Saturday 17 August 2019

විදුපත් ඉරුව
22.03.2017

අලින්ටත් ළමයින්ටත් නලියන්ට ම ය හිත. ඔවුනට එක ලෙස එක තැනක සිටින්නට නම් බැරි ය. ඒ වාගේ ම ඔවුන් ගේ දඟකාරකම් නො බලා ඉන්නට අපට ද කොහෙත් ම බැරි ය. ඔවුන් ඉතා විමසිලිමත් ය. පසුගිය දිනෙක එලෙස විමසිලිමත් වූ විදුසර කියවන දයාබර දැරියක්‌ ඉතා කදිම පැනයක්‌ මගෙන් විමසා සිටියා ය. ඒ අප ගේ ව්‍යවහාරයේ ඇති අලි ඇතුනට සම්බන්ධ උපහැරණයක සත්‍යතාව පිළිබඳව ය. යම්කිසි දෙයක ප්‍රතිඵල රහිත බව, හිස්‌, නිෂ්ඵල බව කියා සිටින්නට අවශ්‍ය වූ විටෙක අප හොඳින් දන්නා උපහැරණයක්‌ වන 'අලියා ගිල්ල දිවුල් ගෙඩිය වගේ' යෑයි අපි පවසමු. අප පැරැන්නන් පවසන පරිදි අලින් දිවුල් නො විකා ගෙඩි පිටින් ම ගිලින බැවින් ගෙඩියේ මදය අලි උදරයේ දී ජීර්ණය වීම නිසා පුහු දිවුල් අලි බෙටි සමග බැහැර වේ.

මේ කුඩා දැරිය මගෙන් විමසා සිටියේ මෙහි සත්‍යතාවයි. අප හොඳින් දන්නා පරිදි අලි ඇතුන් ශාක භක්‌ෂකයන් බැවින් විකා ගිලීම සඳහා කදිමට සකස්‌ වූ අපූරු දන්ත පද්ධතියක්‌ ඇත. ඒ සදහා සාක්‌ෂි දරන්නේ හොඳින් සකස්‌ වූ පුරශ්චාර්වක සහ චාර්වක දත් පන්තියයි. අලි මුඛයේ අගිස්‌සේ එලෙස සකස්‌ වූ යෝධ දත් තල්මහ ගේ දත්වලට වඩා විශාල ය. අලි මුඛයේ ඉදිරියට ඇදෙන දළවලට අමතරව වරක දී දත් 24ක්‌ පවතින බව සඳහන් වේ. පුර්ශ්චාර්වක 3ක්‌ ද, චාර්වක 3ක්‌ ද ලෙස එක්‌ පසෙක ඇති අතර දෙපස 12ක්‌ ද වේ. උඩු ඇන්දේ සහ යටි ඇන්දේ ඒ අනුව එකතුව 24 කි. දළය ලෙස වැඩෙන්නේ උඩු ඇන්දේ රදනක දතයි. නො නවතින ඝන ආහාර ඇඹරීම නිසා ළදරු අවධියේ සිට ම වයස යන තුරු ම වරින් වර සය වතාවක්‌ පමණ පැරැණි දත් වැටී අලුත් දත් ලැබීම කදිම සිදුවීමකි. මුඛයේ අගිස්‌සෙන් බිහි ව එළියට එන දත් ක්‍රමයෙන් ඇන්දේ ඉදිරියට තල්ලු වන අතර එයට පිටුපසින් නව දත් බිහි වන බව විද්‍යාඥයෝ පවසති. දත් ගෙවෙමින් ක්‍රමයෙන් ඉදිරියට යත් ම ඒවා ගැලවී වැටෙන අතර එයට පිටුපසින් වැඩෙන දත් එම ස්‌ථානය අත් කරගනී.

බර කිලෝග්රෑම් 150ක්‌ පමණ වූ ශාක කොටස්‌ දවසක දී පරිභෝජනය කරන්නට පෙලඹෙන මේ යෝධ සත්ත්වයා ළපටි කොළ අතු පමණක්‌ නො ව ගස්‌ කඳන්වල පොතු ද මුල් ද කා දමන බව සොයාගෙන ඇත. විශාල වපසරියක්‌ පුරා ඇවිදිමින් මෙපමණ ප්‍රමාණයක්‌ සෙමින් සෙමින් දිගු නහය ද පාදය ද අධාරයෙන් කඩා ගලවා ගුලි කර මුව තුළට ඔබාගන්නා අයුරු කදිම ය. කාෂ්ඨීය කොටස සමග ම මුව තුළට ඔබාගන්නා ශාකමය ද්‍රව්‍ය ඔවුන් ගේ දත්වල ඇඹරීමේ ක්‍රියාවලියෙන් ගැලවී මුව තුළට රිංගා යන්නට නම් කොහෙත් ම හැකියාවක්‌ ලැබෙන්නේ නැත.

අලි ඇත්තු පලතුරු කෑමට ද රුසියෝ ය. ශ්‍රී ලංකාවේ හමු වන බොහොමයක්‌ පලතුරුවලට ඔවුහු වගකියති. කෙසෙල්, අන්නාසි, කොමඩු වැනි පලතුරු පමණක්‌ නො ව උක්‌ ගස්‌ වැනි සීනි පිරුණ ආහාරවලට ඔවුහු ඉමහත් කැමැත්තක්‌ දක්‌වති. වියළි හෝ අර්ධ ශුෂ්ක කලාපයේ ඉන්නා අලි ඇතුන් ගේ ප්‍රියතම පලතුරක්‌ වන්නේ කාෂ්ඨීය ආවරණයකින් යුක්‌ත දිවුල් ය.

ජන ව්‍යවහාරයේ ඇති කියමනක්‌ වන 'වෙහෙර ගිල්ල එකාට අග්ගලාවත් කඡ්ජක්‌ දැ'යි අසන්නට සිතෙන්නේ මෙවන් අවස්‌ථාවක ය. එලෙස විසල් අතු සහ ශාක කොටස්‌ තම ආහාරය කරගන්නා අලි ඇතුන් ජීර්ණයේ පහසුව පිණිස කදිමට විකා ගිලිද්දී කුඩා දිවුල් ගෙඩිය පමණක්‌ නො විකා ගිලී දැයි ඔබට අසන්නට සිත් නො වන්නේ ද? අලි ඇතුන් ගේ ආහාර ජීර්ණ රටාව අනුව එලෙස වන්නට කිසි ම හේතුවක්‌ නො වන්නේ ය. අලි ඇතුන් ගේ ආහාර ජීර්ණ පද්ධතිය සකස්‌ වී ඇත්තේ ඉතා හොඳින් ඝන ආහාර ජීර්ණය වන පරිදි ය.

