Wednesday 13 November 2019

 කළු රත්තරන්වලින් හදන ප්ලාස්‌ටික්‌ 
Original article was publsihed in Divaina, 13.11.2019.
http://divaina.com/daily/index.php/visheshanga3/35613-2019-11-12-13-12-50.
 
අපි කවුරුත් හොඳින් දන්න, හැමවෙලේම ඕනෑ වන ප්ලාස්‌ටික්‌ සරල කාබනික සංයෝග බහුඅවයවීකරණයේ ප්‍රතිඵලයක්‌. බොහෝ විට එතිලීන් නමැති කාබනික සංයෝගය තමයි මේ සඳහා යොදාගන්නේ. එතිලීන් ලබාගන්නේ 'කළු රත්තරන්' වලින්. මොනවා මේ කළු රත්තරන්? කළු රත්තරන් ලෙස හඳුන්වන්නේ බොර තෙල්. ඛනිජ තෙල් කියලත් හඳුන්වනවා. එහෙම නැතිනං පොසිල ඉන්ධන කියලත් කියනවා.
 
 බොර තෙල් කියන්නේ කාබනික සංයෝග එකතුවක්‌. කාබන් සහ හයිඩ්‍රජන් අඩංගු මේ කාබනික සංයෝග හයිඩ්රෝකාබන් ලෙස හඳුන්වන අතර, වසර මිලියන ගණනාවක්‌ භූ අභ්‍යන්තරයේ පැසීම හේතු කොටගෙන තමයි බොරතෙල් බවට පත්වෙන්නේ. හැබෑටම කොහොමද බොරතෙල් නිෂ්පාදනය වෙන්නේ. සාගර පත්ලේ සිදුවන භූ විද්‍යාත්මක සංසිද්ධියක අතුරු ප්‍රතිඵලයක්‌ ලෙසයි බොරතෙල් නිෂ්පාදනය වන්නේ. බොර තෙල් නිෂ්පාදනයට අමුද්‍රව්‍ය සපයන්නේ මුහුදු ජීවින්. මුහුදේ වසන සාගර ජීවීන්ගේ මරණයෙන් පසු ඔවුන්ගේ දේහයන් තැන්පත් වෙන්නේ මුහුදු පත්ලේ. මුහුදු පත්ලේ තියෙන මුහුදු කළිල (මඩ) එක්‌ක මිශ්‍ර වෙමින් ක්‍රමයෙන් යටවෙන මේ ජීවී දේහයන් කාලයත් සමග උෂ්ණත්වය සහ පීඩනය වැඩිවීම හේතු කොටගෙන වෙනත් කාබනික ද්‍රව්‍ය බවට පත් වී බොර තෙල් නිෂ්පාදනය වෙයි.
 
 බොරතෙල් නිෂ්පාදනයට හේතුවෙන්නේ සාගර සතුන්ගේ දේහයන්. ශාක දේහයන් මෙලෙස තැන්පත්වීමෙන් නිර්මාණය වෙන්නේ ගල් අඟුරු සහ පීට්‌. ඒ වෙනස අප හොඳින් දැනගත යුතුයි. කාබනික ද්‍රව්‍ය සහිත අපාරගම්‍ය සාගර අවසාදිත වල උෂ්ණත්වය දිගුකාලීනව වැඩිවීම හේතුකොටගෙන මුලින්ම කෙරෝජින් (Kerogene) නමැති රසායනය බිහිවන අතර ඒවා සෙන්ටිගේ්‍රඩ් අංශක 60 - 120 ට පමණ රත්වීම හේතුකොටගෙන බොරතෙල් බවට පත්වේ. බොරතෙල් බිහිවන පරිසරය ඔක්‌සිජන් රහිත පරිසරයක්‌. බොහෝ විට මෙමගින් ඇතිවන හයිඩ්රොකාබන් ඉතා සැහැල්ලු අතර ජලයේ ඝනත්වයටත් වඩා අඩු නිසා නිෂ්පාදනය වන ස්‌ථානයේම රැඳෙන්නේ නැත. සැහැල්ලු හයිඩ්රෝකාබන් බොහෝ විට වායුන් වන අතර මෙම නිධි මඟින් බොරතෙල්වලට අමතරව කාබනික වායුන් ද නිෂ්පාදනය වීම නිසා බොහොමයක්‌ බොරතෙල් නිධිවල ඉහළ කොටස පිරී ඇත්තේ මෙම කාබනික වායුන් වලිනි.
 
 සැහැල්ලු මෙවැනි පොසිල කාබනික ද්‍රව්‍ය පැසීමෙන් පසු වසර දහස්‌ ගණනාවක්‌ තිස්‌සේ වෙනත් ස්‌ථානයකට තැන්පත්වීම සඳහා ගමන් කරන අතර ඒ සඳහා බොහෝ විට වැලි ගල් වැනි ඉතා හොඳින් කුහර සහ විවර සහිත පාරගම්‍ය පාෂාණයක්‌ තිබිය යුතුය. බොරතෙල් නිෂ්පාදනයේ විශේෂත්වය අප හොඳින් තේරුම්ගත යුතුය. එක්‌ ස්‌ථානයක ඇති කාබනික ද්‍රව්‍යවලින් සුපෝෂිත සාගර කළිල (මඩ) වලින් නිෂ්පාදනය වන බොරතෙල් සහ වායුන් තැන්පත්වන්නේ තවත් ස්‌ථානයකයි.
 
 මෙවන් තෙල් නිධි ලෝකයේ බොහෝ ස්‌ථානවල හමුවෙනවා. පැරණිම කාබනික ද්‍රව්‍ය නිධි වලින් නිර්මාණය වූ තෙල් මුණගැහෙන්නේ ඔස්‌ට්‍රේලියාවෙන්. එම තෙල් වසර බිලියන 3 ක්‌ පමණ පැරණි බවයි පැවසෙන්නේ. එවැනිම තෙල් දකුණු අප්‍රිකාවේ සහ කැනඩාවේ ද හමුවන බවයි භූ විද්‍යාඥයන් පවසන්නේ. ලෝකයේ වඩාත්ම විශාලතම තෙල් නිධි හමුවන්නේ වෙනිසියුලාවෙන් බවයි පැවසෙන්නේ.
 
