වෙරළ හැඩ කරන භූ රූපණ
භූ සංචාරිතය 31
This article is originally published on Vidusara 28.10.2020.
ඔන්න නැවතත් අපි භූ සංචාරිතයෙන් වෙරළට ආවා. වෙරළ අපූරු ,චමත්කාරජනක පරිසර පද්ධතියකි. සිත සන්සුන් කරන්නට කියාපු තැනකි. බොහෝ දෙනෙකු නොසිතුවාට වෙරළ ජල ගෝලය, ශිලා ගෝලය, වායු ගෝලය මෙන්ම ජෛව ගෝලයත් එක්තැන් කරන පරිසරයකි.
වෙරළ ගතිකය. සුර්යයාගේ ශක්තිය කැටිකරගත් සාගර තරංග වෙරළ ඉමේ වන ශිලා ගෝලය වෙනුවෙන් පෙනී සිටින පාෂාණ සහ පාංශු දේහයන් වෙත බලපවත්වන බව හොඳින් පැහැදිලි වෙයි. එනිසා සාගර තරංග වෙත ශිලා ගෝලයේ ප්‍රතිචාරය පාෂාණ සහ පාංශු දේහයන් ඔස්සේ ලබා දෙමින් ඉතා අපූරු භූ රූපණ නිර්මාණය කරයි. මේවා වෙරළ භූ රූපණයි. සාගර තරංග වල ශක්තියට පසුබාන පාංශු දේහයන් බොහෝ විට වෙරළ ඉමේ පෙන්වන්නේ ඛාදන භූ රූපණයි. එනිසා මුහුදු බොකු නිර්මාණය ට මග පෑදෙයි. ගොඩබිමේ වූ ගංගා ගෙන එන අවසාදිත සියල්ල සාගරයේ ද්‍රෝණි වල තැන්පත් වන්නේ නැත. සාගර තරංග වල ශක්තිය අනුව කොටසක් නැවත වෙරළ වෙත ගෙන එන අතර එනිසා විවිධ භූ රූපණ ගොඩනැගෙයි. එනිසා නව වෙරළ ගොඩ නැගීම සිදුවෙයි.
වෙරළ ඉමේ වූ පාෂාණ සහ පාංශු දේහයන්ගේ ගති ලක්ෂණ අනුව නිර්මාණය වන භූ රූපණ විවිධය. මේ කර්තව්‍ය තවත් පහසු කරන්නේ ගෝලීය සත්‍යය වන ජිර්ණයයි. ජීර්ණය පෘථිවි මතුපිට වූ සෑම දෙයක්ම භෞතිකව සහ රසායනිකව වෙනසකට ලක් කරයි. විශේෂයෙන්ම පාෂාණ එහි විත්තිකරුවා වෙයි. පාෂාණ ජීර්ණය තීරණය වන්නේ එහි පවතින ඛණිජ සංයුතිය අනුවයි. ජීර්ණයට ප්‍රතිරෝධී තිරුවානා ඛනිජයෙන් සමන්විත වන්නේ නම් බොහෝ විට පාෂාණය ද ජීර්ණයට ප්‍රතිරෝධිතාවයක් පෙන්වයි. නමුත් පාෂාණයේ කුස්තුර සහ පැලුම් අධික නම් එනිසා ද ජීර්ණය ඉක්මන් වෙයි.
සාගර තරංග අධිකව ජීර්ණය වන පාෂාණ කලාප ඉතා පහසුවෙන් ඛාදනය කර දමයි. එනිසා ගොඩබිම තුලට සාගරය පැමිණෙන අතර ජීර්ණයට ප්‍රතිරෝධී පාෂාණ ඇති ප්‍රදේශයන් සාගරය තුලට නෙරා යයි. එනිසා “තුඩු’ නිර්මාණය වන අතර, සාගරයේ හුදකලා වූ ගොඩබිම කලපා නිර්මාණය කරන්නේ ද මෙවැනි ජීර්ණයට ප්‍රතිරෝධී පාෂාණයි.
සාගර තරංග වෙරළ සිප ගන්නා ආකාරය ද අපූරුය. සාගර තරංග දහවල අවම ජල මට්ටමක් පවත්වා ගනිමින් වෙරළ කලාපය පුළුල් කරයි. එය බාදිය ලෙස හඳුන්වයි. රාත්‍රියේ දී මේ තත්වය වෙනස් වන අතර තාවකාලිකව වෙරළ ගිල ගන්නට සාගර තරංග උත්සුක වන්නේ චන්ද්‍රයාගේ බලපෑමෙනි. එම තත්වය වඩදිය ලෙසයි හඳුන්වන්නේ.මෙම චලනය වෙරළ කලාපනයට හේතු වෙයි. වඩදිය බාදිය ඇතිවීම උදම් ලෙස හඳුන්වයි. මේ දෙක අතර වූ කලාපය අන්තර් උදම් කලාපය වන අතර මෙහි වූ වෙරළ තාවකාලිකව රාත්‍රියේදී මුහුද ජලයෙන් යටවෙයි. එනිසා මෙම කලාපය තාවකාලිකව තෙත් කලාපයක් වෙයි. වඩා ඉහල ගිය වඩදිය මට්ටමක් ඇතිවන්නේ සුර්යය ග්‍රහණයක් සිදුවන දිනවලදීය. එහිදී මේ තත්වය ඇතිවන්නේ දහවලදී වීම තවත් විශේෂත්වයකි.