පුහු දිවුල් විවිධ කෘමි සතුන් ගේ ආක්‍රමණයන් නිසා හටගත හැකි ය. මේ පිළිබඳව නිශ්චිත කරුණු කාරණා ගොනු කරගැනීම ඔබට එතරම් අපහසුවක්‌ නො වනු ඇත. ඒ ඔබ ඉතා හොඳින් විමසිලිමත් වුව හොත් පමණකි. බොහෝ දේ පිළිබඳව දුටු පමණින් තීරණවලට එළඹීම එතරම් සුදුසු නො වේ. එලෙස කෘමි සතුන් ගේ ප්‍රහාරවලට නතු වූ දිවුල් ගෙඩියක්‌ අලින් ගේ මළපහ මතට වැටීම අප ගේ පුරාණ මුතුන් මිත්තන් නොමග යෑවුවා විය හැකි ය. කෙසේ වෙතත් යමකු කිවූ පමණින් ම විශ්වාස කිරීම ද කළ යුතු නො වේ.

විද්‍යා පර්යේෂණයක දී එක්‌ වරක්‌ ලබන ප්‍රතිඵල නැවත නැවතත් ලැබෙන්නේ නම් එමගින් හෙළි වන කරුණුවල සත්‍යතාව සදහා එය හේතු වන බව කිව යුතු ය. යමක්‌ පිළිබඳව, යම් පැහැදිලි කිරීමක්‌ පිළිබඳව, විශ්වාසය තැබිය හැක්‌කේ එවිට ය. යමකු යෝජනා කරන යම් දෙයක්‌, ක්‍රියාවලියක්‌ තවත් අයකුට අත්හදා බැලිය හැකි විය යුතු ය. බුදුන් දේශනා කර ඇති දහමේ ද කියා ඇත්තේ යමකු කිවූ පමණින් ම විශ්වාස නො කොට තමන් අත්විඳ එය තේරුම්ගන්නා ලෙස ය.

සංවර්ධනයේ කුරිරු බලපෑම්වලට නිරන්තරයෙන් ම භාජන වෙමින් තම පැවැත්ම ඉතා අසීරුවෙන් තහවුරු කරගැනීමට වෙහෙසන ශ්‍රී ලාංකේය අලි ඇතුන් ගේ ආරක්‌ෂාව පිළිබඳව නිසි පියවර නො ගන්නා බව දිනෙන් දින මරණයට පත් වන මේ යෝධයන් ගේ ප්‍රමාණය මොනවට පැහැදිලි කරයි. දිනෙන් දින හැකිළෙන තම නිජබිම් ක්‍රමයෙන් අහිමි වීම නිසා ගම් වදින මේ අහිංසකයන් දරුණු වී අපට හානි කරන්නේ මන්දැයි අප තේරුම්ගත යුතු ය. එසේ නො කොට ඔවුනට වෙඩි තබා ඝාතනය කිරීම, ලොව වෙසෙන බුද්ධිමතා ගේ යුතුකම නො වේ.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Friday 16 August 2019

ජෛවචුම්භකත්වය මගින් පාර සොයන ක්ෂුද්‍රයෝ....!!
බැක්ටීරියාවන් ප්‍රාථමික ජීවින් කොට්ටාශයක් වුවත් අපූරු හැසිරීම් ඇත්තවුන් බව පෙනී යනවා. ඔවුන්ගෙන් සමහර විශේෂ පාර සොයාගන්නට භූ චුම්භකත්වය භාවිතයට ගනු ලබන බව ඇසුවොත් ඔබ පුදුමයට පත් වේවි. ඔක්සිජන් තියෙන ඉස්සව්ව නිවරදිව හඳුනාගන්න තමයි ඔවුන් මේ උපක්‍රමය භාවිතා කරන්නේ. මේ සඳහා ඔවුන්ගේ දේහයන්වල තියෙනවා විශේෂ ඉන්ද්‍රියයක්. ඒක හඳුන්වන්නේ චුම්බසෝම (magnetosomes) නමින්. මේ ඉන්ද්‍රියය තුල මැග්නටයිට් (යකඩ ඔක්සයිඩ) සහ ග්‍රිගයිට් (යකඩ සල්ෆයිඩ) නම් ඛණිජ අඩංගු වෙනවා. ‘චුම්භසංචරිත’ (Magnetotactic) බැක්ටීරියාවන් ලෙස හඳුන්වන්නට හැකි මේ ක්ෂුද්‍රයන්ගේ විශේෂත්වය වන්නේ ඔවුන්ගේ දේහයන් තුල ඉහත කි ඛණිජයන් නිපදවන්නට හැකි වීමයි. මේ පිළිබඳව මුලින්ම ලෝකයට නිරාවරණය කලේ 1975 දී.


විදු පත්ඉරුව
18.02.2017

විද්‍යාඥයන් විසින් සිදු කරනු ලබන විද්‍යාත්මක සොයාගැනීම් නිසා ලෝකය නිරතුරුව ම විචිත්‍රවත් වෙයි. පසුගිය ජනේරුවේ අග භාගයේ හාවර්ඩ් විශ්ව විද්‍යාලයයේ විද්‍යාඥයන් දෙදෙනකු විසින් සිදු කරනු ලැබූ සොයාගැනීමක්‌ නිසා විද්‍යා ලෝකය මේ වන විටත් ආන්දෝලන්ත්මක කතා බහක නිරත වෙමින් සිටියි.'ලෝහමය හයිඩ්‍රජන්' යනු මෙතුවක්‌ කල් විද්‍යාඥයන් අතර සිහිනයක්‌ ව තිබූ කල්පිත පදාර්ථමය අවස්‌ථාවක්‌ වේ. දැන්, හාවර්ඩ් විශ්වවිද්‍යාලයයේ මහාචාර්ය අයිසැක්‌ සිල්වේරා සහ ආචාර්ය රංග ඩයස්‌ යන දෙපළ විද්‍යාත්මක පත්‍රිකාවක්‌ නිකුත් කරමින් කියා සිටින්නේ ඔවුන් ලෝහ හයිඩ්‍රජන් නිපදවන්නට සමත් වූ බවයි. මේ පිළිබඳ පර්යේෂණ කරන මෙන්ම නිරන්තර අවදියෙන් සිටින බොහෝ විද්වතුන් ගේ අවධානයට ලක්‌ වූ මේ පත්‍රිකාව සමහර ගැටලු නිසා තරමක්‌ විවේචනයට ලක්‌ වුව ද බොහෝ දෙනකු ගේ පැසසුමට ලක්‌ වී තිබේ.