 අප ඉන්ධන පිරවුම්හලට ගොස්‌ ලබා ගන්නේ මෙලෙස නිෂ්පාදනය වූ බොරතෙල් බිඳ හෙළීමෙන් ලබාගන්නා හයිඩ්රෝකාබන් ඉන්ධන වන අතර අප අමතක නොකළ යුත්තේ මේවා වසර මිලියන ගණනාවකට පෙර සාගර ජීවින් විසින් ගබඩා කරන ලද සූර්ය ශක්‌තිය බවයි.

 ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Wednesday 6 November 2019


එදිනෙදා ජිවිතයට භූ විද්‍යාව

වෙලාව කියන තිරුවානා
Original article was published in Divaina, 06.11.2019



ක්වාට්ස් (quartz) යනු අපි කවුරුත් හොඳින් දන්නා තිරුවාන ගල්වල ඛණිජ  විද්‍යාත්මක නාමය. හැදිලා තියෙන්නේ සිලිකන් සහ ඔක්සිජන් වලින්. මේ ඉතා අපුරු සංයෝගයේ ස්ඵටිකවලට ඇත්තේ ත්‍රිමාණිය හැඩයක්. සිලිකන් පරමාණුව වටා ඔක්සිජන් පරමාණු හතරක් සම්බන්ධ වීමෙන් තමයි සිලිකන් ඩයොක්සයිඩ් (සිලිකා) අණුව නිර්මාණය වෙන්නේ. ජීවින් නිර්මණය කරන්නට කාබන් මූලික වෙනවා සේම, අකාබනික ලෝකය නිර්මණය කරන්නට සිලිකන් තමයි මූලිකත්වය ගන්නේ. ලෝකයේ බහුතරයක් පාෂාණ නිර්මණය කරන්නට දායකත්වය දෙන්නේ සිලිකන්. සිලිකා සහිත ඛණිජ බොහොමයක් ඕනෑම පරිසරයක හඳුනාගන්නට පුළුවන්. සිලිකා ඛනිජය ජීර්ණයට ඉතා ප්‍රතිරෝධී ඛනිජයක්. ඒ නිසා පරිසරයේ බහුලවම මුණු ගැහෙන ඛනිජය කියලා හඳුන්වන්නත් පුළුවන්.

සිලිකා අපේ ජිවිතයට නැතිවම බැරි දෙයක් බවට පත්වෙලා. හැමදාම අපි  සිලිකා (තිරුවානා) ස්ඵටිකයක් අතේ එල්ලගෙන යනවා කියලා ඔබ දන්නවද? ඒ කොහොමද එහෙම වෙන්නේ.? ඔවු අපි සිලිකා ස්ඵටිකයක් අතේ එල්ලගෙන යනවා තමයි. හැබැයි නිකන්ම සිලිකා ස්ඵටිකයක් අපි එල්ලගෙන යන්නේ නැහැ. මේ තිරුවානා ස්ඵටිකය තියෙන්නේ අපි අතේ බඳින ඔරලෝසුව ඇතුලේ. අත් ඔරලෝසුව බොහෝ දෙනෙකු භාවිතා කරන උපකරණයක්, වෙලාවට වැඩ කලේ නැතත්.

මොකට ද හැබෑටම ඔරලෝසුවට සිලිකා ස්ඵටිකයක්. එමගින් තමයි වෙලාව නිවැරදිව පවත්වාගෙන යන්නේ. ඒ කියන්නේ නියමිත කාලාන්තරයකට අනුව කටු වැඩකරන්නේ මේ සිලිකා ස්ඵටිකයක් හින්දා. කුඩා ඔරලෝසුවක ඇති සිලිකා ස්ඵටිකයේ ප්‍රමාණය ඔබට හිතාගන්නට පුළුවන් වේවි නේ. යාන්ත්‍රික ඔරලෝසුවට වඩා හොඳින් නිවැරදි වෙලාව දක්වන්න සිලිකා ස්ඵටිකයන් සහිත ඔරලෝසුවට (quartz watch) පුළුවන්. එතකොට කොහොමද සිලිකා ස්ඵටිකයෙන් නිවැරදි කාලාන්තරයක් ලබා දෙන්නේ. මේ සඳහා උපයෝගී කර ගන්නේ සිලිකා වල සුවිශේෂී ගුණයක්. ඒ තමයි පිඩ විද්‍යුත් ගුණය (piezoelectric property). මොකක් ගැනද මේ කියන්නේ. සිලිකා ස්ඵටිකයට පිඩනයක් ලබා දුන්නොත් ස්ඵටිකය හරහා විද්‍යුත් ධාරාවක් ඇතිකරවන්න පුළුවන්. සාමාන්‍ය අවස්ථාවේ එහෙම වෙන්නේ නැහැ.

සිලිකා ස්ඵටිකයක් නැමීමකට ලක් කළහොත්  එක් එක්  තල ඔස්සේ ඉලෙක්ට්‍රොන එකතුවී විද්‍යුත් ධාරාවක් ජනනය කරවන්නට පුළුවන්. එහි ප්‍රතිවිරුද්ධය එනම් එක්තරා විද්‍යුත් ධාරාවක් එක් ස්ඵටික තලයක් ඔස්සේ දුන් විට සිලිකා ස්ඵටිකයක් නැමීමට ලක් කරන්නට හැකියි. මේ අපුරු ලක්ෂණය නිසා තමයි සිලිකා ස්ඵටික ඔරලෝසු සංධා භාවිතා කරන්නේ. එම ගුණය නිසා රිද්මයකට ඇතිවන් කම්පනය ඔරලෝසු කටුවලට ලබා දීමෙන් නියත කාලාන්තරයක් ඔස්සේ චලනය වීම පවත්වාගෙන යන්න පුළුවන්. එය දිගු කාලීනව නිවැරදිව වෙලාව දක්වන්න ලබා දෙන්නේ කදිම උපකාරයක්. යාන්ත්‍රික ඔරලෝසුවේ වයින් කිරීම කාලයත් සමග අඩුවන නිසා වෙලාව අඩුවෙන් දක්වන්නට පුළුවන. නමුත් ක්වාර්ට්ස් ඔරලෝසු වල එහෙම තත්වයක් උද්ගත වෙන්නේ නැහැ.