වඩදිය මට්ටමෙන් ඔබ්බෙන් ගොඩබිම දෙසට වන්නට පිහිටන්නේ අවර වෙරළ නැතහොත් පෑල වෙරළයි. මෙම කොටස අති බිහිසුණු කුණාටු මගින් ගෙන එන තරංග මගින් පමණක් තෙමිමට භාජනය වෙයි. පැල වෙරළට ඉදිරියෙන් සාගරය දෙසට හමුවන්නේ පෙර වෙරළයි. එය බාදිය මට්ටම තෙක් පැතිරෙන අතර ඉන් ඔබ්බට ඇත්තේ ළං වෙරළයි. උදම් ඇතිවන අවස්ථාවේ මුහුද රළ බිඳෙන සිමාව කඩන සිමාව ලෙස හැඳින්විය හැක. මේ රළ බිඳෙන සිමාවෙන් ඔබ්බට හමුවන්නේ දියඹයි.
වෙරළ නිර්මාණය කරන අවසාදිත තැන්පත් වන්නේ වෙරළාලින්දය මතයි. එය බොහෝ විට තැනිතලා හෝ තරමක් ආනත මවු පාෂාණය විය හැක. කෙසේ වෙතත් වෙරළ හද කරන්නට සැමවිටම දායක වන්නේ සාගර තරංග, ප්‍රදේශයේ මවු පාෂාණයේ ස්වරුපය සහ වෙරළට සැපයෙන අවසාදිත ගොනුවයි. බොහෝ විට වෙරළේ තන්පත්වන අවසාදිත වල වයනය තීරණය කරන්නේ සාගර තරංග වල ශක්තියයි. වැඩි ශක්තියක් හිමි සාගර තරංග ඇති වෙරළේ බොහෝ විට එක්රැස් වන්නේ රළු (coarse) ඛණිකා සහිත අවසාදිතයි. එවිට පෙබලු වෙරළ බිහි වෙයි. වැලි වෙරළක තැන්පත් කරන වැලි තැන්පත් වන්නේ ඉහත කි සාගර තරංග වලට වඩා අඩු සතියකින් හෙබි සාගර තරංග ඇති විටයි. ශක්තිය බෙහෙවින් අඩු සාගර තරංග ඇති වෙරලක් තැන්පත් වන්නේ බොහෝ විට රොන්මඩ, මැටි වැනි සියුම් ඛණිකා සහිත අවසාදිතයි. වාසනාවකට අප රටේ වෙරළ අලංකාර ධවල පැහැ වැල්ලෙන් යුක්තය. මෙම වැල්ල බොහෝ විට තිරුවානා ඛනිජයෙන් යුක්තය.
ඛදනයත් අවසාදනයත් නිසා වෙරළේ භූ රූපණය හැඩ ගැන්වෙයි. ඛාදන ක්‍රියාවලිය වෙරළ, දඹ, මුහුදු ගුහා, පැලුණු පාෂාණ, ආරුක්කු, තුඩු, සිරසුල, මූල කන්ධ, වෙරළ වේදිකා සහ සුළං උමං ඇතිකරන්නට හේතුවෙයි. අවසාදණය, වැලි පර, බාධක වැලිපර, වැලි පාලම්, වැලි කඳු, වැලි නෙරු සහ ලවණ වගුරු ඇතිකරන්නට හේතුවන බව පෙනී යයි.
පරිසර පද්ධතියක් ලෙස ගත්කල වෙරළ ඉතා වටිනා කමකින් යුක්තය. විශාල ජෛව විව්ධත්වයකින් යුක්ත ගොඩබිම සහ සාගරය ආශ්‍රිත ජීවින් ගේ පැවැත්ම තහවුරු කරන්නට වෙරළ මනා සෞඛ්‍යයෙන් යුක්ත විය යුතුය. එවිට එහි ගතික සමතුලිතතාවය මනාව රැකෙ. නමුත් වත්මනේ මානවයාගේ අන්තනෝමතික ක්‍රියා නිසා වෙරළ පද්ධතිය බිඳ වැටි ඇත. කාර්මිකකරණයත්, සංචාරක ව්‍යපෘති නිසාත් වෙරළ ඉතා අධිකව දුෂණයට ලක් වී ඇත. එනිසා ඒ හා සම්බන්ධ ගෝලයන් ඉතා දරුණු ලෙස බිඳ වැටි ඇත. මේ තත්වය දිගටම පැවතීම වෙරළ පරිසරය නැවත ගොඩනගන්නට නොහැකි මට්ටමට පත් කරණු ඇත. එපමණක් නොව සාගරයේ සිදුකරනා විවිධ සංවර්ධන කටයුතු වල අවබලපෑම් වලට ඍජුවම ලක්වන්නේ වෙරළයි. විශේෂයෙන්ම බොරතෙල් කැනීම් සහ නැවු ගමනා ගමනය ද ඉතා දරුණු ලෙස වෙරළ රෝගී කරන්නට හේතු වෙයි.
වෙරළේ යහපැවැත්ම පාරිසරික තුලිතය සඳහා වැදගත් වේ. කොතෙකුත් නීති රෙගුලාසි තිබුනේ ද අප රටේ නම් මේ සම්බන්ධව ඇත්තේ ඉතා අඩු අවධානයක් බවයි මාහට නං පෙනී යන්නේ. නීති ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන දුර්වලතා මේ සඳහා ප්‍රධාන හේතුව බවයි පැහැදිලි වන්නේ. කෙසේ වෙතත් වෙරළ පරිසරය සම්බන්ධව අද පවතිනවාට වඩා ක්‍රියාශීලි වැඩපිළිවෙලක් අවශ්‍ය බව නම් පැහැදිලි සත්‍යයක් බව නොරහසක්.
ආචාර්ය පත්මකුමාර ජයසිංහ