අප දන්නා පරිදි හයිඩ්‍රජන්, ආවර්තිතා වගුවේ පළමු මූලද්‍රව්‍යය වේ. සොබාවික පරිසරයේ දී වායුවක්‌ ලෙස හැසිරෙන මේ මුලද්‍රව්‍යය ද්‍රවයක්‌ කිරීමට නම් අධික සිසිලනයකට ලක්‌ කළ යුතු වන අතර එම උෂ්ණත්වය සෙල්සියස්‌ අංශක -259.16ක්‌ පමණ වෙයි. ඝනයක්‌ බවට පත් කරන්නට අවැසි නම් තව තව සිසිල් කළ යුතුවා මෙන්ම අධික පීඩනයකට ද ලක්‌ කළ යුතු වේ. හාවර්ඩ් සරසවියේ විද්වතුන් දෙපළ හයිඩ්‍රජන් වායුව ලෝහමය තත්ත්වයට පත් කිරීම සදහා ලබා දුන් පීඩනය ගිගා පැස්‌කල් 495ක්‌ පමණ වන අතර එය පෘථිවි මධ්‍යයේ පවතින්නා වූ පීඩනයටත් වඩා අධික බව පෙනී යයි. අවර්ණ හයිඩ්‍රජන් වායුව ක්‍රමයෙන් අධික පීඩනයට ලක්‌ කරන විට මුලින් ම කළු පැහැති ඝනයක්‌ බවට පත් වන බවත් එය අර්ධ සන්නායක ගුණ පෙන්වන බවත් තවදුරටත් පීඩනය වැඩි කළ විට ලෝහමය හයිඩ්‍රජන් නිපදවෙන බවත් පෙන්වා දී තිබේ. එලෙස නිපදවූ හයිඩ්‍රජන්වල ලෝහමය අවස්‌ථාව නිසැකව ම නිශ්චය කරගැනීම සදහා ඉදිරියේ දී ඉලිනොයි සරසවිය වෙත ගෙන ගොස්‌ X කිරණ පර්යේෂණවලට ලක්‌ කිරීමට අදහස්‌ කරන බව පර්යේෂකයෝ දෙපළ පවසති.

මෙලෙස නිපදවන ලෝහමය හයිඩ්‍රජන්වල අනගත පැවැත්ම කෙබඳු වේ ද යන්න විද්‍යාඥයන් කතා බහට ලක්‌ කළ කරුණකි. බොහෝ දෙනකු ගේ අදහස වූයේ වරක්‌ අධික පීඩනයට ලක්‌ කර ලෝහමය හයිඩ්‍රජන් නිපදවූ විට ලබා දුන් පීඩනය සහ උෂ්ණත්වය ඉවත් කළ පසු ද ලෝහමය ස්‌වභාවයෙන් ම පවතින බවයි. මෙවැනි ද්‍රව්‍යයන් 'විරූපණ ස්‌ථායි' (MetaStable) ද්‍රව්‍ය ලෙස හැඳින්වේ. ඒ ඔබ අප දන්නා පෘථිවි මධ්‍යයෙ දී අධික පීඩනයකට ලක්‌ ව උත්පාදනය වන දියමන්ති සහ මිනිරන් පෘථිවි මතුපිට පවතින ලෙසිනි. ලෝහමය හයිඩ්‍රජන් නිපදවීමට හැකි නම් ඉතා විශිෂ්ට වෙනසකට ලෝකය පත් විය හැකි බව ය විද්‍යාඥයන් ගේ අදහස.

අද ලෝකයේ විද්යුතය ගමන් කරවීම සඳහා යොදාගන්නේ ලෝහ බව මා ඔබට අමුතුවෙන් විස්‌තර කළ යුතු නැත. විශේෂඥයන් පවසන පරිදි විද්යුතය සන්නයනය කිරීමේ දී අවම වශයෙන් 15%ක්‌ වත් විද්යුතය අපතේ යන බව පැවසේ. සොබාවිකව පවතින ලෝහ අතුරින් රිදී සහ තඹ ඉතා හොඳ සන්නායකතාවක්‌ පෙන්වූව ද එම ද්‍රව්‍යවල ද කිසියම් ප්‍රතිරෝධයක්‌ ඇති නිසා මේ තත්ත්වය උද්ගත වන බව පැවසේ. එහෙත් ලෝහමය හයිඩ්‍රජන් භාවිත කළ හැකි නම් 100%ක්‌ විද්යුතය සන්නයනය කළ හැකි බව ය විද්‍යාඥයන් ගේ අදහස. ඔවුන් පවසන පරිදි හයිඩ්‍රජන් ලෝහය විද්යුතය සන්නයනයට කිසිදු ප්‍රතිරෝධයක්‌ නො පෙන්වන සුපිරි සන්නායක සතු ගුණ පෙන්වයි. ලෝහමය හයිඩ්‍රජන්වල තවත් එක්‌ අපූරු යොදාගැනීමක්‌ ලෙස යෝජනා කෙරෙන්නේ එය අභ්‍යවකාශ යානා ඉන්ධන ලෙස යොදාගැනීමට ඇති හැකියාවයි. එමගින් ඉතා හොඳ ශක්‌තියක්‌ සහ දූෂණය අවම වන ප්‍රතිඵලයක්‌ අත් කර දෙන බව විද්‍යාඥයයෝ පවසති. හයිඩ්‍රජන් ලෝහය ඉන්ධනයක්‌ ලෙස යොදාගැනීමේ තවත් වාසියක්‌ ලෙස ඔවුන් දකින්නේ වෙන දා යොදාගන්නා ද්‍රව හයිඩ්‍රජන්වල ප්‍රමාණයට වඩා අඩු ලෝහමය හයිඩ්‍රජන් ඉන්ධන ප්‍රමාණයක්‌ භාවිත කර වැඩි දුරක්‌ යැමට හැකි වීමයි. කෙසේ වෙතත් ලෝහමය ඉන්ධන මහා පරිමාණයෙන් නිපදවීමට හැකි වන්නේ නම් තවත් නොයෙකුත් යෙදීම් සදහා ඉඩ ප්‍රස්‌ථා මතු වනු ඇත.

ලෝහමය හයිඩ්‍රජන් පිළිබඳ අදහස මුලින් ම ලොවට ඉදිරිපත් කරන ලද්දේ විග්නර් සහ හනින්ටන් නමැති විද්‍යාඥයන් දෙදෙනා විසින් 1935 දී ය. ඔවුන් පැවසුවේ ගිගා පැස්‌කල් 25 දී පමණ හයිඩ්‍රජන් ලෝහමය තත්ත්වයට පත් කළ හැකි බවයි. එදා සිට අද දක්‌වා ම නොයෙකුත් පීඩන තත්ත්වවල මේ පර්යේෂණය සිදු කර ඇති අතර එමගින් විග්නර් සහ හනින්ටන් උපකල්පනය කළ පීඩනයට වඩා ඉතා අධික පීඩනයක්‌ අවැසි බව පැහැදිලි වී ඇත.