විද්‍යුත් ධාරාවක් ලබා දීම සඳහා මේ ඔරලෝසුවල බැටරියක් සවිකරලා තියෙනවා. ක්වාර්ට්ස්  ස්ඵටිකයක් භාවිතා කරීම නිසා වය වන ශක්තිය බොහොම අඩුයි. ඒ නිසා අවුරුදු ගණනාවක් කරදරයක් නැතිව පාවිච්චි කරන්න පුළුවන්. බැටරියෙන් ලබා දෙන විද්‍යුත් ධාරාව නිසා සරසුලක් ලෙස සකස් කරගත් ක්වාර්ට්ස් ස්ඵටිකය කම්පනය වෙන්නට පටන් ගන්නවා. ඒක  තත්පරයකට වාර 32768 පමණ කම්පනය වෙනවා. දෙකේ ගුණාකාරයෙන් ගතහොත් පහළොස් වාරයක් පමණ (215).  මෙම කම්පනය නියත විද්‍යුත් ස්ඵන්දන බවට පත්කර අවසානයේදී යාන්ත්‍රික ශක්තිය බවට පත් කර කටු කරකවන්නට හේතු වෙනවා. ඔන්න ඔහොමයි අපිට නිවැරදිව වෙලාව දක්වන්න ක්වාර්ට්ස් ඛණිජය උදවු කරන්නේ.



ආචාර්ය පත්ම කුමාර ජයසිංහ

Wednesday 30 October 2019

ගලෙන් හැදෙන පරිඝණක
Original article was published in Divaina, 30.10.2019.


අද පරිඝණකය නැතුවම බැරි අංගයක් වෙලා. සියල්ල පරිඝණක ගත වෙන යුගයක තමයි අපි ජිවත් වෙන්නේ. රැහැන් මගින් බැඳී තිබුන දුරකතනය අතට හුරුබුහුටි විරැහැන් අපූරු උපකරණයක් බවට පත් වෙලා.  මුල්ම යුගයේ නිෂ්පාදනය වූ කාමරයක් තරම් වූ අති විශාල උපකරණයක් ලෙස තිබුන පරිඝණකය මෙතරම් හුරුබුහුටි අංගයක් බවට පත් වුනේ කොහොමද? එය නං සොයා බැලිය යුතුම කාරණයක්. කෙටියෙන්ම කිව්වොත් ඒ කිසිවක් නිසා නොවෙයි, ඒ “සිලිකන් චීපය” (Silicon Chip) නිසයි. 


හැටේ දශකයේ මුල් භාගයේ දී සොයාගන්නා ලද සිලිකන් චීපය නිසා ලෝකයේ පරිඝණක  සහ සන්නිවේදන තාක්ෂණයේ සිදුවූයේ සිත ගන්නටවත් බැරි තරම් වූ යෝධ පිම්මකි. ඇත්තටම සිලිකන් චීපය බිහිවෙන්නට හේතුවන්නේ “අර්ධ සන්නායක” (Semiconductor) කරළියට ආවාට පස්සේ. 1782 දී ඇලේසන්ද්රෝ වෝල්ටා තමයි මේ වචනය ලෝකයට හඳුන්වා දුන්නේ. 1921 දී තෝමස් ජෝන් සීබෙක් අර්ධ සන්නායක ගුණය පිළිබඳව අධ්‍යන කටයුතු කරලා තියෙනවා. අපි හොඳින් දන්නා මයිකල් පැරඩේ ත් , 1833 දී තව දුරටත් මේ පිළිබඳව පර්යේෂණ කරලා තියෙනවා.  හැබැයි අර්ධ සන්නායක නිෂ්පාදනය සඳහා සිලිකන් භාවිතයට ගැනෙන්නේ 1906. ඒ ඇමෙරිකානු ජාතික ග්‍රින්ලීෆ් විටියර් පිකාර්ඩ් කරන ලද පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙස. 1964 දී තමයි ඇමෙරිකානු ජාතික ජැක් කිල්බි සහ රොබට් නොයිස් විසින් පළමු සිලිකන් චීපය බිහි කරන්නේ. 


සිලිකන් චීපයන් නිෂ්පාදනය සඳහා සිලිකන් ලෝහය නිස්සාරණය කරන්නේ ‘ක්වාර්ට්ස්’ (quarts), එහෙම නැතිනං අපි කවුරුත් හොඳින් දන්නා ‘තිරුවානා’ ඛණිජයෙන්. මෙම ඛණිජය, ක්වාර්ට්ස්, වලින් තමයි ලෝකයේ පාෂාණ බොහොමයක් නිර්මාණය වෙලා තියෙන්නේ. ජීර්ණයට ඉතා ප්‍රතිරෝධී ඛණිජයක් වන ක්වාර්ට්ස් හි රසායනික සංයුතිය සැකසෙනුයේ සිලිකන් සහ ඔක්සිජන් මුලද්‍රව්‍යයන් වලිනි (SiO2). ක්වාර්ට්ස් ඛණිජය ආග්නේය සහ විපරීත පාෂාණ වල මූලිකම ඛණිජයක්. ලෝකයේ ප්‍රථමයෙන්ම මෙලෙස සිලිකන් වෙන්කරගන්නේ 1824 දී ජෝන් ජේකොබ් බර්සිලියුස් විසින්. 


