ජීර්ණයට ලක්‌ වූ මිහිපිට වූ පාෂාණ අවසාදිත නිර්මාණය කරමින් මුහුදු පත්ලේ තැන්පත් විණි. තවත් වරෙක මිහි ලිය ගිලගත් පාෂාණ තට්‌ටු දිය කරමින් ලෝදිය නිපැදවිණි.

එලෙස නිර්මාණය වූ පෘථරිවි තල අතර වූ එක්‌ අපූරු තලයක ය අප රට පිහිටන්නේ. ජුරාසික යුගයේ දී ම ඉන්දියානු තලයෙන් වෙන් ව තනි ව ගමනක යෙදෙන ශ්‍රී ලාංකීය භූ තලය අද දවසේ ඔබ අප ගේ නිවහන වන්නේ ය. දූපතක්‌ ලෙස මෙදින එය දිස්‌ වන්නට හේතු වූයේ එම වෙන් වීමයි. භූ විද්‍යාඥයන් පවසන අන්දමට වසරකට මිලිමීටර එකක පමණ වේගයකින් ඉන්දියාවෙන් වෙන් ව ඕස්‌ටේ්‍රලියාව දෙසට පා වෙමින් පවතින ශ්‍රී ලාංකේය භුමි භාගය කාවරී ෙද්‍රdaණිය කෙමෙන් පුළුල් කරයි.

ශ්‍රී ලංකාවේ භූ විද්‍යාත්මක පසුබිම ඔබ අප සියලු දෙනා දැනගත යුතු ව ඇත. ප්‍රොaටෙරොසොයික්‌ යුගය ශ්‍රී ලංකා භුමි භාගය නිර්මාණය කරන්නට හේතු වූ කාලවකවානුවයි. ඒ වසර මිලියන 2000කට පමණ පෙර ය. ලොව බිහි වූ මුල් ම පාෂාණ ගිනිකඳු පිපිරීම් නිසා ද භූ තල ක්‍රියාකාරකම් නිසා ද නැවත නැවත චක්‍රීයකරණය වන්නට විය. මෙහි දී ජීර්ණය ද ප්‍රමුඛ කාර්යභාරයක්‌ ඉටු කළේ ය. එමගින් බිහි වූ අවසාදිත මුහුදු පත්ලේ තැන්පත් වූ අතර වරින් වර පොළෝ අභ්‍යන්තරයෙන් පිපිරී ඉහළට ආ ලෝදිය සමග මිශ්‍ර විය. ශ්‍රී ලාංකේය භූමි භාගයේ නිර්මාණය එසේ ඇරඹුණු අතර එය එතරම් ම සරල සිදුවීමක්‌ නො වන බව ද අප සිහි තබාගත යුතු ය. දීර්ඝ කාලයක්‌ තිස්‌සේ සිදු වන මෙවැනි පෘථිවි ක්‍රියාදාමයන් සැම විට ම සංකීර්ණ වෙයි.

වසර මිලියන පන් සියයක්‌ පමණ වූ කාලයේ සිදු වූ තවත් අපූරු ක්‍රියාවලියක්‌ හේතුවෙන් ෙද්‍රdණිගත වූ ඉහත කී පූර්වජ අවසාදිතවල ද අවසාදිත පාෂාණවල ද සිදු වූ විපරියාසය ශ්‍රී ලංකා භුමිභාගය නිර්මාණයට හේතු විය. එය විපරිතකරණය නම් වේ. පෘථිවි තල අතර වූ තෙරපීම මේ විපරිතකරණය සිදු කරවී ය. අවසාදිතකරණය හේතුවෙන් මුහුදු පත්ලේ නිර්මාණය වූ පූර්වජ අවසාදිත සහ අවසාදිත පාෂාණ මෙනිසා විපරිතකරණය විය. ඒ හා සමග වූ ලෝදියෙන් නිර්මාණය වූ පාෂාණ ද විපරිතකරණයට ලක්‌ විය. විපරිතකරණය මුළුමනින් ම වෙනස්‌ වූ පාෂාණ ගොනු බිහි කරන්නට හේතු විය.

මේ විපරිතකරණයෙන් ශ්‍රී ලකා භුමි භාගය නිර්මාණය කළ පාෂාණ බහුතරයක්‌ විපරිත පාෂාණ බවට පත් විණි. විපරිතකරණයේ අපූරු සිහිවටන එම පාෂාණ තුළ තැන්පත් කෙරිණි. ඝන මාධ්‍යයේ සිදු වූ ප්‍රතිඛනිජකරණය විපරිතකරණය සිදු වන විට තිබූ පාරිසරික තත්ත්වවලට ගැලපුණු කදිමට ඛනිජ බිහි කරන්නට හේතු විය. ඝන මාධ්‍යයේ සිදු වන ස්‌ඵටිකීකරණය විස්‌මයජනක භූ රසායනික ක්‍රියාවලියකි. විපරිතකරණය සිදු වෙද්දී ඇති වන පීඩනය ද අධික තාපය ද මේ ප්‍රතිඛනිජකරණයට මගපාදයි. ඛනිජ යනු රසායනික සංයෝග වේ. ඒවා නිර්මාණය වන්නේ විවිධ මූලද්‍රව්‍ය මිශ්‍රණයෙන් වන අතර විපරිතකරණයේ දී වෙනත් ඛනිජ බවට පත් වීමේ දී මේ මූලද්‍රව්‍ය ද පැරැණි ඛනිජ තුළින් ගිලිහී නැවත මිශ්‍ර ව අලුත් ඛනිජ බිහි කරයි. ඇදහිය නොහැකි කරුණ වන්නේ මේ සියල්ල ඝන මාධ්‍යයේ සිදු වීමයි. විපරිතකරණයේ විස්‌මය එයයි.