මතභේදාත්මක කරුණු කාරණා ඉස්‌මතු වුව ද ඉතා අගය කළ යුතු මෙන්ම ලෝකය පියවර ගණනාවකින් ඉදිරියට ගෙන යන පර්යේෂණයක්‌ ලෙස මෙය හැඳින්විය යුතු ය. ශ්‍රී ලාංකිකයන් ලෙස අපටද වඩා සතුටු දායක පුවතක්‌ වන්නේ මේ පර්යේෂණයේ සම අයිතිකරුවකු වී ඇත්තේ ද ශ්‍රී ලාංකිකයකු බැවිනි. කාලීන ව ඉතා අපූරු පර්යේෂණ අවස්‌ථාවක්‌ ලැබීමට ආචාර්ය රංග ඩයස්‌ මහතා වාසනාවන්ත වී ඇති බව අප පිළිගත යුතු ය. මන්ද යත් මෙරට දී මෙවැනි පර්යේෂණයක්‌ සිදු කිරීම සදහා අවශ්‍ය වන පසුබිම තවමත් නිර්මාණය වී නොමැති බැවිනි.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Thursday 15 August 2019


එදිනෙදා ජිවිතයට භූ විද්‍යාව




අගස්ති මාල
අපේ ආච්චිලා අත්තම්මලා ඉස්සර බොහොම උජාරුවට කරේ බැන්දේ අගස්ති මාල. අපූරු වයිරමත් එක්ක එන පාට පාට අගස්ති මාල බොහොමයක් ගෙනාවේ ඉන්දියාවෙන්. හැබෑවටම මොනවද මේ අගස්ති. අගස්ති කියන්නේ ඛණිජයක්. රසායනය නම් තිරුවානා වල රසායනයට සමානයි.  ඒ කියන්නේ...එකේ තියෙන්නේ සිලිකන් සහ ඔක්සිජන්. සිලිකන් ඩයොක්සයිඩ් (සිලිකා) කියලා කිව්වනං හරියටම හරි. අගස්ති නිර්මාණය වෙන්නේ බොහොම අපූරු විදියකට. තිරුවානා ඛණිජය තමයි ලෝකේ ජීර්ණයට බොහොම ප්‍රතිරෝධී ඛණිජය. ඒක රසායනිකව වෙනස් වෙලා ද්විතියික ඛණිජයක් බවට පත්වෙන්නේ නැහැ. කොහොමවුනත් ඉතා කුඩා ඇහැට නොපෙනන අංශු වලට බිඳුන සිලිකා ජලයේ  දිය නොවුනත් පා වෙන අංශු ලෙස ප්‍රවාහනය වෙන්නට පුළුවන්. එලෙස ප්‍රවාහනය වෙන සිලිකා අංශු කොහේ හෝ තැනක තැන්පත් වීමෙන් තමයි අගස්ති නිර්මාණය වෙන්නේ. නිදහසේ ගලා යන සිලිකා ද්‍රාවන බොහෝවිට පසේ හෝ පාෂාණ වල ඇති කුහර වල තැන්පත් වීමෙන් කුහරයේ හැඩයම වූ අගස්ති නිර්මාණය වෙයි. කුහරමය නිසා මෙම සිලිකා වලට තරමක් නිදහසේ ස්ඵටීකිකරණය  වෙන්න පුළුවන්. හැබැයි බොහෝවිට හැදෙන්නේ ඇහැට නොපෙනෙන ප්‍රමාණයේ ස්ඵටික. ඒක නිසා තමයි මෙවැනි ඛණිජ “ක්ෂුද්‍ර ස්ඵටික” ලෙස හඳුන්වන්නේ. හැබැයි අන්වීක්ෂයක් මගින් ස්ඵටික බලා ගන්නට පුළුවන්. විවිධ අවස්ථාවන් වල දී විවිධ රසායනයන් මිශ්‍ර වූ සිලිකා තැන්පත් වීමෙන් අපූරු රටා නිර්මාණය වන්නට හැකිවෙනවා. යකඩ ඔක්සයිඩ ඇතිවිට රත් පැහැය ලැබීම ඒකට උදාහරණයක්. රතු, තැඹිලි, කහ, කොළ, නිල්, කළු, සුදු වැනි අපූරු වර්ණ රටා ඇති අගස්ති අපට ස්වභාවයේ හමු වෙනවා. දැන් දැන් අලුත් පරම්පරාවත් මේ අපූරු ගල් මාල පළදින්නට කැමැත්තක් දක්වන බව පේනවා.
ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Wednesday 14 August 2019




කඳුකරයේ නිවාස සහ නාය අනතුර .....!!!


වැස්ස ආයෙත් පටන් අරන්. කඳුකරයටත් වහිනවා. ඒක තමයි ලොකුම ගැටළුව. මොකද නාය යාමේ අවදානම තියෙන නිසා. නාය යාමේ අවදානම තියෙන දිස්ත්‍රික්ක මේ වෙනකොට ප්‍රධාන වශයෙන් එකොළහක් නම් කරලා තියෙනවා. ඒ තමයි මොණරාගල, බදුල්ල, නුවරඑළිය, මහනුවර, මාතලේ, කෑගල්ල, රත්නපුර, කළුතර, ගාල්ල, මාතර සහ හම්බන්තොට. ඊට අමතරව කොළඹ, ගම්පහ සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කත් නාය අවදානම ඇතිවිය හැකි ප්‍රදේශ ලෙස සලකනවා. ඒකට හේතුව තමයි, මේ ප්‍රදේශවල ඉතා සීග්‍රයෙන් සිදුවන සංවර්ධන කටයුතු නිසා භුමියේ ස්ථාවරත්වය ට සිදුවිය හැකි බලපෑම. මේ නිසා කණ්ඩි කඩා වැටීම් සහ ගිලාබැසීම් වැනි තත්වයන් උද්ගතවන වෙන අතර මෙවැනි ආපදා ඉතාම බහුලව වාර්තා වෙනවා. එම තත්වය කඳුකර ප්‍රදේශ වලත් වැඩි වැඩියෙන් වාර්තා වෙනවා.

වැඩිවෙන ජගහනයත් සමග නිවාස සහ අනෙකුත් යටිතල පහසුකම් වල අවශ්‍යතාවය වැඩිවෙලා. ඒ  නිසා ඉතා සිඝ්‍රයෙන් සංවර්ධන කටයුතු සිදුවෙනවා. නමුත් මේ තත්වය පාලනය නොකළොත් වැඩිකාලයක් යන්නට මත්තෙන් විශාල ගැටළු ගණනාවකට මුහුණ දෙන්නට සිදුවෙයි. ඒ අතර නාය යාමේ අවදානම ප්‍රමුඛව තියෙනවා. පාංශු ඛාදනය සහ ගංවතුරත් මේ අතර තියෙනවා. එනිසා ඉතා කඩිනම් දිගුකාලින වැඩපිළිවෙලක අවශ්‍යතාව තදින්ම තියෙනවා. විශේෂයෙන්ම කඳුකර ඉඩම් කළමනාකරණය සම්බන්ධව වාගේම පාංශු කළමනාකරණය සම්බන්ධවත්. එපමණක් නොවෙයි ජල පෝෂක ප්‍රදේශ වැඩි දියුණු කිරීම මෙන්ම කඳුකරයේ භූ ජලය කළමනාකරණයත් අත්‍යාවශය කාරණා.