ලෝකයේ  සිලිකන් අමුද්‍රව්‍ය සපයන රටවල අතර පෙරමුණේ ඉන්නේ චීනය. රුසියාව සහ ඇමෙරිකාව දෙවෙබි සහ ඇතුන්වෙනි ස්ථාන වල ඉන්නා අතර ඉන්දියාවත් සැලකියයුතු ප්‍රමාණයක් සපයනවා. ඉතා පිරිසිදු ක්වාර්ට්ස් සඳහා ශ්‍රී ලංකාව ලොව ප්‍රසිද්ධයි. ඒ වුනත් අපි අමුද්‍රවයක් ලෙස තමයි ක්වාර්ට්ස් (තිරුවානා) ඛණිජය අපනයන කිරීම සිදුකරන්නේ. සමහර විට අප භාවිතා කරන පරිඝණකවල ඇති සිලිකන් චීපයන් නිර්මාණය කර ඇත්තේ අපේම රටෙන් ලබා ගන්නා ලද ක්වාර්ට්ස් වලින් ද විය හැක.  හැබැයි අගය වැඩිකර අපනයනය සඳහා, සිලිකන් ලෝහය ක්වාර්ට්ස් ඛණිජයෙන් වෙන්කිරීම පිළිබඳව අප රට තවමත් උනන්දු වන්නේ නැත. සිලිකන් ලෝහය වෙන්කර අපනයන කල හැකි නම් ඉතා විශාල මුදලක් අප රට ලබා ගත හැකි වෙනවා. විසිවන ශතවර්ෂයෙන් ආරම්භ වූ සිලිකන් යුගය එහෙම නැතිනං පරිඝනක යුගය එන්න එන්න ම වැඩි දියුණු වෙනවා. ඒ නිසා සිලිකන්  නිෂ්පාදන සඳහා තියෙන ඉල්ලුම ඉදිරියේදී තව දුරටත් වැඩි වේවි.


ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Wednesday 16 October 2019

සුපිරි සිනාවකට පාෂාණ
Original Article was published in DIVAINA 16.10.2019

සුපිරි සිනාවකට නම් භූ විද්‍යාව ඕනේමයි. නොදන්නවා වුනාට ඔය ලස්සන හිනාව තවත් ලස්සන කරන්නේ භූ සම්පත් නිසා. ඇත්තටම කිව්වොත් ඛණිජ වර්ග නිසා. මොකද දන්නවද එහෙම කියන්නේ ? ඒ අපි පාවිච්චි කරන දත් බෙහෙත් හදන්න ඛණිජ ගණනාවක් යොදාගන්න නිසා. සජල සිලිකා, බෙන්තොනයිට් මැටි සහ හුණු මේ අතර ප්‍රධාන වෙනවා. මොකද හිතන්නේ... අච්චර තද ගල් වලින් මෙච්චර සුමුදූ දත් බෙහෙත් හදනවා කියලා හිතාගන්නත් බෑ නේද ?.

ඉහත සඳහන් කල ඛණිජ දත් බෙහෙත් හදන්න යොදාගන්නේ උලේඛයන් (Abrasive) ලෙසයි. සජල සිලිකා යන්නෙන් හැදින්වෙන්නේ ජලය සහිත සිලිකා යන්නයි. බොහොමයක් දෙනා මේ ගැන දන්නවා. යම් කිසි ඇසුරුමක ඇති දෙයක් වියලිව තියා ගන්න ඕනේ උනාම අපි වියළි සිලිකා භාවිතා කරනවා නේ. ඒවාට ජලය උරා ගත්තාම සජල සිලිකා බවට පත් වෙනවා. සිලිකා සමන්විත වෙන්නේ සිලිකන් ඩයොක්සයිඩ් (SiO2) කියන රසායනයෙන්. තිරුවානා ගල් හැදිලා තියෙන්නෙත් එම රසායනයෙන්ම තමයි.

බෙන්තොනයිට් කියන්නේ මැටි වර්ගයක්. ඇලුමිනියම් සිලිකේටයක් ලෙස හදුන්වන්න පුළුවන්. මැටි ඛණිජ වර්ග ගණනාවක් තියෙනවා. කෙයෝලින් කියන්නත් ඒවගේ මැටි වර්ගයක්. බෙන්තොනයිට් අයිති වෙන්නේ මොන්ට්මොරිලිනයිට් (montmorillonite) කියන මැටි වර්ගයට. ඇත්තටම් මේ මැටි වර්ගය නිපදෙන්නේ ගිනිකඳු මගින් නිර්මාණය වෙන්නේ යමහල් අළු (volcanic ash) ජීර්ණයට ලක් වීමෙන්. බෙන්තොනයිට් වයින්, බීර වැනි නිෂ්පාදන සඳහාද යොදා ගන්නවා.

එතකොට දත් බෙහෙත් හදන්න හුණුත් යොදාගන්නාව කියලා කිවවනේ. කැල්සියම් කාබොනේට් යන රසායනයෙන් තමයි හුණු නිර්මාණය වෙලා තියෙන්නේ. විටක් කනකොට ගන්න හුණු වලත රසායනයත් ඒකමයි. දත් බෙහෙත් හදන්න ගන්න හුණු ලබා ගන්නේ ‘චෝක්’ (chalk) නම් වූ පාෂාණයෙන්. ඉතිහාසයේ සඳහන් වෙන විදියට විසිවෙන ශතවර්ෂයේ මුල් භාගයේ ප්‍රධානම සංඝටකයක් වුනේ හුණු. ඒ විතරක් නොවෙයි සෝඩියම් බයි කාබොනේට් එහෙම නැතිනං බේකින් සෝඩා ත් උලේඛයක් ලෙස දත් බෙහෙත් හදන කොට ගන්නවා.

වසර 4000 කට පෙර සිටම දත් බෙහෙත් භාවිතා කල බවට සාක්ෂි හමු වෙනවා. මුල්ම කාලෙ ග්‍රීසියේ විවිධ ලෝහ රසායනයන් භාවිතා කරලා තියෙනවා. චීනයේ මිනිසුන් කුඩුකර ගත් මාළු ඇටකටු තමයි මේ සඳහා අරන් තියෙන්නේ. අරාබි ජාතිකයන් සිහින්ව කුඩුකරගත් වැලි වගේම පුමයිස් (pumice) කියන ආග්නේය පාෂාණ වලින් දත් පිරිසිදු කරන්න භාවිතාකල බව සඳහන් වෙනවා. ඒ විතරක් නොවෙයි සමහර රටවල් කුඩුකර ගත ලුණුත් මේ සඳහා යොදාගෙන තියෙනවා. අපේ රටෙත් ඉස්සර මිනිස්සු අඟුරු භාවිතා කල බව අපි හොඳින්ම දන්නාවා නේ.