විපරිතකරණයේ දී අවසාදිත සහ අවසාදිත පාෂාණ සුවිශේෂී විපරිත පාෂාණ බවට පත් වේ. බොහොමයක්‌ අවසාදිතවලට ලාක්‌ෂණික වනුයේ ඇලුමිනියම් අධික වීමයි. එහෙත් විපරිතකරණයෙන් බිහි වන පාෂාණවල රසායනයේ වෙනසක්‌ සිදු නො වේ. සිදු වන්නේ ඛනිජ සංයුතිය වෙනස්‌ වීමයි. එනිසා ඇලුමිනියම් වැඩි විපරිත ඛනිජ බිහි වනුයේ නව පාෂාණ නිර්මාණය කරමිනි. රබහා, කොරන්ඩම්, සිලිමනයිට්‌ හා කයනයිට්‌ වැනි ඛනිජ ඇලුමිනියම් අධික පාෂාණවල ලාක්‌ෂණික වේ. මේ ඛනිජ බොහොමයක්‌ ශ්වේත වර්ණ වේ.

අවසාදිතවල සහ අවසාදිත පාෂාණවල වූ 'ප්‍රාග් ජීව ධාතුන්' සහ ඒවායේ සටහන් විපරිතකරණය නිසා විනාශ වී යයි. එනිසා සියලු විපරිත පාෂාණවල මෙවැනි 'ප්‍රාග් ජීව ධාතුන්' රැඳෙන්නේ නැත. අවසාදිත පාෂාණවල වූ සියලු ලක්‌ෂණ මෙනිසා ඉතිරි වන්නේ නැත. එපමණක්‌ නො ව, ලෝදිය මගින් නිර්මාණය වූ පාෂාණවල වූ ලක්‌ෂණ ද ඛනිජ සංයුතිය ද වියෑකී යන්නේ විපරිතකරණය නිසාවෙනි. ඓහෙත් රසායනයන්හි නො සිදු වූ වෙනස්‌කම් නිසා විපරිතකරණයෙන් පසු මේ පාෂාණ වර්ග කර හඳුනාගැනීම එතරම් ම අපහසු නො වේ.

ශ්‍රී ලංකාව බිහි කළ බොහොමයක්‌ විපරිත පාෂාණ නයිස්‌ නම් වූ වර්ගයට අයත් වේ. ඉහළ ම තත්ත්වවල දී නිර්මාණය වූ උසස්‌ විපරිත පාෂාණ වන මේ පාෂාණ එයට ලාක්‌ෂණික වන එකිනෙක පරයා සැකසුණු කළු සහ සුදු පැහැ වර්ණ රටාවන් ගෙන් සමන්විත වේ. ශ්‍රී ලංකාවේ භුමිය නිර්මාණය වන්නේ ප්‍රධාන පාෂාණ සංකීර්ණ තුනක්‌ මගින් වන අතර ඒවායේ පූර්වජයන් ගේ බිහි වූ කාල සීමාව පදනම් කරගත් කාල නිර්ණයෙන් මූලිකව වෙන් කර හඳුනාගනී. ඊසාන-නිරිත දිශානුගත ව විහිදෙන මේ පාෂාණ සංකීර්ණ තුන හඳුන්වන්නේ උතුරේ සිට වන්නි, උස්‌බිම් සහ විජයානු සංකීර්ණ ලෙස ය. මධ්‍යයේ වන උස්‌බිම් සංකීර්ණය වසර මිලියන 2100ක්‌ පමණ පැරැණි අතර ඉතිරි සංකීර්ණ දෙක වසර මිලියන 1100ක්‌ පමණ වෙතැයි ගණනය කර ඇත. ඒ අනුව භූ විද්‍යාඥයන් පවසන්නේ ශ්‍රී ලංකාව පිහිටන්නේ ලොව පැරැණි ම පාෂාණ කලාපයක බව ය.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

පත්මෙගේ භූ විද්‍යා අන්දර   07 කිරින්ද  එතිහාසික වශයෙන් පමණක් නොව භූ විද්‍යාත්මකවත් වැදගත් වන ස්ථානයකි. කිරින්ද විහාරය ස්ථානාපනය වී ඇත්තේ ග...