බොහොමයක් දෙනා කඳුකර ප්‍රදේශවල ගෙවල් සෑදීමේ දී අනුගමනය නොකරන කරුණ තමයි තමාගේ ඉඩමට නාය යාමේ අවදානම ඇතිදැයි සොයා බැලීම. මේ කරුණ ඉතා සුවිශේෂී කාරණාවක්. ඉහත සඳහන් කල ප්‍රදේශවල ජිවත්වන ජනතාවට නම් නීති ප්‍රකාරව ම මේ සම්බන්ධව සොයා බැලිය යුතු වෙනවා. 2010 දී නිකුත්කළ කැබිනට් පත්‍රිකාව මගින් ප්‍රකාශ කර ඇත්තේ එම දිස්ත්‍රික්ක වල යම් කිසි සංවර්ධන කටයුත්තක් සිදුවන්නේ නම් ඒ හා සම්බන්ධ භුමියේ ස්ථාවරත්වය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් අනිවාර්යෙන්ම පරික්ෂා කර ගත යුතු බවයි. නිවාස ඉදිකිරිම සඳහා පමණක් නොව යම් ව්‍යාපෘතියක් සඳහාත් මෙය වලංගුයි. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඉහත කී දිස්ත්‍රික්ක එකොළහක තම දිස්ත්‍රික්ක කාර්යාල පවත්වාගෙන යන අතර අදාළ දිස්ත්‍රික්කයේ ජනතාවයට එම කාර්යාල වලට ගොස් අදාළ සේවාව ලබා ගත හැකි වෙනවා.

නමුත් බොහෝ දෙනෙකු එම අවස්ථාව නිසි පරිදි ලබා ගන්නේ නැහැ. ඉඩම් පරික්ෂාකරවා ගැනීම් සඳහා ලැබෙන ඉල්ලීම් සලකා බැලීමේදී පෙනීයන ප්‍රභල කරුණ වන්නේ ජනතාව ස්ව කැමැත්තෙන් එසේ නොකරන බවයි. බොහෝවිට ණයක් ගැනීම වැනි හෝ තමන්ගේ නිවසේ හෝ ඉඩමේ සැලැස්ම ආදාළ පළාත් පාලන ආයතනයෙන් අනුමත කරවා ගැනීම වැනි හෝ කරුණක දී පමණක් එලෙස ඉඩම් පරික්ෂා කරවා ගැනීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයට එන බවයි. නමුත් විය යුත්තේ එලෙස යම් යම් කොන්දේසි නිසා ඒ කාරිය කරවා ගැනීම නොව, ඇත්තෙන්ම තමනට ඇති අවදානම හඳුනාගැනීමට ක්‍රියා කිරීමයි.

කඳුකරයේ විශේෂයෙන්ම නිවාස ඉදිකිරීමේදී නාය අවදානම පිළිබඳව අවධානය යොමු කිරීම ඉතා වැදගත්. බොහෝ දෙනෙකු ජිවත කාලයක් පුරා එකතුකරගත් තම ධනය වැයකර නිවස සාදාගන්නේ සැනසිල්ලේ ඉන්නටය. එනිසා ඇතිවිය හැකි ආපදා පිළිබඳව සැලකිලිමත් වීම අනිවාර්යෙන්ම කල යුතුය. භුමියේ අස්ථාවරත්වයක් ඇත්නම් එහි නිවසක් සාදා පලක් නොවන්නේම ය. එවැනි ස්ථාන කොයි මොහොතක හෝ අවදානමට ලක් විය හැක.  

බෑවුම් ඉඩම් වල නිවාස ඉදිකිරීමේ දී බෑවුම් කපා තම භුමිය සකස් කල යුතු වේ. පවතින සීමිත ඉඩත් නොදැනුවත් කමත් නිසා බොහෝ දෙනෙකු කපන ලද කණ්ඩියට ඉතා ආසන්නයෙන් හෝ කණ්ඩියට යාව තම නිවස ඉදිකරයි. ඒ වාගේම ඉදිරිපස භුමිය පස් පුරවා සකස් කර ගනී. බොහෝ දෙනෙකු ඒ සඳහා ස්ථාවර බැමි ඉදිකරන්නේ නැත. කපන ලද කණ්ඩිය සමහර විට ගෙටත් වඩා උසය. මේ කරුණු දෙකම එම භුමිය අස්ථාවර කරන්නට හේතුවෙයි. ස්ථාවරව තිබු කණ්ඩිය කැපීම නිසා අස්ථාවර වන අතර පවතින පාංශු වර්ගය සහ පාෂාණ අනුව ස්ථාවරත්වය කොපමණ කාලයක් තිබෙන්නේ ද යන්න තීරණය වේ. කලින් නාය ගිය භූමියක නම් එවැනි කණ්ඩියක පවතින්නේ සුන්පහන් පාංශු ද්‍රව්‍යයි. එවැනි අවසාදිත ඉතා පහසුවෙන් නාය යාමට ලක්විය හැකිය. කණ්ඩියේ දිරපු පාෂාණ ඇත්නම් ඒ ද අවදානම් සහිතය. ඉතා හොඳ අලුත් මව් පාෂාණය මතූ වූ කණ්ඩිවල හොඳ ස්ථාවරත්වයක් තිබුන ද කාලයක් යත්ම පාෂාණ ජීර්ණය නිසා පස් නිර්මාණය වී එම කණ්ඩි ද අස්ථාවර විය හැක. පාංශු ද්‍රවය  හෝ ජිර්ණිත පාෂාණ මතු වූ කණ්ඩි ස්ථාවර කිරීම අතවශ්‍ය කරුණක් බව සිහි තබා ගත යුතුය. භුමියේ පස් පිරවූ ඉදිරි පස කොටස ට නිසි ආරක්ෂාවක් සහ ස්ථාවරත්වයක් ලබා නොදුන්නේ නම් ඒ ද නාය යාමේ අවදානමට ලක් විය හැක. මේ තත්වය වැසි දිනවල වර්ධනය වන්නේ ක්‍රමාණුකුලව ජලය බැස යෑම සඳහා කානු පද්ධතියක් සකස් නොකර ඇති විටයි. ලිහිල් පස් අංශු අතරින් රිංගා යන ජලය ඉතා පහසුවෙන් එවැනි පිරවුම් අස්ථාවර කරන්නේ නිතැතින්ම ය. එනිසා කඳුකරයේ නිවාස තන්නන් මේ කරුණු ඉතා හොදින් සැලකිල්ලට ගත යුතුය.