නවීන බටහිර විද්‍යාව දියුණු වීමත් සමගම තමයි අපූරු දත් බෙහෙත් භාවිතයට එන්නේ. අද වෙනකොට වෙළඳ පොලේ තියෙන දත් බෙහෙත් වර්ග දුටුවාම නම් අපට කීයටවත් හිතෙන්නේ නැහැ ඛණිජ ඒ සඳහා යොදාගන්නවා කියලා.
ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Wednesday 9 October 2019

සංරක්‌ෂණයේ අපූර්වත්වය ඇම්බර්
Original Article was published in DIVAINA 09.10.2019
ජුරාසික්‌ පාක්‌ රූප කාව්‍ය ඔබ නැරඹුවේ නම් ඔබට මතකයට නැගේවි එහි වූ ඩයිනොසෝරයන් ප්‍රති නිර්මාණය කරන්නේ එකල විසූ මදුරුවකුගේ වූ ලේවල තිබූ ජාන මගින් බව. මේ අපූරු යෝධ උරගයෝ මෙලොව රජ කළ යුගයක්‌ ද විය. ඒ ආසන්න වශයෙන් වසර මිලියන 200 කට පමණ පෙර වූ ක්‍රිටේසියස්‌ යුගයයි. ඒ යුගයේ බිහි වූ යෝධ උරගයෝ එතැන් පටන් තවත් වසර මිලියන 160 ක්‌ පමණ කාලයක්‌ ජීවත් වූ මොවුන් හදිසියේ මෙලොවින් තුරන් වන්නේ උල්කා පතනයක්‌ හේතුවෙන් යෑයි විද්‍යාඥයෝ පවසති.
 
 ඒ කොහොම වුණත් චිත්‍රපටියේ සඳහන් ඔය කියන මදුරුවා ආරක්‌ෂා වූයේ අපූරු ආකාරයකට යි. මදුරුවා හමුවන්නේ ඇම්බර් (amber) නම් වූ සුවිශේෂී ශාකමය ද්‍රව්‍යයක්‌ තුළ තිබිලා. මොනවද මේ ඇම්බ  කියන්නේ? ඇම්බර් කියල හඳුන්වන්නේ ප්‍රාග් ජීව ධාතුන් (fossilized) බවට පත් වූ ශාකමය මැලියම් (resin). ඇත්තටම මෙහි එක්‌ එක්‌ වර්ග වල මැලියම් මිශ්‍රනයක්‌ තමයි තියෙන්නේ. තරමක්‌ විනිවිද දැකිය හැකි කාබනික ද්‍රවයක්‌ කියලා කියන්නත් පුළුවන්. කොහොම වුණත් ඇම්බර් ඉතා හොඳ ආරක්‌ෂකයෙක්‌. ඒ තුළ හිර වූ ප්‍රාග් ජීව ධාතු (fossil)න් තමයි ආරක්‌ෂා කරන්නේ.
 
 මේ අපූරු ඇම්බර් නිර්මාණය වීමත් බොහොම අපූරුයි. මුලින්ම ශාක මැලියම් අවසාදිතත් සමග තැන්පත් වී කාලයත් සමග කෝපල් (kopal) නම් වූ කාබනිකයක්‌ බවත් වෙනවා. ඊට පස්‌සේ තවත් කාලයක්‌ යනකොට සිදුවන විවිධ රසායනික විපර්යාසයන් නිසා ටර්පීනයක්‌ (terpine) බවට පත් වී අවසාන අදියරේදී ඇම්බර් නිර්මාණය වෙයි. ඇම්බර් බවට පත් වීම නිසා ඈති වූ ප්‍රාග් ජීව ධාතුමය ශාක මැලියම් ස්‌වභාවික ජීර්ණ ක්‍රියාවලියට ප්‍රතිරෝධී බවක්‌ දැක්‌වීම නිසා දිගු කාලයක්‌ පරිසරයේ රැඳිලා තියෙන්න උපකාරී වෙනවා. ඒ හේතුව නිසාම ඇම්බර් තුළ සිරවන අනෙකුත් ජීවි පදාර්ථයන් ද හොඳින් අරක්‌ෂා වෙනවා. බොහොමයක්‌ ඇම්බර් තැන්පතු ඩයිනසෝරයන් ජීවත් වූ ක්‍රිටෙසියස්‌ යුගයේ තැන්පතු වූ ඒවා. එනමුත් ලෝකයේ පරණම ඇම්බර් ලැබෙන්නේ වසර මිලියන 320ක්‌ පමණ පරණ කාබනිපෙරස්‌ (carboniferous) කාලයේ තැන්පත් වූ අවසාදිත සමග.
 
 ඇම්බර් ඛනිජයක්‌ ලෙස සැලකෙන්නේ නැහැ. හේතූව ඇම්බර්වලට කාබනික ද්‍රවයක්‌ වීම. අනෙක්‌ හේතුව තමයි ස්‌ඵටිකිරණය නොවීම. එනිසා ස්‌ඵටිකමය
 
 ව්‍යුහයක්‌ එහි නැහැ. හැබැයි එහි අපූර්වත්වය නිසාම ඇම්බර්වලට මැණික්‌ ලෙස හොඳ වටිනාකමක්‌ වාගේම ඉල්ලුමකුත් තියෙනවා. එහි පැණි පැහැති ස්‌වභාවයත් දිගු කාලයක්‌ නොවෙනස්‌ව එහෙම නැතිනං ජීර්ණයට ප්‍රතිරෝධී වීමත් නිසා තමයි මැණික්‌ වර්ගයක්‌ ලෙස ලෝකයේ පිළිගැනීමක්‌ ලැබිලා තියෙන්නේ. ඇම්බර් එක්‌ එක්‌ වෙනස්‌ පැහැයන් සහිතයි. කහ, කොළ කහ, තැඹිලි, දුඹුරු පමණක්‌ නොවෙයි කළු පැහැයෙනුත් ඇම්බර් මුණ ගැහෙනවා. ඩොමිනියාවෙන් නිල් පැහැති ඇම්බර් ලැබෙන බව සඳහන් වෙනවා.
 
 ග්‍රීසියේ හුන් හිපෝක්‌රෙටස්‌ ගේ කාලයේ ඉඳලා ඇම්බර් ඖශධයක්‌ ලෙස භාවිතා කරලා තියෙන බව ඉතිහාසය පවසනවා. චීනයේ ජනතාව ඇම්බර් මානසික සුවතාවය ස්‌ථාපනය කරගැනීම සඳහා ද භාවිතා කළ බවට සඳහන් වෙනවා. කුඩා ළමුන්ගේ දත් ඇදීමේදී ඇතිවන වේදනවා සමනය කරගැනීම සඳහා ඔවුන්ගේ කරෙහි මාලයක්‌ මෙන් පැලන්දූ බව ද සඳහන්. චීන ජාතිකයන් ඇම්බර් පුළුස්‌සා උත්සව අවස්‌ථාවන්වලදී සුවඳ ඇති කළ බව ද ඉතිහාසයේ සඳහන්.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Wednesday 25 September 2019

මුහුණේ ගාන ගල් කුඩු
Originally published in Divaina, 25.09.2019
පාෂාණ නිර්මාණය වන්නේ ඛණිජ වලින්. ඛණිජ කියන්නේ රසායනික සංයෝග. මේ වනවිට ඛණිජ වර්ග 5000ක්‌ පමණ හඳුනාගෙන තියෙනවා. ඒ අතුරින්, ලෝකයේ තියෙන වඩාත්ම සුසිනිඳුම ඛණිජය වන්නේ ටැල්ක්‌ (talc). ටැල්ක්‌ කියන්නේ මැග්නීසියම්, සිලිකන් සහ ඔක්‌සිජන් වලින් සමන්විත වූ මැටි ඛණිජයක්‌. හයිඩ්රේටඩ් මැග්නීසියම් සිලිකේටයක්‌ කියලා කියන්නත් පුළුවන්. මේ ඛනිජයේ සුසිනිඳු බව නිසාම විවිධ වර්ගවල පවුඩර් (කාන්තා, ළමා සහ පිරිමි) නිෂ්පාදනයට මෙන්ම වෙනත් රූපලාවන්‍ය ආලේපන සඳහාත් ටැල්ක්‌ යොදාගන්නවා. මෙම ටැල්ක්‌ ඛණිජය 'ප්‍රංශ හුණු' ලෙස ද හඳුන්වයි.

ටැල්ක්‌වල තියෙන සුවිශේෂී ගුණය තමයි ඉතා හොඳින් ජලය උරා ගැනීමට හැකි වීම. එනිසා සිහින්ව අඹරාගත් ටැල්ක්‌ මගින් නිෂ්පාදනය කරන පවුඩර් මුහුණේ ආලේප කළ විට තෙතමනය උරා ගෙන මුහුණ වියළිව තබනවා. එවිට තෙතමනය නිසා ඇතිවන දිලීර වර්ධනය නවත්වා දද වැනි සමේ රෝග ඇතිවීම වළක්‌වයි. කොහොම වුණත් ලෝකයේ ළමා ආලේපන සඳහා ටැල්ක්‌ බහුලව යොදාගන්නවා.

ලෝකයේ ඛණිජ වර්ගවල දැඩියාව මනින මිමි හඳුන්වා දුන්නේ මෝහා. ඒ 1812 දී. ඔහුගේ චක්‍රයට අනුව දැඩියාව වැඩිම වන්නේ දියමන්ති, අගය 10 ක්‌. අඩුම වන්නේ ටැල්ක්‌, අගය 1ක්‌. ඔබේ ඇඟිල්ලේ දැඩියාවත් එයට වඩා වැඩියි. ඒ කියන්නේ ටැල්ක්‌ එතරම්ම් සිනිඳුයි. ටැල්ක්‌ යොදාගන්නේ පවුඩර් හදන්න විතරක්‌ නොවෙයි. ප්ලාස්‌ටික්‌, තීන්ත වැනි ආලේපන, කෘතීම රබර් සහ සෙරමික්‌ වැනි නිෂ්පාදන සඳහා ද ටැල්ක්‌ දායක වෙයි. විවිධ ඖෂධ නිෂ්පාදන මෙන්ම සමහර ආහාර රස කාරක ද ටැල්ක්‌ වලින් නිපදවන බව පැවසෙයි.

ලෝකයේ වැඩියෙන්ම වෙළඳපළට ටැල්ක්‌ සපයන්නේ චීනය. එය ආසන්න වශයෙන් 30%ක්‌ එයට අමතරව බ්‍රසීලය, ඇමෙරිකාව, ප්‍රංශය, ඉතාලිය සහ ඔස්‌ටේ්‍රලියාව වැනි රටවල් ද ලෝකයට ටැල්ක්‌ සපයන්නන්. ටැල්ක්‌ ඛණිජය බහුලව හමුවන්නේ විපරිත පාෂාණ ආශ්‍රිතව. ඒ වාගේම ටැල්ක්‌ නිධි සමග සමහරවිට ඇස්‌බෙස්‌ටෝස්‌ ඛනිජයත් තියෙනවා. විශේෂයෙන්ම ධවල ඇස්‌බෙස්‌ටෝස්‌ සමග ටැල්ක්‌ මිශ්‍රව තිබෙන්නට පුළුවන්. ඒකට හේතුව තමයි දෙකම බොහොම සමාන රසායනයක්‌ වගේම ස්‌ඵටිකමය ස්‌වරූපයක්‌ ද දක්‌නට ලැබීමයි.