වර්ෂා දිනවල දී වාර්තා වන බොහොමයක් නිවාසා හානි සිදු වී ඇත්තේ මේ හේතුවෙන් බව අධ්‍යන වලින් හෙළි වී ඇත. මේ තත්වය ඉදිරියේ දී වර්ධනය විය හැකි අතර නිතිය නිසා නොව තම ජිවිතයට ඇති අතවශයතාවය තේරුම් ගෙන නාය අවදානම ක් ඇත්තේ දැයි තහවුරු කර ගත යුතුය.  

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

විදුපත්ඉරුව
01.02.2017

"ලංකාවේ වැඩි ම වායු දූෂණය වාර්තා වෙන්නේ මහනුවරින් කියලා කියනවා. ඒකට ප්‍රධාන හේතුවක්‌ වෙලා තියෙනවා කියලා කියන්නේ මාළිගාව ළඟ පාර වහපු එක ලු. වැව වටේ හිමිහිට වාහන යනකොට කොහොමත් වායු දූෂණය වැඩියි තමයි" මගේ මිත්‍රයෙක්‌ මේ ලඟ දි දවසක පැවසුවේ බොහොම කණගාටුවෙන්. "මේ නුවර ටවුම යටින් උමං මාර්ගයක්‌ හදන්න යෝජනා කරලා තියෙනව ලු. ඇයි දන්නෙ නැහැ තවමත් ප්‍රමාද. ඒක හැදුවා නං මාළිගාවත් බේරාගෙන මහනුවර වායු දූෂණයත් අඩු කරගන්න තිබුණා. අපේ මිනිස්‌සු හොඳ තීන්දු තීරණ ගන්න හරි ම පරක්‌කුයි." ඒ කතාවෙන් ඔහු මගෙන් පිළිතුරක්‌ බලා පොරොත්තු නො වන වගක්‌ හැඟී ගිය නිසයි මා නිහඬ වූයේ.

වායු දූෂණය සිදු වන්නේ වාහනවලින් විතරක්‌ නො වෙයි. කර්මාන්තශාලාවලින් පිට වන දූෂ්‍ය වායූන් ද වායු දූෂණයට ප්‍රධාන හේතුවක්‌. එතකොට නොරොච්චෝලෙන් කරන්නෙත් තදබල දූෂණයක්‌. කෙසේ වෙතත් වායූ දූෂණය සිදු කරමින් අප මේ නැති කරන්නේ මිනිසාට නිදහසේ පිරිසිදු වාතය හුස්‌ම ගැනීමේ පරම අයිතිය නො වේ දැයි ඔබ කී දෙනකු නම් කල්පනා කර ඇත්ද? එපමණක්‌ නො ව, අප මේ උල්ලංඝනය කරන්නේ ඔක්‌සිජන් තම ස්‌වසන කර්තව්‍යය සදහා භාවිත කරන අනන්ත අප්‍රමාණ ජීවීන් ගේ අත්‍යන්ත අයිතිය නො වේ ද? මේ අයුරින් ම ජලය ද පස ද ඉතා ම අප්‍රසන්න ලෙස දූෂණයට ලක්‌ කරන බව මා ඔබට අමුතුවෙන් පවසන්නට අවැසි නො වේ. ඉදින් මෙලෙස මේ අප යන්නේ කුමන ගමනක්‌ දැයි කෙලෙසක වත් සිතන්නට නොහැකි බව ඔබට වැටහේ වි.

මිනිසා සමස්‌ත පරිසරයෙන් කෙතරම් වියුක්‌ත වී දැයි පසුගිය සතියෙක අප සාකච්ඡා කළ බව ඔබට මතකයට නැෙග් වි. එමෙන්ම පාරිසරික සාධකවලට අනුගත ව මිනිසා සංස්‌කෘතීන් බිහි කර ඇති අයුරු ද අපි තරමක්‌ දුරට අප සාකච්ඡාවට ගත්තෙමු. ඒ සියල්ල සැලකිල්ලට ගත් කල, ඉතා දියුණු මොළයක සහ අපූරු ශරීරයක හිමිකරුවකු වී ඇති මිනිසා ගේ වර්තමාන ක්‍රියාකාරකම් කෙතරම් දුරකට ස්‌වාභාවික දැයි යන්න ඉතා ප්‍රබල විමසුමකට ලක්‌ කළ යුතු ගැටලුවකි.

මෙලොව ජීවයේ අත්‍යන්ත අරමුණ වන්නේ එය දිගින් දිගට ම පවත්වාගෙන යැම බව ඉතා හොඳින් පැහැදිලි වන සත්‍යයකි. උභය ජීවීන්, ද උරගයන් ද, පක්‌ෂීන් ද මෙන්ම ක්‌ෂීරපායින් ද ඉහත සඳහන් කළ සත්‍යය තුළ ක්‍රියාත්මක වන බව අපි හොඳින් දනිමු. ඔවුහු දරු පරපුරක්‌ බිහි කර තම පරම්පරාව ඉදිරියට පවත්වාගැනීමේ අසීරු සටනේ කොටස්‌කරුවෝ වෙති. පරිණාමයේ එක්‌ එක්‌ ආංශිකයන් ඔස්‌සේ මොවුහු ඉදිරියට යති. බැක්‌ටීරියා සහ ඇල්ගාවන් වැනි ප්‍රාථමික ජීවීන් ද මේ සන්දර්භය තුළ විවිධ උපක්‍රම භාවිත කර සිදු කරන්නේ මේ දෑ ම ය. තම ව්‍යාප්තිය සාර්ථකව සිදු කරගැනීම උදෙසා ජීවීන් සතු උපාය උපක්‍රම විවිධ ය. විචිත්‍ර ය. එමෙන් ම විටෙක සංකීර්ණ ය. සොබාවිකව හැඩගැසුණු මේ ජෛවීය ක්‍රියාදාමය පරිණාමිකව විවිධ හැලහැප්පීම්වලට ලක්‌ ව විකසනය වෙමින් පවතින බව පෙනී යයි.

බැක්‌ටීරියාවන් ගේ ඒක සෛලය විඛණ්‌ඩනය වීම සර්ව සම දුහිතෘන් බිහි කරන්නට හේතු වෙයි. මෙය ප්‍රාථමික ජීවීන් පෙන්වන සරල ම ව්‍යාප්ති ක්‍රියාදාමයයි.ඉන් ඔබ්බට යත් ම බීජාණු නිෂ්පාදනයත්, දේහයන් කැබැලි වී සිදු වන ව්‍යාප්තියත් අලිංගික ක්‍රමවේදයන් වේ. වර්තමානයේ උසස්‌ ශාකවල ව්‍යාප්තිය අතිශය පරිණාමයට ලක්‌ වී ගොඩබිම ව්‍යාප්තියට හැඩගැසී ඇත. ඇත. ජලයෙන් ගොඩබට ආ ජීවීන් ද මුල් ම කාලයේ ඒ සදහා අවැසි වූ ජලය මත යෑපීම දැන් දැන් අවම කරගෙන ඇත්තේ වසර මිලියන ගණනාවක සිදු වූ පරිණාමයේ ප්‍රතිඵලයක්‌ වශයෙනි.

උසස්‌ ජීවීන් අලිංගික ව්‍යාප්තිය අත් හැරීම තුළ ඇත්තේ වඩා දියුණු සුරක්‌ෂිත ව්‍යාප්තිය පමණක්‌ නො ව අලිංගික ව්‍යාප්තියේ ඇති දුර්වලකම් මගහැරීමක්‌ ද විය හැකි ය. ද්වි ලිංගිකයන් බිහි වීම සත්ත්ව ලෝකය තුල ව්‍යාප්ත වන්නේ වඩා උසස්‌ සහ අර්බුද අවම ජීවන රටාවක්‌ බිහි කරගැනීම උදෙසා වෙයි. ද්විලිංගික ස්‌වරූපය ශාක ලෝකය ආක්‍රමණය කර ඇත්තේ ඉතා කදිම ආකාරයට ය. සැමට පොදු එහෙත් එක්‌ එක්‌ සත්ත්වයන් ගේ සුවිශේෂිතා විවිධාකාරයෙන් එම සතුන් ව්‍යාප්ත කිරීමට හේතු වී ඇත.

මේ රටාව දැනට ලොව ඇති උසස්‌ ම ව්‍යාප්ති ක්‍රමවේදයයි. එය සැමට ඉහළින් සිටින මිනිසාට ද අනෙකුත් සතුනට මෙන්ම පොදු වූ ධර්මතාව වේ. මිනිසා ඇතුළු සත්ත්ව ලෝකයේ සියල්ලන් ගේ ම ද්විලිංගික ආකර්ෂණයේ අත්‍යන්ත අරමුණ වන්නේ පරම්පරාව ඉදිරියට ගෙන යැම පමණ ය. ජෛව ලෝකයේ පැවැත්ම ආරක්‌ෂා වන්නේ එලෙසිනි. මේ අනුව සොබාවික ලෝකය අනුමත කරන්නේ කුමක්‌ ද යන්න සැමට ඉතා හොඳින් පැහැදිලි වෙයි.

සොබාවිකත්වයෙන් වියුක්‌ත වීම අනුමත කළ නොහැකි වන්නේ ඉන් කෙදිනක වත් ජීවයේ ප්‍රධාන අරමුණ සඵල නො වන බැවිනි. සැමට ඉහළින් සිටින මිනිසා ගේ ඉතා අපූරු සංවේදී සංස්‌කෘතිය තුළ දැන් දැන් විකසනය වන්නේ කෙතරම් දුරකට සොබවිකත්වය අනුගමනය කරන ක්‍රියාදාමයක්‌ දැයි යන්න ගැටලුවකි. දියුණු සංස්‌කෘතීන් හිමි යෑයි පිළිගන්නා මනුෂ්‍ය කොට්‌ටාස පවා සොබාවිකත්වයෙන් මිදෙන්නට උත්සාහ දරන බව පෙනී යයි. ජීවයේ අත්‍යන්ත අරමුණ සාක්‌ෂාත් නො වීම යනු වැඩි කාලයක්‌ යන්නට මත්තෙන් කෙතරම් දියුණු ජීවී කොට්‌ඨාශයක්‌ වුව පෘථිවියෙන් අතුගා දැමෙන්නට ඉතා ප්‍රබල ලෙස බලපාන හේතුවක්‌ බව සංස්‌කෘතියේ සහ සභ්‍යත්වයේ දිග පළල සොයන්නන් මෙන්ම මානව හිමිකම් සහ සත්ත්ව හිමිකම් පටලවාගන්නන් හොඳින් තම මතකයේ රඳවාගත යුතු ය.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Tuesday 13 August 2019

විදු පත් ඉරුව
25.01.2017

පෘථරිවියේ ජීවය පවත්වාගෙන යන්නට ප්‍රධාන අනුබලයක්‌ වී ඇත්තේ ජලයයි. ඒ බව ඉතා හොඳින් දැනෙමින් පවතින කාල වකවානුවකි අප මේ ගත කරන්නේ. මෙවර නියඟයක්‌ ඇති විය හැකි බවට අනතුරු අඟවා ඇති මොහොහතක ජල සංරක්‌ෂණය සහ බීමට සුදුසු පිරිසිදු ජලය ලබා දීම සඳහා වහ වහා විධිමත් ක්‍රියාදාමයක්‌ දියත් විය යුතු ය. නියඟයේ බලපෑම පෙන්වමින් මේ වන විට විවිධ ගැටලු පැනනැෙගමින් පවතින පෙනී යයි. මහවැලි ගඟේ අවම ජල මට්‌ටම වත් මේ වන විට පවත්වාගෙන යා නොහැකි බව අන්තර් ජලාශ දිය දහරවල් නිරීක්‌ෂණයෙන් ඉතා හොඳින් පැහැදිලි වේ. ජලාශවල ජල මට්‌ටම අඩු වීම විදුලිය නිපදවීම සඳහා ෆොසිල ඉන්ධන දහනය දෙසට අප වඩ වඩාත් තල්ලු කරයි.

නියඟය ගංගා තුළට මුහුදු ජලය කාන්දු වීමට හේතුවක්‌ වෙයි. එනිසා ඒ අවට පිරිසිදු ජල මුලාශ්‍ර මුහුදු ජලය හා මිශ්‍ර වී බීමට ගත නොහැකි තත්ත්වයට පත් කරයි. මේ තත්ත්වය පසුගිය විවිධ කාල වකවානුවල ඇති වූ නියංවල දී කැලණි ගඟේ ද, කළු ගඟේ ද ඇති විය. මෙවරත් කළු ගඟේ මේ තත්ත්වය ඇති වෙමින් පවතින බව පෙනී ගොස්‌ ඇත. මුහුදු ජලය ගංගා ජලය හා මිශ්‍ර වීම ජලයේ දිය වී ඇති අයන මට්‌ටම ඉහළ නංවාලන්නට හේතු වෙයි. එනිසා අයනික සාන්ද්‍රණය ඉහළ යයි. අයන ගෙන එන්නේ ජලයෙහි දිය වූ ලවණ ය. මුහුදු ජලයේ අයන සාන්ද්‍රණය සැලකූ විට එහි බොහෝ විට වඩා ප්‍රමුඛව සෝඩියම්, කැල්සියම්, මැග්නීසියම් වැනි ධන අයන මෙන්ම ක්‌ලෝරීන්, සල්ෆේට්‌ වැනි Rණ අයන ද දිය වී ඇත. සෝඩියම් සහ ක්‌ලෝරීන් සාන්ද්‍රණ අධික ව ඇති නිසා එමගින් නිර්මාණය වන සෝඩියම් ක්‌ලොරයිඩ් ලවණය මුහුදු ජලයේ ප්‍රමුඛ ලවණය ලෙස හැඳින්විය හැකි ය. මුහුදු ජලයට ලුණු රසයක්‌ එක්‌ වී ඇත්තේ එනිසා ය.