ටැල්ක්‌ සමග ඇස්‌බෙස්‌ටෝස්‌ මිශ්‍රව පැවතීමට ඇති හැකියාව නිසා සමහර රටවල් කුඩා ළමුන් සඳහා මෙම නිෂ්පාදන අනුමත කරන්නේ නැහැ. ඒ ඉතා සියුම් අංශු ස්‌වසනය වන නිසා පෙනහළු රෝග මෙන්ම පිළිකා ද ඇතිවිය හැකි නිසා. වැඩිහිටියන්ටද විශේෂයෙන්ම කාන්තාවන්ට මෙමගින් හානි සිදුවන බව පිළිගෙන වන්දි ගෙවූ අවස්‌ථා අමෙරිකාවෙන් වාර්තා වෙනවා.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ 

Monday 23 September 2019

විදුපත්ඉරුව
2016.08.17

"පෘථිවි අභ්‍යන්තරයේ ඉන්නා ගල් කන පණුවා ගල් කෑව ද ගල් දෙකක්‌ අතරින් තැබූ කතුර කන්නේ මළකඩ ය". මේ "ගල් කන පණුවා ගේ කතාව" අප අතර එක්‌ කලෙක පැතිර ගිය ජනප්‍රිය හාස්‍යජනක කතාන්දරයකි. සත්‍ය ලෙස ම මෙවැනි ජීවීන් ලොව වෙසෙන්නේ ද යන්න එකල මට ද ඇති වූ පැනයකි. පණුවන් කෙසේ වෙතත් පාෂාණ ආහාර කරගන්නා වෙනත් ජීවීන් විශේෂයක්‌ වෙසෙන බව විද්‍යාඥයන් සොයාගෙන තිබීම කෙතරම් විස්‌මයජනක ද යන්න ඒ ගැන සොයද්දී මට සිතිණි. ඔබට ද මෙය කියවූ පසු එසේ සිතෙනු නිසැක ය. ඇසට නො පෙනෙන ජීවීන් කාණ්‌ඩයක්‌ වන මොවුන් ඔබ ඉතා හොඳින් දන්නා බැක්‌ටීරියාවන් වේ. මොවුන් හඳුන්වන්නේ 'පාෂාණභක්‌ෂක' බැක්‌ටීරියාවන් (lithotrophic bacteria) ලෙස ය.

ඔබ හොඳින් දන්නා පරිදි බැක්‌ටීරියාවන් ඉතා අධික විවිධත්වයක්‌ පෙන්වන ක්‌ෂුද්‍රජීවීන් කාණ්‌ඩයකි. ලොව දසත විසිරි පැතිරී ඇති මොවුන් ඉතා කටුක පරිසරවල පවා ජීවත් වීමට කදිමට හැඩගැසී ඇත. ක්‌ෂුද්‍ර දේහ දරන මේ ජීවීන් ඉතා සරල ඒක සෛලිකයන් ය. ජීවී පරිණාමයේ මූලාරාම්භකයන් ලෙස විදු ලොව පිළිගැනෙන මොවුන් ගේ සරල දේහ ඉතා ම සරල පරිවෘත්තීය ක්‍රියා පෙන්වන විද්‍යාගාර වැනි ය. තම ශක්‌ති අවශ්‍යතාව ආකාර ගණනාවකින් පිරිමසාගන්නා මොවුන් සමහරෙක්‌ ස්‌වයං නිෂ්පාදකයෝ වෙති. ප්‍රභාසංශ්ලේෂකයෝ ද එමෙන් ම රසාසංස්‌ලේෂකයෝ ද ඒ අතර වෙති.

'පාෂාණභක්‌ෂකයෝ' රසාසංශ්ලේෂකයෝ වෙති. ප්‍රභාව අහිමි පරිසර තුළ වෙසෙන මේ අපූරු බැක්‌ටීරියාවන් තම ශක්‌ති අවශ්‍යතාව සපුරාගන්නේ අකාබනික සංයෝග බිඳ හෙළීමෙනි. ඒ සදහා ඔවුන් වෙසෙන පරිසරයේ ඇත්තා වූ විවිධ සංයෝග වර්ග යොදාගනු ලැබේ. මේවා බොහොමයක්‌ පාෂාණකාරක ඛනිජ නිර්මාණය කරන සංයෝග වෙයි. සරල ව පවසන්නේ නම් මොවුන් භක්‌ෂණය කරන්නේ ඛනිජ ය. ශක්‌තිය නිපදවන කැල්වින් චක්‍රය හරහා කාබන්ඩයොක්‌සයිඩ් තිර කිරීමට මොවුනට හැකි ය. මොවුනට ඒ හැකියාව ලැබෙන්නේ මේ සංයෝග බිඳ හෙළීමෙන් ලබාගන්නා ඉලෙක්‌ට්‍රොaනවලිනි. ඔක්‌සිජන් සපිරි පරිසරවල ද ඔක්‌සිජන් රහිත පරිසරවල ද ඉතා කදිමට ජීවත් වීමට මොවුනට හැකියාව ඇත. එහෙත් පරිසර තත්ත්ව වෙනස්‌ වූ විට තම ජීවිතය ගැටගසා ගැනීමට සමහරකුට නොහැකි අතර තවත් කාණ්‌ඩයකට ඒ අපූරු හැකියාව ලැබී ඇත. ඔවුහු වෛකල්පිත පාෂාණභක්‌ෂකයෝ වෙති.

රසාසංශ්ලේෂක පාෂාණභක්‌ෂකයන් බොහෝ විට වෙසෙන්නේ ගල් ගුහාණී වගුරුබිම් වැනි අඳුරු පරිසර තුළ ය. ගැඹුරු මුහුදු පත්ලේ දැන් දැන් පිපිරෙන ගිනිකඳුවල ලාවා මුදාහරින විදාරණ ආශ්‍රිත ව ද පාෂාණභක්‌ෂකයන් හමු වන බවට සාක්‌ෂි ඇත. පොළොව අභ්‍යන්තරයේ ඉතා කටුක තත්ත්ව යටතේ අපූර්ව ජීවන ක්‍රමයකට හැඩගැසී ඇති පාෂාණභක්‌ෂකයෝ බොහොමයක්‌ ඔක්‌සිජනිකෘත තත්ත්ව යටතේ ඉතා හොඳින් ක්‌රිතයාකාරී ය. ඔක්‌සිහරිත අකාබනික සංයෝග ඔක්‌සිකරණය කරමින් දායක සංයෝගයකින් ඉලෙක්‌ට්‍රොaන සොරාගන්නා මේ බැක්‌ටීරියාවන් දෛනික ක්‍රියා සදහා අවශ්‍ය ශක්‌තිය නිපදවාගන්නා අයුරු ඇත්තෙන් ම විස්‌මයජනක ය.