විද්යුතය සන්නයනය කරන්නට අවැසි වන්නේ ඉල්ක්‌ට්‍රොaන වන අතර ධන සහ සෘණ අයන ඇත්නම් ඒ ද විද්යුතය සන්නයනය සදහා කදිම ය. ජලීය ද්‍රdවණ තුළින් විද්යුතය ගලා යන්නේ මේ ධන සහ සෘණ අයනවල ක්‍රියාකාරිත්වයෙනි. යම් ලවණයක්‌ ජලයේ දිය වී අයනවලට වෙන් වීම මේ කාරිය සදහා බෙහෙවින් ඉවහල් වෙයි. අධික ලවණතාව නිසා මුහුදු ජලය ඉතා හොඳින් විද්යුතය සන්නයනය කරයි. එනිසා මුහුදු ජලය ඉතා හොඳ විද්යුත් සන්නායකයක්‌ ලෙස හැඳින්විය හැකි ය. පිරිසිදු ජලය ඉතා අඩු ලවණ ප්‍රමාණයකට හිමිකම් කියයි. එනිසා ලුණු රසයක්‌ ගෙන දෙන්නේ නැත. විද්‍යාගාරයේ භාවිත කරන සංශුද්ධ ජලය නිපදවෙන්නේ එහි ඇති බොහොමයක්‌ අයන ඉවත් කිරීමෙනි. ප්‍රති ආසෘතියෙන් නිපදවෙන්නේ ද ලවණ හෝ අයන අඩු ජලයයි.

ද්‍රdවණයක ගැබ් වී ඇති හෝ දිය වී ඇති ලවණ හෝ අයන ප්‍රමාණය නිශ්චය කිරීම සදහා භාවිත කෙරෙන එක්‌ මිනුමක්‌ වන්නේ එහි සන්නායකතාව මැනීම ය. සන්නායකතාව යනුවෙන් හැඳින්වෙන්නේ යම් ද්‍රdවණයක්‌ තුළින් ගමන් කරවිය හැකි විද්යුත් ප්‍රමාණය වේ. "ඒකීය දුරක්‌ ගමන් කරන විද්යුත් ධාරාව" ප්‍රකාශ කෙරෙන ඒකකය වන්නේ 'සීමන්ස්‌' (Siemens) නම් වේ. 'සීමන්ස්‌' යනු ඒකීය විභව අන්තරයක්‌ (1V) ඇති විට නිපදවෙන ඒකීය විද්යුත් ධාරාව (1A) ලෙස හැඳින්විය හැකි ය. සම්මතයන්ට අනුව එවිට සන්නායකතාව ප්‍රකාශයට පත් කෙරෙන්නේ 'මීටරයට සිමන්ස්‌' (S/m) ලෙසිනි. මේ සම්මතයෙන් බිඳී 'මීටරයට මිලි සීමන්ස්‌' (mS/m) ලෙස හෝ 'මීටරයට මයික්‌රෝ සීමන්ස්‌' (μS/m) ලෙස ද යෙදෙන අවස්‌ථා ඇත. 'ප්‍රතිරෝධකතාව' සන්නයකතාවයේ පරස්‌පරය වේ. කෙසේ වෙතත් අප හොඳින් සිහි තබාගත යුතු කරුණ වන්නේ සන්නායකතාව වැඩි වීම යනු කිසියම් හෝ ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රdවණයක්‌ හෝ තුළ විද්යුත් ශක්‌තිය ඒකරාශි වීමක්‌ නො වන බවයි. නැත හොත් වැඩි සන්නයකතාවකින් යුක්‌ත ද්‍රdවණ යනු විද්යුතය ගැබ් වූ ද්‍රdවණ නො වන බවයි. අත්‍යන්තයෙන් ම ඉන් හැඟවෙන්නේ එහි පවතින අයන හෝ ලවණ හෝ සාන්ද්‍රණය පිළිබඳ මිනුමක්‌ පමණි.

සංශුද්ධ ජලයේ සාමාන්‍ය සන්නායකතා අගය වන්නේ 5රැ5µSරැප වන අතර බීමට ගන්නා ජලයේ එය 5-50 පීරැප අතර පමණ වූ අගයක්‌ ගනී. එම ප්‍රමාණය සංශුද්ධ ජලයේ සන්නායකතාව මෙන් දහස්‌ ගුණයක්‌ වෙයි. මුහුදු ජලය සැලකූ විට සන්නායකතාව 5 Sරැප පමණ වන අතර එම ප්‍රමාණය සංශුද්ධ ජලයේ මෙන් මිලියන ගුණයක්‌ පමණ වේ. මුහුදු ජලයේ ද එක්‌ එක්‌ සාගරවල සන්නායකතාව වෙනස්‌ වෙයි. වැඩි ම සන්නායකතාවක්‌ පෙන්වන්නේ මළ මුහුදෙහි ය. ගංගාවල වුව ද සන්නායකතාව අඩු වැඩි වෙයි. ගංගාවක පටන් ගැන්මේ ඇති ජලයෙහි සන්නයකතාවට වඩා වැඩි සන්නායකතාවක්‌ එහි පහළට යත් ම නිරීක්‌ෂණය කළ හැකි වේ.

ගංගාවක ජල මට්‌ටම අඩු වන්නට නියඟය ප්‍රබල ලෙස බලපායි. එමෙන් ම ගඟෙහි ගැඹුර වැඩි වීම ද එම තත්ත්වය වර්ධනය කරන්නට හේතු වෙයි. මෙනිසා මුහුදු ජලය රට තුළට කාන්දු වීමේ හැකියාව වැඩි වෙයි. වර්තමානයේ ගංගාවල ගැඹුර වැඩි කරන්නට හේතු වී ඇත්තේ ද අධික ලෙස වැලි ගොඩ දැමීමයි. ඒ හා සමගාමීව ගංගා ජලයේ වේගය අඩු වීම ද මුහුදු ජලය රට තුළට ගෙන ඒමට හේතු වන බව පැවසිය යුතු ය. එපමණක්‌ නො ව දිගුකාලීන ව ගත් කල මුහුදු මට්‌ටම ඉහළ යැම ද මේ සදහා හේතු වෙයි. ඉඩෝරය නිසා ජලයේ සාන්ද්‍රගත වීම ද, ලවණ මිශ්‍රිත ඛනිජ නිධි ජලයේ දිය වීම ද මතුපිට සහ භූගත ජලයේ සන්නායකතාව වැඩි කිරීමට හේතු විය හැකි ය.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

  පත්මෙගේ භූ විද්‍යා අන්දර  04 2024 සැප්තැම්බර මස  18 දින විදුසර පුවත්පතේ පල වූ ලිපියකි.  ශ්‍රී ලංකාවේ අවධානය දේශගුණ විපර්යාස කෙරෙහි යොමුවීම...