පාෂාණභක්‌ෂකයන් පාෂාණයේ ඛනිජ ආහාර කරගැනීම නිසා පාෂාණය ජීරණයට ලක්‌ වන අතර නව ඛනිජයක්‌ බිහි කරන්නට හේතු වේ. මෙය ජෛවඛනිජකරණය (Biomineralization) ලෙස හඳුන්වන අතර ඒ සදහා හේතු වන්නේ ඔවුන් ගේ ඔක්‌සිකාරක ක්‍රියාවයි. සෑදෙන ඔක්‌සිහරිත සංයෝග පරිසරයේ වඩා ස්‌ථායි සංයෝගයක්‌ ලෙස නිදහස්‌ වේ. උදාහරණයක්‌ ලෙස 'යකඩ භක්‌ෂක' (iron) බැක්‌ටීරියාවන් විසින් ඔක්‌සිහරණය වූ යකඩ ඔක්‌සිකරණය කර යකඩ ඔක්‌සයිඩය (
Fe2O3) නිපදවනු ලැබේ. මේවා බොහෝ විට හිමටයිට්‌ ලෙස ස්‌ඵටිකීකරණය වන අතර වගුරු බිම්, කුඹුරු වැනි ස්‌ථානවල බහුලව හමු වේ. මේ අතර මැන්ගනස්‌ (Manganas) සංයෝග මත යෑපෙන පාෂණභක්‌ෂක විශේෂයක්‌ ද වෙයි. බොහෝ විට ඔවුන් 'යකඩ භක්‌ෂකයන්' හා එක්‌ ව වෙසෙන බවක්‌ පෙනී යයි. යකඩ ඔක්‌සයිඩ අවක්‌ෂේප වන්නා වූ බොහොමයක්‌ ස්‌ථානවල මැන්ගනිස්‌ ඔක්‌සයිඩය (MnO) ද අවක්‌ෂේප වනු දැකිය හැකි ය. ගෙන්දගම් (S) නිපදවන්නට සමර්ථයෝ ද මේ අතර වෙති. ඒ සදහා ඔවුන් භක්‌ෂණයට යොදාගන්නේ පයරයිට්‌ (Payarite) වැනි ගෙන්දගම් අඩංගු ඛනිජ වර්ග වේ. එහි ඇති යකඩ හා ගෙන්දගම් අතර බන්ධනය කඩා බිඳ දමා ඔක්‌සිහරිත ගෙන්දගම් ඔකසිකරණය කර ස්‌ථායි ගෙන්දගම් බවට පත් කරනු ලැබේ. තවත් විශේෂයක්‌ ගෙන්දගම් මත ක්‍රියා කර තවදුරටත් ඔක්‌සිකරණය කර සල්ෆේට නිපදවයි.

පාෂාණභක්‌ෂකයෝ නයිට්‍රජන්, පොටෑසියම්, පොස්‌පරස්‌ සහ හයිඩ්‍රජන්වල සංයෝග මත ද ක්‍රියා කරන අතර එනිසා පෘථිවි ගැඹුරේ සිර වී ඇති මේ සංයෝග පොළොව මතුපිටට ගෙන එන්නට එය හේතුවක්‌ වෙයි. මේ මුලද්‍රව්‍ය සංයෝගවල චක්‍රීය සංසරණයට මොවුන් ගේ භක්‌ෂණය මනා පිටිවහලක්‌ වී ඇත. පාෂාණ භක්‌ෂකයන් ගේ ක්‍රියාකාරිත්වය විටෙක මිනිසාට තර්ජනයක්‌ වන අවස්‌ථා ද නැත්තේ නො වේ. ස්‌වාභාවිකව පරිසරයේ ඇති ආසනික්‌ සංයෝග අද්‍රdව්‍ය නිසා ජලයට නිදහස්‌ වන්නේ නැත. එහෙත් වර්තමානයේ විද්‍යාඥයන් සැක කරන්නේ මොවුන් ගේ ක්‍රියාකාරිත්වය නිසා අද්‍රdව්‍ය ආසනික සංයෝග ද්‍රdව්‍ය වනු ඇති බවයි. එනිසා ආසනික්‌ භූගත ජලයට එකතු වී මිනිසාට හානි ගෙන දෙන්නට හේතු වන බවයි.

පාෂාණභක්‌ෂයන් ගේ ක්‍රියාකාරිත්වයෙන් ඇති වන ඛනිජ එක්‌රැස්‌ වී බිහි වන ඛනිජ නිධි හඳුනාගැනීම එතරම් අපහසු නොමැති බව විද්‍යාඥයෝ පවසති. ඒ මන්ද යත් සියල්ලෝ ම කරන පරිදි, ඔවුන් ද යම්කිසි සාක්‌කි සටහන් තබන බැවිනි. මේ ක්‌ෂුද්‍රයන් ගේ ක්‍රියාවෙන් උපදිනා සංයෝග ඉතා සියුම් වේ. බොහෝ විට ඉතා සියුම් ඛණිකා වන අතර ඒවායේ ප්‍රමාණය නැනෝ මීටර 2-3ක්‌ පමණ වේ. එහෙත් අකාබනික ඛනිජකරණයෙන් බිහි වන සංයෝගවල ස්‌ඵටික වඩා විශාල වන අතර මේවායේ සියුම් ස්‌වරූපය අති විශේෂ වේ. මේ සදහා කදිම උදාහරණයක්‌ වන්නේ ඇමෙරිකාවේ නෙවාඩා ප්‍රදේශයෙන් හමු වන සින්ක්‌ නිධියකි.

කෙසේ වෙතත් මේ අපූර්ව ජීවී විශේෂය විශ්වයේ ජීවය ඇති වීමේ රහස සොයා යන ගමනේ එක සන්ධිස්‌ථානයක්‌ ලෙස ද අපට සැලකිය හැකි ය.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

  පත්මෙගේ භූ විද්‍යා අන්දර  04 2024 සැප්තැම්බර මස  18 දින විදුසර පුවත්පතේ පල වූ ලිපියකි.  ශ්‍රී ලංකාවේ අවධානය දේශගුණ විපර්යාස කෙරෙහි යොමුවීම...